බ්‍රිතාන්‍ය රජ පවුලේ සුරතල්ලු

අපි හැමෝම සුරතල් සත්තුන්ව ඇති කරන්න කැමතියි. සුරතල් සතුන් ගැන විස්තර දැනගන්නත් කැමතියි. ඉතින් අපි අද හිතුවා බ්‍රිතාන්‍ය රජ පවුලේ සුරතලුන් පිළිබඳව තොරතුරු ඔබට කියන්න… 

 

1. දෙවැනි එළිසබෙත් රැජින 

එළිසබෙත් රැජිනගේ බලු ප්‍රේමය ඉතා සුප්‍රකට කතාවක්. උදාහරණයක් විදිහට “2012” චිත්‍රපටියේ මුළු ලෝකයම ජල ගැලීමකින් යටවෙන අවස්ථාවේදී  ආරක්ෂිත නෞකාව වෙත එළිසබෙත් රැජින සිය බලු සුරතලුන් සමඟ ගමන් කරන ආකාරයේ එක් දර්ශනයකුත් නිරූපණය වුණා.

කුඩා කාලයේ සිටම බලු සුරතලුන්ට ඇය ආශා කළත්, කෝර්ගි වර්ගයේ බල්ලන්ට ඇය විශේෂ කැමැත්තක් දක්වනවා. ඇයට සිය මවගෙන් සහ පියාගෙන් සූසන් නම් කෝගි පැටවෙක් ලැබුණු අතර ඇයගෙන් ලැබුණු පැටවුන් සියළු දෙනාම පාහේ  ඇගේ රාජකීය ආදරයට බඳුන් වුණා. කෙසේ වෙතත් ඇගේ බලු සුරතලුන්  කීපදෙනෙක්  පිළිකා රෝගයෙන් මිය යෑම නිසා ඇය බල්ලන් ඇති ඇති කිරීම නවතා දැමූ බව කියැවුණත්, තවමත් ඇය සන්තකයේ බලු සුරතලුන් කීප දෙනෙක් සිටිනවා.

 

 

2. චාල්ස් කුමාරයා සහ කෝන්වෝල්හි ආදිපාදවරිය

වර්තමානයේ ඔවුන් දෙදෙනාගේ සුරතලුන් බවට පත්ව තිබෙන්නේ ජැක් රසල් ටෙරියර් වර්ගයේ බලු සුරතලුන් දෙදෙනෙක්. බ්ලූ බෙල් සහ බෙත් නමින් නම්කොට ඇති මෙම සුරතලුන් දෙදෙනා ඇතැම් අවස්ථාවල කෝන්වෝල්හි ආදිපාදවරිය සිය නිල රාජකාරි කටයුතු සඳහාත් ගෙන යනු ලබනවා.

 

 

3. විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ට්න් 

විලියම් සහ කේට්ගේ බලු සුරතලා වූ ලූපෝ නමින් හැඳින්වුණු ස්පැනියල් වර්ගයේ සුරතලාව ජෝර්ජ් කුමරුගේ පළමු නිල ඡායාරූපය සඳහාද එකතු කරගෙන තිබුණා. පසුගිය වසරේදී මෙම බලු සුරතලා මිය ගිය අතර කේට් කුමරියගේ සහෝදරයා විසින් ස්පැනියල් වර්ගයේ තවත් බලු පැටවෙක් ඔවුන් දෙදෙනාට තෑගි කොට තිබෙනවා. ලූපෝවද විලියම් කේට් යුවළට පරිත්‍යාග කර ඇත්තේ ඔහු විසින් වන අතර නව සාමාජිකයා ලූපෝගේ ඥාතියෙකු බවත් කියවෙනවා.

 

 

4. හැරී කුමරු සහ මේගන් මාකෙල් 

මේගන් කුමරිය එංගලන්තයේ පදිංචියට පැමිණෙද්දී තම සුරතලා වූ බීගල්වද රැගෙන ආවා. පසුව ඔවුන් දෙදෙනා විසින් තවත් බලු සුරතලෙකු තම නිවසට රැගෙන ආ අතර ඔහුව නම් කරන ලද්දේ පූලා ලෙසිනි. බොට්ස්වානා දේශයේ මුදල් වර්ගය ද පූලා ලෙසින් හැඳින්වෙන අතර  හැරී මේගන් යුවළ සිය පෙම් සබඳතාව ආරම්භක අවධියේදී එරට ගත කළ කාලය සිහිවීමට මෙම නම තැබූ බව කියවෙනවා.

 

 

5. ඈන් කුමරිය 

ඉන්ග්ලිෂ් බුල් ටෙරියර් වර්ගයේ සුරතලුන් ඇතිදැඩි කිරීමට ප්‍රියකරන ඈන් කුමරිය  පසුගිය වසරේදී එම සුරතලුන් නිසා සුවිශේෂී වාර්තාවකටද හිමිකම් කියනු ලැබුවා. ඒ බ්‍රිතාන්‍ය අධිකරණයක් මගින් වරදකරුව දඩයක් නියම වූ පළමු රාජකීය පවුලේ සාමාජිකයා බවට පත්වෙමින්. ඇයගේ බලු සුරතලෙකු විසින් පදිකයෙකු සපාකෑම ඇයට එරෙහිව නැගුණ චෝදනාව වුණා.

 

 

6. එඩ්වඩ් කුමරු සහ සොෆියා කුමරිය 

එළිසබෙත් රැජනගේ බාල පුත්‍රයා වන එඩ්වඩ් කුමරු සහ සොෆියා කුමරිය ලැබ්‍රඩෝර් වර්ගයේ සුනඛයෙකු සහ ස්පැනියෙල් වර්ගයේ සුනඛයෙකු සිය නිවසේ සුරතලුන් ලෙස ඇති දැඩි කරනු ලබනවා. කෙසේ නමුත් පසුගිය වසරේ අන්තර්ජාල සාකච්ඡාවකට එකතු වුණු  එඩ්වඩ් කුමරු තම නිවසේ සුරතල් ඉබ්බෙකුද ඇති දැඩි කරන බව පවසා තිබෙනවා.

 

 

7. සෑම දෙනාගේම අශ්වයෝ 

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් සියළු දෙනාම පාහේ පරම්පරා ගණනාවක සිට අශ්වයන්ට දැඩි ලැදියාවක් දක්වනවා. ඒ නිසා බකිංහැම් මාළිගාවේ කොටසක් අශ්වයන්ටම පමණක් වෙන්ව පවතිනවා.

දෙවැනි එළිසබත් රැජින මෙන්ම මව්බිසවද සිය අශ්වයන් කෙරෙහි දැඩි සැළකිල්ලක් දැක්වූ අතර ඔවුන් තුරඟ තරඟ සඳහා ද යොමු කරනු ලැබුවා.

ඈන් කුමරිය සිය මවගේ සහ මිත්තණියගේ මෙම ලැදියාව උරුමකම් කරගත් අතට ඔවුන් දෙදෙනාටත් වඩා පියවරක් ඉදිරියට ගියා. ඒ අසුන් පිට යාමේ තරග ඉසව්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවා නියෝජනය කිරීමෙනුයි. ඇගේ දියණිය වන සාරාද සිය මවගේ අඩි පාරේ යමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අසුන් පිට යෑමෙහි තරඟ ඉසව්වට සහභාගී වුණා.

මෙයට අමතරව පිලිප් කුමරු, චාල්ස් කුමරු, විලියම් සහ හැරී කුමරුද අතිදක්ෂ පෝලෝ ක්‍රීඩකයන් වනවා.

 

ඔන්න ඔය අය තමයි බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රධාන පෙළේ සාමාජිකයන්ගේ සුරතලුන් බවට පත් වෙලා තියෙන්නෙ. එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *