ලංකාවේ දකින්න ලැබෙන වෙනසක් වුණු මෝටර් බයික් කීපයක්!

ලංකාවේ තියෙන හැටහුටහමාරක් වාහන වර්ග අතරින් මෝටර් බයික් වලට ලැබෙන්නේ සුවිශේෂී තැනක්. ගොඩක් වෙලාවට කොල්ලෝ වැඩිහරියක් මෝටර් බයික් පදිනවා, නැතිනම් ජීවිතේ කවදා හරි පැදලා තියෙනවා. හැබැයි ඇත්තටම මෝටර් බයික් ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් දන්නවා, මෝටර් බයික් එකක් කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට යන්න විතරක් භාවිතා වෙන වාහනයක් නෙවෙයි කියන එක. මෝටර් බයික් එකක වෙනම කල්චර් එකක් තියෙනවා. මෝටර් බයික් එකක් පදින එකේ වෙනස් ෆීලින් එකක් තියෙනවා. ඉතින් එහෙම මෝටර් බයික් පිස්සුවක් තියෙන කෙනෙක්ට සෙට් වෙන විවිධ විශේෂ මෝටර් බයික් වර්ගත් ලංකාවේ තියෙනවා. මේවල විශේෂත්වය වෙන්නේ නිතර දෙවේලේ දකින්න ලැබෙන, හැමෝම පදින ඒවා නොවීම. බලන්න ඔබට ගැලපෙන්නේ මෙතැනින් මොන මෝටර් බයික් එකද කියලා!

 

1. රෝයල් එන්ෆීල්ඩ් ක්ලැසික් 350

Image Source – overdrive.in

රෝයල් එන්ෆීල්ඩ් කියන්නේ මෝටර් බයික් ලෝකේ තියෙන පරණම, මැජෙස්ටික්ම බයික් එකක්. 1900 ටත් කලින් එන්ෆීල්ඩ් බයික් හැදුණත්, හරියටම රෝයල් එන්ෆීල්ඩ් සන්නාමයෙන් බයික් නිර්මාණය වෙන්නේ 1901 ඉඳන්. ඇත්තටම අද දක්වා නිෂ්පාදනය වෙන ලෝකේ තියෙන පැරණිම මෝටර් බයික් තමයි රෝයල් එන්ෆීල්ඩ්. දෙවන ලෝක යුද්ධෙදී එහෙම විශාල මෙහෙවරක් කරපු රෝයල් එන්ෆීල්ඩ් එක දැන් ගහන්නේ ඉන්දියාවේ. හැබැයි අර පැරණි බ්‍රිතාන්‍ය ඩිසයින් එක වෙනස් වෙලා නෑ. දීර්ඝ ගමන් යන්න බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් රෝයල් එන්ෆීල්ඩ් එක ධාවකයාට විශ්වාසය තියන්න පුලුවන් වාහනයක්. පාරේ යන එන හැමෝගේම ඇස් නතර වෙන්නේත් බයික් එකේ තමයි. හැබැයි ඉතින් ඔය බයික් එකක් අරගත්තු ගමන් අසූවට අනූවට ඉගිල්ලෙන්න හිතන, පාරේ වෙට්‍ටු දාන එක තමයි මාර බයික් සීන් කියලා හිතන මල්ලිලාට නං මේ බයික් එක සෙට් වෙන්නෙ නෑ. රෝයල් එන්ෆීල්ඩ් එකක් පදින්න ඊට වඩා විනයක් තියෙන්න ඕන. ඒ වගේම මේ බයික් එකට නියම විදියට සලකනවා නම් පරම්පරා ගාණක් පදින්න පුලුවන් කියලා විශ්වාසයෙන් කියන්න ඇහැකි.

 

2. වෙස්පා ස්කූටර්

Image Source – 3dexport.com

දැන් කාලේ ආයෙමත් ස්කූටර් ‍රැල්ලක් ඇතිවේගෙන යනවා කියලා තේරිලා නැද්ද? ඒ කියන්නේ මෙච්චර කල් කාන්තාවන්ගේ වාහනයක් විදියට ප්‍රචලිත වෙලා තිබුණු ස්කූටි වෙනුවට පිරිමි කට්ටියත් ස්කූටි පදින්න අරගෙන. හැබැයි වඩාත් සීරියස් පැරණි පෙනුමක් තියෙන වෙස්පා වගේ ස්කූටර් එකක් පදින්නේ පොඩි ස්කූටර් කල්චර් එකකට ආස හාදයෙක් තමයි. අන්න ඒ නිසාම වෙස්පා ස්කූටරයක් පදින මනුස්සයෙක්ව පටස් ගාලා කැපිලා පේනවා. නිකම්ම ස්කූටි පදින දහසක් සෙනඟ අතරේ වෙස්පා ස්කූටර් එකක් පදිනවා කියන්නේ මාරම දෙයක් තමයි. තවමත් හතලිස් හයේ විතර ගහපු ඉස්සර ඩිසයින් එකටම එන වෙස්පා ස්කූටර් එක පාවිච්චිය, ආරක්ෂාව, කොලිටිය අතින් ඉහළයි.

 

3. කවසාකි වල්කන් එස්

Image Source – kawasaki.com

රෝයල් එන්ෆීල්ඩ් වගේ තව දීර්ඝ ගමන් වලට නිර්මාණය කරපු දැවැන්ත මෝටර් බයික් එකක් තමයි කවසාකි වල්කන් එස් කියන්නේ. ටිකක් පාවිච්චි කරන්න හුරු වෙන්න වෙනවා. මොකද මේ විදියේ විසාල මෝටර් බයික් කොහේ ගියත් කැපිලා පෙනුනට, සෑහෙන්න බර සහ හැන්ඩ්ල් වලට තියෙන දිග එහෙම පොඩ්ඩක් වැඩි වීම නිසා එක පාරටම සෙට් වෙන එකක් නෑ. හැබැයි ඉතින් පැදලා බැලුවට පස්සේ මේ වගේ බයික් එකකට ආසා වෙන එකත් නවත්තන්න බෑ. බොහොම හොඳ කොලිටියකට නිර්මාණය කරලා තියෙන කවසාකි වල්කන් එස් ආරක්ෂාව අතිනුත් ඉහළ තැනක තියෙනවා කියන එක කියන්න වුවමනායි.

 

4. හාර්ලි ඩේවිඩ්සන් ලෝ රයිඩර්

Image Source – motorstown.com

මෙන්න පුතාලා බයික්! ලංකාවේ ගෙන්නන ඒජන්ට් කෙනෙක් නම් ඉන්නවාද කියන්න අපි දන්නෙ නැතත්, ඉඳලා හිටලා දකින්න පුලුවන් වාහනයක් නිසා අපේ ලිස්ට් එකට ඇතුළත් කර ගන්නවා. මේ බයික් එක ඇත්තටම මේ අවුරුද්දේ තමයි ආවේ. පැරණි පෙනුමත් එක්ක ප්‍රබල එන්ජිමකින් සහ ආරක්ෂිත නිමාවකින් යුක්ත මේ බයික් එකේ යනවා කියන්නේ ඉතින් පාරේ ඉන්න හැමෝගෙම ඇස් තමන් දිහාවට තමයි යොමුවෙන්නේ. හැබැයි ඉතින් ලංකාවේ මේ බයික් එක පදින එක නම් හීනයක් තමයි. මොකද මේ තරම් විශාල ධාරිතාවයකින් යුක්ත බයික් එකක් රෙජිස්ටර් කරන්න බෑ වගේම පදින්නත් තහනම්!

 

5. හොන්ඩා එක්ස් එල් ආර් බාජා

Image Source – motorstown.com

ට්‍රේල් බයික් වලට කැමති හාදයින්ට දැන් ලංකාවේ ‍තෝරගන්න සෑහෙන්න ට්‍රේල් බයික් ඔප්ෂන් තියෙනවා. ලංකාවේ නැති එකක් නම් ගෙන්න ගන්න හරි බැරියෑ. කොහොම වුනත් මේ හොන්ඩා බාජා එක්ස් එල් ආර් එක ගැන කියන්නේ අත්දැකීමෙන්ම බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් නිසා. නියමම ට්‍රේල් බයික් එකක විදියට හැඩි දැඩි පන්නෙට තියෙන මේ බයික් එකත් ෆුල් ක්ලැසික් ගතියක් තියෙනවා. බැටරියක්වත් නෑ. හැබැයි ඉතින් අර උඩ කිවුව රෝයල් එන්ෆීල්ඩ් බයික් වගේම මේකත් ගැලපෙන්නේ බයික් ගැන දැනුමක් තියෙන, සීසන් වෙච්ච හාදයෙක්ට තමයි. දුර යන්න කියාපු පුතයා. හරියට සත්කාර කරලා තියාගන්නවා නම් කිසි කරදරයක් දෙන්නේ නැති විශ්වාසනීය බයික් එකක්.

Cover Image Source – royalenfield.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *