සෞදි අරාබිය කියන්නේ ධනවත් රටක්. තෙල් නිසා සෞදියට සල්ලි තියෙනවා. ඒ නිසාම ගොඩක් කලක් සෞදි රට තමුන්ට ඕනි විදිහට රජ පවුලකින් රට පාලනය කරනවා. සෞදි රට තුළ ඉස්ලාමීය අන්තවාදී වහබ්වාදී නීති තදින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ රටේ අනෙක් රටවල මිනිස්සුන්ට තියෙන නිදහස් වටපිටාව දරුණු විදිහට සීමා වෙලා තියෙනවා. විශේෂයෙන් කාන්තාවන්ට සෞදි රට තුළ අයිතිවාසිකම් ගොඩක් අහිමිවෙන වටපිටාවක් තිබුනේ. ඒත් දැන් දැන් ටිකෙන් ටික ඒ තත්ත්වය වෙනස් වේගෙන යනවා.
1. රියදුරු බලපත් ලබාගැනීමට කාන්තාවන්ට ඉඩ ලැබීම
ඉස්ලාමීය නීති දැඩිව අදහන සෞදි රටේ ගැහැණු අයට වාහන පදවන්න මැතක් වෙනකල්ම අවස්ථාව තිබුනේ නැහැ. මෑතකදී පත් වුන සෞදි රටේ කුමාරයා මොහොමඩ් බින් සල්මාන් විසින් මැදිහත් වෙලා සෞදි කාන්තාවන්ට රියදුරු බලපත් අරන් රිය පදවන්න අවස්ථාව දුන්නා. ඒත් එක්ක ලෝකේ මෙතෙක් කාන්තාවන්ට රිය පදවන්න බැරුව තිබුන එකම රට සිතියමෙන් ඈත් වුනා. මේක බින් සල්මාන් විසින් ක්‍රියාවට නැගුවට මීට පෙර අවස්ථා ගණනාවකදී කාන්තා කණ්ඩායම් විසින් ඉල්ලපු ඉල්ලීමක්. ඒ ඉල්ලීම් කරපු ඇතැම් කාන්තා සංවිධාන නායිකාවන් ඉබේම අතුරුදන් වෙලාත් තිබුනා. කොහොම හරි යම් යම් සීමාවන්ට හරි යටත් වෙලා රිය පදවන්න ලැබුන එක ගැන සෞදි කාන්තාවන් සතුට පළකරලා තියෙනවා.
2. නාටක සහ සිනමා
සෞදි රටට ගෘහ සේවයට, රියදුරු සේවයට ගිය සේවකයින්ට පවා තිබුන ප්‍රශ්නයක් තමයි සෞදි රටේ විනෝද වෙන්න අවස්ථා අඩුයි. ඒ රටේ සිනමා නැහැ, ලොකු මියුසිකල් ශෝ, නාටක ආදිය පෙන්නුවේ නැහැ. දැන් අලුතින් සෞදි රටේ නාටක සංදර්ශන ආදිය පෙන්වන්න පටන් අරන් තියෙනවා. වේදිකා නාට්‍ය ආදියේ රඟපාන්න තාමත් ගැහැණු අය එහෙම නැහැ. ඒත් ආරම්භයක් විදිහට කාන්තාවන්ට මේවා නරඹන්න හරි අවස්ථාවක් ලැබිලා තියනවා. අපේ රට චීනය ජපානය වගේ රටවල වැඩිවෙන්නේ නාකි හෙවත් වයස්ගත ජනගහණය. ඒත් සෞදි රටේ වැඩි තරුණ යොවුන් ජනගහණය. ඔවුන් වෙනුවෙන් ඉදිරියට විනෝද කටයුතු වැඩිවෙයි කියලා සෞදි ජනතාව විශ්වාස කරනවා.
3. සෞදි ගිය සංචාරකයකුගේ අත්දැකීම්
දැන් යූටියුබ් එකේ සංචාරය කරන උදවිය නොයන තැනක් නැහැ. ඒ විදිහට සෞදි රටේ නුවරකට ගිය යූටියුබර් කෙනෙක්ට හොඳ ෂොපින් මෝල්, රෙස්ටොරන්ට් ආදියෙන් පිරුණ නගරයක් පේනවා. ඒත් සමහර දේවලදි ඒ යූටියුබර්ස්ලටත් කචල් එනවා. එයාලට කෙලින්ම කාන්තාවන් රූපගත කරන්න ඉන්ටවිව් කරන්න අවස්ථාවක් උදාවුනේ නැහැ. කාන්තාවන්ට සමහර රෙස්ටොරන්ට් වල පවා වෙනමම කවුන්ටර තියෙනවා. ඒ වගේම දේශපාලන කාරණා වලදි ගොඩක් අය රජුට සහ කුමාරයට දැඩි ලෙස භය පක්ෂපාත විදිහට තමයි අදහස් දක්වන්නේ. සෞදි රටේ ඇතැම් රෙස්ටොරන්ට් පවා දවසට පස් වතාවක් ආගම නැමදීම වෙනුවෙන් වැඩ නවත්වනවා. ඉන්ධන පිරවුම් හල්, ෆාමසිවල පවා තියෙන ඒ චාරිත්‍ර එහෙම යූටියුබ්කරුවන් පුදුම කරලා තිබුනා.
4. තාමත් නැති ප්රජාතන්ත්රවාදය
සෞදි රටේ කාන්තාවන්ට පසුගිය කාලේ සිය මුල්ම ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබුනා. ඒ අනුව නාගරික මන්ත්‍රීවරියන් දෙදෙනෙකුත් පත් වුනා. ඒ රටේ සිස්ටම් කොච්චර විකාර සහගතද කියනවා නම් මේ කාන්තාවන් දෙදෙනා එක්ක එකට වාඩිවෙන්න පත්වුන අනෙක් මන්ත්‍රීවරු කැමති වුනේ නැහැ. ඉතින් ඒ මන්ත්‍රීවරියන් දෙදෙනා වෙනමම කාමරයක ඉඳලා ස්කයිප් වගේ වීඩියෝ තාක්ෂණයකින් ඒ පළාත් පාලන රැස්වීම් වලට සහභාගි වෙනවා. මේ ආකාරයට පහළ මට්ටමේ පළාත් පාලන ආයතන පාලනය වුනත් සමස්ථ පාලනයේදී තාමත් මාධ්‍ය නිදහස, ප්රජාතන්ත්රවාදී අයිතීන් සෞදි රටේ ජනතාවට නැහැය කියලා තමයි මානව හිමිකම් සංවිධාන කියන්නේ.
5. රට යන්න ලැබුන නිදහස
මීට කලින් තිබුන නීති රීති අනුව සෞදියේ කාන්තාවන්ට විදෙස් ගත වීමට නම් සිය පිරිමි භාරකරුවකුගෙන් අවසර ගන්න සිදු වුනා. ඒ නිසා කාන්තාවන්ට බිස්නස් වැඩකට, පුද්ගලික වැඩකට, සංචාරයකටවත් සිය භාරකරුවන්ගේ නිල අවසරය නැතුව යන්නට බැරිවුනා. ඇතැම් අවස්ථාවල ස්වාමියා දාල ගිය කාන්තාවන්, ස්වාමියා මිය ගිය වැන්දඹු කාන්තාවන් එහෙම මේ නීතිය නිසා ගොඩක් අපහසුතාවන්ට පත් වුනා. දැන් ඒ නීතියත් වෙනස් කරන්න සෞදි රට ක්‍රියාකරල තියෙනවා.
6. කාන්තාවන්ට ජිම්
කෑමෙන් බීමෙන් අඩුවක් නැති නිසා සෞදි රටේ අයටත් දියවැඩියාව, අධි රුධිර පීඩනය එහෙම සරුවට තියෙනවා. ඒත් කාන්තාවන්ට එළියට පහලියට ගිහින් ව්‍යායාම කරන්න නිදහසක් නැහැ. කාන්තාවන් ව්‍යායාම කරන්න ජිම් වලට ගියාම ඔවුන්ගේ දරුවන් වැදීමේ හැකියාවට බලපෑමක් වෙන්න පුළුවන් කියලා අන්තවාදී ඉස්ලාමිකයින් මත පළකරලා තිබුනා. ඒත් දැන් තත්ත්වය වෙනස් වෙලා. ඔලුවෙ ඉඳන් පොරෝගෙන කාන්තාවන්ට පමණක් වෙන්වුන ජිම් එකට ඇතුල්වෙන කාන්තාවන්, ඒ ලෝගු ඇඳුම් ගලවලා සැහැල්ලු ඇඳුමෙන් ව්‍යායාම කරන්නට පටන් අරන් තියෙනවා. මේ සඳහා ආගමික අංශ වලින් විරෝධතා තිබුනත් දැන් දැන් කාන්තාවන් මේ ජිම් වලට යෑම වැඩිවෙලා තියෙනවා.
7. සංචාරක කර්මාන්තය
සෞදි රටේ තියෙන මක්කම මදීනා ආදී සිද්ධස්ථාන වැඳපුදාගන්න මුස්ලිම් බැතිමතුන් ලක්ෂ ගණන් වසරකට සෞදි රටට එනවා. ඒත් ඊට වඩා වෙනස් එක එක ජාතියේ සංචාරකයෝත් සෞදි රටට ගෙන්වාගන්න සෞදි රටට දැන් ඕනා වෙලා තියෙනවා. මෑතකදී පැවැත්වුන රියාද් සීසන් කියන උත්සව මාලාව හරහා සර්කස් සංදර්ශන, තියටර්, ෆිල්ම් ස්ක්රීනින්, ක්‍රීඩා කටයුතු, කලා උළෙලවල් ආදී විශේෂාංග රැසක් සංචාරකයින්ට විවෘත කරලා තිබුනා. ඒ වගේම සෞදි රටේ තිබෙන සුන්දර සංචාරක ස්ථාන තවත් ජනප්‍රිය කරන්නත් සෞදි පාලකයින් අදහස් කරලා තියෙනවා.
8. වෙනස් නොවුණොත් තියෙන අභියෝග
එක පැත්තකින් සෞදි වලට තියෙන තෙල් අඩු වෙනවා. අනෙක් පසින් ලෝකේ තෙල් පාවිච්චියෙන් ඉවත් වෙනවා. ඒ එක්ක සෞදි රට ආර්ථික අතින් වෙනස් නොකළොත් ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙනවා. කලින් කීවත් වගේ සෞදි රටේ වැඩියෙන්ම ඉන්නේ තරුණ සහ යොවුන් වියේ ජනගහණය. ඉදිරියේදී ඔවුන්ට රැකියා නිපදවීම ගැනත් සෞදි පාලකයින්ට සිතන්නට වෙලා තියෙනවා. ඒ එක්ක නව වරායන්, ඉකොනොමික් සෙන්ටර් ආදිය ඇතිකරලා රැකියා ජනනය කරන්න සෞදි රට ක්‍රියාකරලා තියෙනවා. එතනදි යල්පැණගිය ඉස්ලාමීය අන්තවාදී නීති එක්ක ලෝකේ එක්ක ගනුදෙනු කරන්න අමාරුයි. ඒ බව තේරුම්ගත් සෞදි රට දැන් ටිකෙන් ටික වෙනස් වෙමින් යනවා.
Leave a Reply