ආයතනයක මැද පෙළ කළමනාකරුවන්ට පීඩනය වැඩි ඇයි?

අපි රැකියාවකට සුළු තැනකින් ගිය තැන පටන් උත්සාහ ගන්නේ ඉහළට යන්න. පහළ තැනක ඉඳන් උසස්වීමක් දෙකක් ලැබිලා මැද පෙළ කළමනාකරුවෙක් වුණාට පස්සේ සමහර අයට කලින් තරම් වත් සතුටක් නැති වෙනවා. වැඩ වැඩිවෙනවා. කලින් වැඩකරන සේවකයෙක් විදිහට ඉද්දි තිබුණාට වඩා කළමනාකාරයෙක් වෙද්දි හිතට තියන නිදහස අඩු වෙනවා වගේ දැනෙනවා. ඉතින් මේ මැද පෙළ කළමනාකරණයට එන පීඩනය ගැන අපි තරමක් සොයා බලමු.

 

 

1. වඳුරන් මගින්ද සනා​ථ කරන ලද්දක් 

මැද මට්ටමේ සිටින කළමනාකාර මට්ටමේ අයට අනෙක් කොටස් දෙකට එනම්, පහළ මට්ටමක වැඩ කරන අයට සහ උඩම සිටින බොස්ලට වඩා මානසික පීඩනය වැඩියි කියලා වඳුරන් මගින් කරපු පර්යේෂණ වලිනුත් හොයාගෙන තියෙනවා. ලිවර්පූල් මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය මගින් බාබරි මකෝ කියන වඳුරන්ව පැය 600කට වඩා අධ්‍යයනය කරලා තමයි මේ තොරතුරු හොයාගෙන තියෙන්නේ. මේ වඳුරන්ගේත් මිනිසුන්ට හා සමානවම මැද කොටසක් එනම් ඉහළින් දෙන අණ කළමනාකරණය කරලා වැඩකරන අයට බෙදාදෙන්න කොටසක් වෙනමම ඉන්නවා. ඔවුන්ගේ හැසිරීම තුළ ඔවුන් අනෙක් වඳුරන්ට වඩා අවුලෙන් ඉන්න බවක් තමයි එම පර්යේෂණය මගින් සොයාගෙන තිබුණේ.

 

 

2. හැසිරීමේ වෙනස්කම්

වඳුරන්ගෙන් කරන ලද පරීක්ෂණය මේ මැද මට්ටමේ අයට තියෙන පීඩනය හඳුනාගැනීමට හොඳ අවස්ථාවක්. ඒ අනුව වඳුරන් ඉහළ මට්ටමේ තැන්වලට යන්නට නම් ඔවුන් ඔවුන්ගේ ධූරාවලියේ සැකිල්ල තුළ මැද මට්ටමේ හොඳ ලකුණු පෙන්විය යුතු වෙනවා. ඒ වගේම ඔවුන්ට පහළ මට්ටමේ අය සමගත් ඉහළ මට්ටමේ අය සමගත් හැසිරීමේදී ගැටුම් ඇතිකරගන්නට වෙනවා. ප්‍රශ්නයක් ඇති වූ විට ඔවුන්ට තිබෙන රාජකාරිය සංකීර්ණ එකක්. මේ ස්ට්‍රෙස් ස්වභාවය වැඩි වීමත් එක්ක ඒ වඳුරන් අනෙක් අයට වඩා කලහකාරී ලක්ෂණත් වැඩි වශයෙන් පෙන්වන බව ඔවුන් සොයාගෙන තිබුණා.

 

 

3. වගකීම් ගොඩයි

මැද මට්ටමේ කළමනාකාරවරුන්ට තියෙන වගකීම්වල ප්‍රබලතාවය අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොම්පැණියක් කඩා වැටීම, ප්‍රඩක්ට් එකක් ෆේල් වීම, සර්විස් ගැන බෑඩ් රිවීව් වැඩි වීම වගේ දේවල් වලට කෙලින්ම මැද පෙළ අයට මුහුණ දෙන්න වෙනවා අඩුයි. ඒත් මැද පෙළ අයට තියෙන වගකීම් වැඩියි. පහළ ඉන්න පිරිසට පහසුකම් සැපයීම වගේම ඉහළ අයගේ දේවල් කළමනාකරණය කිරීමත් මේ මැද පෙළ අයට පැවරෙනවා. උදාහරණ විදිහට වාහන හැසිරවීම, සුබසාධන කටයුතු, සේවක දුක් ගැනවිලි, පැමිණිලි, අමුද්‍රව්‍ය හිඟතාවයන් ආදී දේවල් ගොඩක් මැද පෙළ අයට කරන්නට වගකීම් විදිහට පැවරෙනවා.

 

 

4. වැඩකළ යුතු ප්‍රමාණය වැඩි වීම

පහළම මට්ටම්වල අයට කළ යුතු රාජකාරිය කුමක්ද? එය ඉටු කළ යුත්තේ කෙසේද කියලා පැහැදිළිව දක්වලා තියෙනවා. ඉහළ මට්ටමේ කළමනාකාරවරු තිබෙන දත්ත ආදියෙන් තීන්දු තීරණ ගන්නවා. මැද පෙළ අයට තියෙන වගකීම් ඒ දෙගොල්ලන්ටම වඩා වෙනස්. ඒ නිසාම වැඩ කළයුතු වෙලාව, කළ යුතු වැඩ ප්‍රමාණය ගැන ඔවුන්ට තියෙන්නේ පීඩනයක්. බොහෝවිට පුද්ගලික සමාගම් වල ඉලක්ක ලැබුණාම ඒ ඉලක්ක වලට අදාළව වැඩ සකසාගැනීම මේ මැද පෙළ කළමනාකරණයට පැවරෙනවා.

 

 

5. ඉහළට යෑමට ඇති උනන්දුව

මේ සියළු දේ අතර වැඩ විතරක් කරලා සෑහීමකට පත් වෙන්න මැද පෙළ අය සූදානම් නැහැ. ඔවුන්ටත් කෙදිනක හෝ ඉහළ මට්ටමට යන්නට සිහිනයක් තියෙනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා, මහන්සි වෙනවා. කාර්යය වඩාත් හොඳින් සිදුකර ඔවුන් වඩාත් කාර්යක්ෂම බව පෙන්වන්නට වෙනවා. ඒ වගේම වෙනත් අධ්‍යාපන සුදුසුකම් සහතික, වෘත්තීය සුදුසුකම් ආදිය හදාගෙන ඉහළ මට්ටමේ කළමනාකාරීත්වයට පවා වැදගත් කෙනෙකු බවට පෙන්වීමේ අදහස මැද පෙළ අය අතර සුලභව තියෙනවා.

 

 

6. ඔවුන්ගේ වැඩ පීඩනය අඩු කිරීම

බොහොමයක් සමාගම් වල මැද පෙළ සිටින කළමනාකරුවන් වැඩිපුර මානසික පීඩනයට ලක් වෙන බව ප්‍රසිද්ධ කරුණක් වුණත් ඔවුන්ගේ ඒ වැඩ පීඩනය අවම කරන්නට කටයුතු කරන්නේ සුළු පිරිසක් පමණයි. නව වැඩ කිරීමේ රටාවන්, නව නිෂ්පාදන ආදියෙන් මැද පෙළට තියෙන පීඩනයට අඩු කරන්නට පුළුවන්. ඒ වගේම ඔවුන් ඉලක්ක කරගෙන යම් යම් පුහුණු වැඩසටහන්, විනෝද වැඩසටහන් ආදිය හඳුන්වා දෙන්නත් ආයතනයට පුළුවන්. ආයතනයක පහළ මට්ටමේ අයගේ කාර්යසාධනය තෘප්තිය ආදිය කෙලින්ම මැද මට්ටම මත රඳා පවතින නිසා මේ මැද මට්ටමේ කළමනාකරණය සතුටින් තියාගන්න කරන වියදම් සාර්ථක ආයෝජනයක් විදිහට දකින්නට පුළුවන්.

 

 

7. ස්ට්‍රෙස් එක පාලනය කරගැනීම

සමාගමකට සේවකයින්ගේ මානසික පීඩනය පාලනයට වගකීමක් තිබුණත් පුද්ගලිකවත් තමුන්ගේ වැඩවලින් මනසට දිගින් දිගටම ලැබෙන වැඩි පීඩනය පාලනය කරගැනීම ගැන හිතන්නට ඕනි. ඉහළින් සහ පහළින් පීඩනය එල්ල වුණා කියලා දිගින් දිගටම නොනවත්වා වැඩ කරන්නට යෑම හොඳ නැහැ. කාලසටහනක් අනුව විනෝද කටයුතු වලට, චාරිකා වලට, පවුලේ කටයුතු වලට කාලය වෙන්කරගැනීම පීඩනය කළමනාකරණයට වැදගත් වනවා. ඒ වගේම වැඩ පහසු කරගත හැකි, පීඩනය අඩු කරගත හැකි තාක්ෂණික යෙදවුම් ගැනත් අවධානයක් දෙන්නට ඕනි.

 

 

වැඩ කරන විට ඇතිවෙන පීඩනය සහ එය අඩු කරගැනීම ගැන අපේ රටේ නම් ඒ තරම් අවධානයක් දෙන්නේ නැහැ. අපේ රටේ සමාගම් මගින් විනෝද වෙන්න කියා ඇතැම් විට කිව්වත්, ඒ සඳහා ආයතන වලින් නිවාඩු ගැනීම, අවස්ථා ලබාගැනීම ආදිය ප්‍රායෝගිකව අපහසු වෙනවා. ඉතින් වැඩකරන පසුබිමේදී ඔයාලත් ස්ට්‍රෙස්ද? එහෙනම් ඒ ඇයි? ස්ට්‍රෙස් එක අඩු කරගන්නේ කොහොමද? ආදී දේ ගැන වැදගත් විදිහට හිතන්නට ඔයාටත් පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *