ග්‍රීක දෙවිවරු සම්බන්​ධ රසවත් කතන්දර දැනගනිමු

ග්‍රීක දේව කතා කියන්නේ විස්මයජනක ලෝකයක්. අපේ මේ උත්සාහය ඒ විස්මයජනක ලෝකයට පොඩ්ඩක් එබිලා බලන්න. ඒ වෙනුවෙන් ලියවෙන ආටිකල් සීරිස් එකක පළවෙනි ආටිකල් එක විදිහටයි දැන් ඔබ මේ කියවන ආටිකල් එක කියවන්න ලැබෙන්නේ. දේව කතා පුරාණය ගැන ඔබට කියන්න කලින් ආරම්භයක් විදිහට ඒ කතාවල මුණගැහෙන දෙවිවරු ගැන කෙටිම කෙටි හැඳින්වීමක් කරන්න ආටිකල් කීපයක් වෙන් කරන්න අපි තීරණය කළා. අපි එහෙම නම් ග්‍රීක දේව මණ්ඩලය ගැන දැන කියා ගමු 

 

1. සියුස්

ග්‍රීක දේව මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ සියුස්. අපේ දේව කතාවල ශක්‍රයාගේ තැන හිමි වෙන්නේ සියුස්ට. ඔලිම්පස් කන්දේ දිව්‍ය භවනේ වාසය කරන සියුස් ඉපදෙන්නේ ටයිටන්වරයෙකුට දාව. (ටයිටන්වරු කියන්නේ කාටද කියන එක ගැන වගේම සියුස්ගේ උප්පත්ති කතාව ගැනත් ඉදිරියට කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා). දෙවියන්ගේ රජු වුණාට අතිශයින් සල්ලාල තැනැත්තෙක් විදිහටයි ග්‍රීක දේව කතා වල සියුස්ව නිරූපණය වෙන්නේ. විවිධ අවස්ථාවල මනුෂ්‍ය කාන්තාවන්ගේ පහස සොයා යන සියුස් නිසා දිව්‍ය ලෝකයේ වගේම මනුෂ්‍ය ලෝකය තුළත් ප්‍රශ්න රැසක් ඇති වෙනවා.

 

2. හේරා 

සියුස් දෙවියාගේ බිරිඳ වන හේරා අතිශයින් රූමත් දෙවඟනක්. නමුත් ඇයට වැඩි වශයෙන් කාලය ගත ගත කරන්න වෙන්නේ සියුස්ගේ විවිධ අනියම් බිරින්දෑවරුන්ගෙන් සහ දරුවන්ගෙන් පලි ගැනීම වෙනුවෙන්.මේ නිසා ඇය ඊර්ශ්‍යා සහගත දෙවඟනක් විදිහට අපිට දේව කතා වලින් නිගමනය කරන්න පුළුවන්. විශේෂයෙන් හර්කියුලීස් සීරිස් එක නරඹපු අයට ඇයගේ ඒ ඊර්ෂ්‍යා සහගත ක්‍රියා කලාපය ගැන හොඳට මතක ඇති ග. එසේම ඇයව විවාහය, කාන්තාව, දරු ප්‍රසූතිය සහ පවුලට අධිගෘහිත දෙවඟන ලෙස ද සැලකෙනවා.

 

3. පොසයිඩන්

මුහුදට අධිපති දෙවියා වන පොසයිඩන් සියුස්ගේ එක කුස උපන් සහෝදරයෙක්. සිය සහෝදරයා සමඟ නොනවතින තරගයක යෙදෙන ඔහු අවශ්‍ය අවස්ථාවලදී එම සිත් අමනාපකම් අමතක කොට සහෝදරයාගේ සහායටද පැමිණෙනවා. සියුස් වගේම සල්ලාල චරිතයකින් යුක්ත පොසයිඩන්ට දාව මුහුදු අප්සරාවන්ගෙන් මෙන්ම මිනිස් කාන්තාවන්ගෙන්ද උපත ලබන දරුවන් රැසක් පිළිබඳ විවිධ කතා පුවත් වලින් ග්‍රීක දේව කතා වර්ණවත් වී තිබෙනවා.  මුහුදට අමතරව භූමි කම්පාවලට සහ අශ්වයන්ට අධිපති දෙවියා ලෙස සැලකෙන්නේද පොසයිඩන්.

 

4. ඩිමීටර්

අස්වැන්නට අධිපති දෙවඟන වන ඩිමීටර් පොසයිඩන්ගේ සහ සියුස්ගේ සහෝදරියක මෙන්ම ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ බිරිඳ බවටද පත්වෙනවා. ඇය සහ ඇගේ දියණිය වන පර්සේපෝන් අතර පවතින දැඩි ස්නේහය නිසා බොහෝ වෙනස්කම් පෘථිවිය තුළ ඇතිවෙනවා. ඇතැම් ග්‍රීක වාර්තා වලට අනුව ඩිමීටර්ගේ බලපෑම අස්වැන්නට පමණක් සීමා නොවන අතර මිනිසකුගේ ජීවිත කාලය පුරාවටම ඇයගේ බලපෑම පවතිනවා.

 

5. ඇතීනා

යුද ශිල්පයට සහ ඥානයට අධිපතිත්වය දරන ඇතීනා ග්‍රීකයන් අතර අතිශයින්ම පුද සත්කාරයට ලක්වූ දෙවඟනක්. ඇතැන්ස් නගරය පවා එම නම ලබන්නේ ඇයට සිදු කරන ගෞරවයක් ලෙසටයි. ඇයගේ උපත ගැන කියවෙන ජනප්‍රවාද වලට අනුව සිය පියා වන සියුස්ගේ නළල පලාගෙන යුධ ඇඳුමෙන් සන්නද්ධව ඇය උපත ලබා තිබෙනවා. අසීරු අවස්ථාවලදී විවිධ වේශයන්ගෙන් පෙනී සිටිමින් මිනිසුන්ට උපකාර කිරීමට පෙළඹෙන ඇය ඇතැම් අවස්ථාවල වියරු ලෙස පළිගැනීමටත් දෙවරක් සිතන්නේ නැහැ.

 

6. ඇපලෝ

ග්‍රීක දේව මණ්ඩලය තුළ සූර්ය දිව්‍ය රාජයා ලෙස නිරූපණය වන ඇපලෝ ක්ෂේත්‍ර ගණනාවකට අධිපති දෙවියා ලෙස සැලකෙනවා. දුනු ශිල්පය, සංගීතය, නර්තනය, අනාවැකි කීම ඒ අතරින් ක්ෂේත්‍ර කීපයක්. සියුස් දෙවියාට සහ ලේටෝ නම් ටයිටන්වරියකට දාව උපන් ඇපලෝගේ නිවුන් සහෝදරිය වන්නේ ආටිමිස්ය. ඔවුන් දෙදෙනාම ඇතැම් අවස්ථාවල තමන්ට අපහාස උපහාස කරන මිනිසුන්ට මෙන්ම දෙවියන්ටත් විවිධාකාරයෙන් දඬුවම් කරනවා.

 

7. ආර්ටිමිස් 

ග්‍රීකයන් අතර අතිශයින්ම ජනප්‍රිය දෙවඟනක් වූ ආර්ටිමිස් ප්‍රධාන වශයෙන්ම දඩයමට අධිපති දෙවඟන ලෙස සලකන සලකනු ලබනවා. ඇය උදෙසා නිර්මාණය කොට තිබූ දේවාලය පුරාණ ලෝකයේ පැවති පුදුම හතෙන් එකක් ලෙස මුළු මහත් ලෝකයම විශ්මයට පත් කළා. කිසිදා විවාහයකට නොඑළඹුණු ඇයගේ අත ගැනීමට විවිධ දෙවිවරු මෙන්ම මනුෂ්‍යයන් ද උත්සාහ කළත් එම උපක්‍රම සාර්ථක වුනේ නැහැ.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *