ජනප්‍රිය හොලිවුඩ් නළු නිළියන්ගේ අප්‍රකට නිවුන් සොයුරු සොයුරියෝ

අපේ අද ලිපියට පාදක වෙන්නේ ඔබ කවුරුත් වගේ දන්න හඳුනන හොලිවුඩ් නළු නිළියන් පිරිසක්ව. මේ අයව අපි තෝරාගත්තේ එක විශේෂ හේතුවක් නිසයි. ඒ තමයි මේ අය හැමෝටම නිවුන් සොහොයුරෙක් හෝ සොහොයුරියක් සිටීම. හැබැයි ඒ නිවුන් සොයුරු සොයුරියන් නම් ගොඩක් දුරට අප්‍රකටයි. හරි, අපි බලමු කවුද මේ නළු නිළි​යෝ සහ එයාලගෙ නිවුන් සොයුරු සොයුරියෝ කියලා…

 

1. වින් ඩීසල් සහ පෝල් වින්සන්ට්

“ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්” චිත්‍රපටි මාලාව නිසා ලංකාවේත් අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්න නළුවෙක් තමයි වින් ඩීසල් කියන්නේ. වින් ඩීසල් කියල හැඳින්වුවාට වින් ඩීසල්ගේ ඇත්ත නම වෙන්නේ මාක් සින්ක්ලෙයාර් වින්සන්ට්.

වින් ඩීසල්ට ඉන්නවා නිවුන් සහෝදරයෙක් “පෝල් වින්සන්ට්” නමින්. අපේ මේ ලැයිස්තුවේ ඉන්න අනික් නිවුන් සොයුරු සොයුරියන්ට සාපේක්ෂව ගත්තහම පෝල් වින්සන්ට් තරමක් ජනප්‍රියයි. මොකද ඔහුත් චිත්‍රප​ට සංස්කාරකවරයෙක් හැටියට හොලිවුඩයේ වැඩ කරන කෙනෙක්. ඒ වගේම කාලයකට කලින් වින් ඩීසල්ගේ හොඳ මිතුරෙක් වුණු නැසී ගිය පෝල් වෝකර් එක්ක පෝල් වින්සන්ට් පෙනී සිටි​න ඡායාරූපයක් වින් ඩීසල් සමාජ මාධ්‍ය වල පළ කරලා තිබ්බා “පෝල් ලා දෙදෙනා” කියල සටහනකුත් එක්ක. කොහොම වෙතත් ලංකාවෙ අපි අතර නම් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ වින් ඩීසල්ට නිවුන් ​සොයුරෙක් ඉන්නවා කියලා.

 

2. ස්කාලට් ජොහෑන්සන් සහ හන්ටර් ජොහෑන්සන්

හොලිවුඩයේ ඉන්න සුරූපි නිළියක් වන ස්කාලට් ජොහෑන්සන් පසුගිය දවස්වල තිරගත වෙච්ච “මැරේජ් ස්ටෝරි” චිත්‍රපටයේ සුවිශේෂී රංගනයක නිරත වෙමින් කැපී පෙනෙන්න සමත් වුණා. ඊට අමතරව ඇවෙන්ජර් සීරීස් එකේ බ්ලැක් විඩෝ හැටියටත් ලංකාවෙ ප්‍රේක්ෂකයො අතර ස්කාලට් ප්‍රසිද්ධයි. වැඩි දෙනෙක් නොදන්නවා වුණාට ස්කාලට් ජොහෑන්සන්ට ඉන්නවා ඉතාම කඩවසම් නිවුන් සහෝදරයෙක්. නම හන්ටර් ජොහෑන්සන්. 1984 අවුරුද්දෙ උපත ලබපු මේ දෙන්නගෙන් වැඩිමලා වෙන්නෙ ස්කාලට්, ඒ ඇය හන්ටර්ට වඩා විනාඩි 3ක් කලින් උපත ලබපු නිසයි. ගොඩක් හොලිවුඩ් සම්මාන උළෙලවල්වලට එහෙම මේ දෙන්නා එකට ඇවිත් සහභාගි වෙනවා දකින්න පුළුවන්.

 

3. ඇෂ්ටන් කුචර් සහ මයිකල් කුචර්

කඩවසම් හොලිවුඩ් තරුවක් වෙන ඇෂ්ටන් කුචර් ලංකාවේ ප්‍රේක්ෂකයෝ අතර වඩාත් ප්‍රසිද්ධ වෙන්නේ “බටර්ෆ්ලයි ඉෆෙක්ට්” චිත්‍රපටය සහ “ටූ ඇන්ඩ් හාෆ් මෙන්” ටෙලි සීරීස් එක නිසායි. ඊට අමතරව රොමාන්තික කොමඩි වර්ගීකරණයේ චිත්‍රපට රැසකත් ඇෂ්ටන්ව අපිට දැකගන්න ලැබිලා තියනවා. 1978 දී උපත ලබපු ඇෂ්ටන්ගේ නිවුන් සොයුරා වන මයිකල් කියන්නේ ජීවිතයේ යම් යම් දුෂ්කරතා විඳින්න වෙච්ච පුද්ගලයෙක්. කුඩා කාලයේදීම ඔහුට මොළය සම්බන්ධව හටගන්නා දරුණු රෝගයකට මුහුණ දෙන්න වෙනවා. ඉන් පස්සේ හදවත් බද්ධ කිරීමේ සැත්කමකටද මුහුණ දෙන්න සිදු වනවා. මෙම රෝගී තත්ත්වයන් නිසා පාසැලේදී ​නොයෙකුත් අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්නටත් මයිකල්ට සිද්ධ වෙලා තියනවා. කොහොම වෙතත් ඒ හැම අවස්ථාවකදීම වගේ මයිකල්ගේ සහයට ඇෂ්ටන් ඉඳලා තියනවා. තමන්ගේ ඉහළ අධ්‍යාපනය සඳහා ජෛව රසායන විද්‍යාව විෂයය ඇෂ්ටන් ​තෝරගන්නෙත් තම සොයුරාගේ රෝගී තත්ත්ව​යන් සුව කරගන්න උදවු වෙන්න හිතාගෙනයි. නමුත් එය සාර්ථක වන්නේ නැහැ. මේ වෙද්දී මයිකල් කුචර් ඔහු වැනිම මොළයේ ආබාධ සහිත දරුවන් සඳහා නිර්මාණය කර ඇති සංගමයක් ව​න “රීචින් ෆො ද ස්ටාර්ස්” සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් හැටියට කටයුතු කරනවා.

 

4. රමී මලෙක් සහ සාමි මලෙක්

2019 අවුරුද්දේ හොලිවුඩ් සිනමාව වගේම ඔස්කාර් සම්මාන උළෙලත් කළම්බන්න රමී මලෙක් සමත් වෙනවා. ඒ සුප්‍රකට සංගීත තරුවක් වූ ෆ්‍රෙඩී මර්කරි ගේ චරිතය ඇසුරින් නිර්මාණය කළ “බොහීමියන් රැප්සඩි” චිත්‍රපටයේ ෆ්‍රෙඩීගේ චරිතය රඟ දැක්වීම නිසා. මේ සඳහා ඔහුට ඒ වසරේ ​හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානයත් හිමි වෙනවා. 1981 උපත ලබපු රමී මලෙක්​ගේ නිවුන් සහෝදරයා වෙන සාමි මලෙක් රමීට වඩා විනාඩි 4කට බාලයි. සාමි ම​ලෙක් වෘත්තීයෙන් ගුරුවරයෙක් හැටියටයි සේවය කරන්නේ. අපි මේ ලැයිස්තුවේ සඳහන් කරලා තියන අනෙක් නිවුන්නුන්ට වඩා මේ දෙදෙනා අතර පෙනුමේ සමානකමත් වැඩියි. ඒකට හේතුව මේ දෙන්නා සර්වසම නිවුන්නු වීමයි.

 

5. කීෆර් සදර්ලන්ඩ් සහ රේචල් සදර්ලන්ඩ්

කීෆර් සදර්ලන්ඩ් ලංකාවේ අපේ ප්‍රේක්ෂකයෝ අතර ජනප්‍රිය වුණේ “24” නම් මාලා නාටකයේ “ජැක් බවර්” චරිතය රඟ දැක්වී​ම හේතුවෙනුයි. ඊට අමතරව තවත් හොලිවුඩ් ටෙලි සිනමා නිර්මා​ණ රාශියක​ට දායක වෙලා තියන කීෆර් සිනමා පවුලකින් පැවතගෙන එන්නෙක්. කීෆර්ගේ නිවුන් සොයුරියගේ නම වෙන්නෙ රේචල්. 1966 වසරේදී ඉපදිලා තියෙ​න මේ දෙන්නාම රූපෙනුත් සෑහෙන සමානයි කියලා කියන්න පුළුවන්. ඒ තරම් ජනප්‍රිය නොවුණත් රේචලුත් සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධවයි රැකියාව කරන්නේ. ඇය චිත්‍රපට නිෂ්පාදන කළමනාකාරිනියක් හැටියට සේවය කරනවා.

 

6. ඊවා ග්‍රීන් සහ ජෝයි ග්‍රීන්

1980 ජුලි 6 වැනිදා ඊවා ග්‍රීන් උපත ලබලා විනාඩි දෙකක් ගිය තැනදී ඇයගේ නිවුන් සොයුරිය වන ජෝයි ග්‍රීන් උපත ලබනවා. 2003 අවුරුද්දේ තිරගත කරපු “ද ඩ්‍රීමර්ස්” චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිත රංගනයක් එක්ක අවධානයට ලක්වන ඊවා, වඩාත්ම ජනප්‍රිය වෙන්නේ “කැසිනෝ රෝයල්”  නම් බොන්ඩ් චිත්‍රපටයේ රඟපෑම නිසයි. ඊවාගේ සොයුරිය වෙන ජෝයි රංගනයට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඇය ව්‍යාපාර අධ්‍යයනය තම විෂයය කරගන්නවා. තමන් දෙන්නා එකිනෙකාට වෙනස් රුචි අරුචිකම්වලින් සමන්විත නිසා කුඩා කාලයේ පටන් දෙසොයුරියන් අතර සම්බන්ධතාවයත් නොයෙකුත් හැල හැප්පීම්වලින් පිරුණු එකක් වුණු බවයි ඊවා කියන්නේ. කොහොම නමුත් මේ වෙද්දී නම් ඊවා- ජෝයි සොයුරියො දෙන්නා බොහොම සමීපව ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.

 

7. ලැවර්න් කොක්ස් ස​හ එම් ලාමාර්

ඔබ ඇමරිකානු ටෙලිවිෂන් සීරීස් රසිකයෙක් නම් ලැවර්න් කොක්ස් ඔබට හුරුපුරුදු චරිතයක් වෙන්න ඉඩ වැඩියි. “ඔරේන්ජ් ​ඊස් ද නිව් බ්ලැක්” කථා මාලාවේ සොෆියා බර්සෙට් නම් සංක්‍රාන්ති ලිංගික චරිතය රඟදැක්වීම නිසා ලැවර්න් කොක්ස් අතිමහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තා. කාන්තාවක් බවට පරිවර්තනය වීමට පෙර සොෆියා “පිරිමියෙක්” හැටිය​ට ගත කරපු අතීතය සම්බන්ධ සිදුවීම් කීපයකුත් මේ ටෙලි නාට්‍යයේ පෙන්වනු ලැබුවා. වැඩි දෙනෙක් නොදන්නවා වුණාට සොෆියාගේ ඒ පිරිමි චරිතයට පණ පෙවුවේ ඇගේම නිවුන් සොයුරා වුණු එම් ලාමාර් විසිනුයි.

සොෆියා සහ ලාමාර් සර්වසම නිවුන්නු හැටියටයි 1972 වර්ෂයේදි උපත ලබන්නේ. නමුත් කුඩා කාලයේ පටන්ම පිරිමි ගති ලක්ෂණවලට වඩා කාන්තා පැත්තට බර ගති ලක්ෂණයි සොෆියා පෙන්නුම් කරන්නේ. මේ නිසා ඇය නොයෙකුත් අඩන්තේට්ටම් වලටත් ලක් වෙනවා. පස්සේ කාලෙක ඇය විවෘතව සහ ප්‍රසිද්ධියේම සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් වෙනුවෙන් පෙනී ඉන්න කටයුතු කරනවා. එමී සම්මානයෙන් පිදුම් ලද පළමු සංක්‍රාන්ති ලිංගික පුද්ගලයා බවටත් ඇය ඉතිහාසගත වන්න සමත් වෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *