ඇත්තටම ඔය ගෞරවය කියන එක අපි හිතනවට වඩා අපිට වැදගත් කතන්දරයක්. මොකද, කවුරුහරි අපිට අගෞරව කරනකොට අපේ හිත් රිදෙනවා. කවුරුහරි අපිට ගෞරවයක් නැතුව සලකන කොට අපිට දැනෙන හිත් වේදනාවම තමයි තව කෙනෙක්ට අපි ගරුත්වයක් නැතුව සලකන කොට ඒ කෙනාටත් දැනෙන්නේ. ආන්න ඒ නිසා අපි මිනිස්සු විදියට මූලිකවම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි මේක. ඒ කියන්නේ මනුස්සයෙක්ගේ තරාතිරම, අධ්‍යාපන මට්ටම, සමාජ මට්ටම, ආගම, ජාතිය, ලිංගිකත්වය අරක මේක විතරක් නෙවෙයි, ඒ මනුස්සයා කරන කියන දේ පවා මොකක් වුනත්, කෙනෙක්ට හරි ගෞරවයකින් සලකන එක.
හැබැයි මෙතන තව කාරණයක් තියෙනවා. ගොඩක් දෙනෙක් අද සමාජේ එදිනෙදා ජීවිතේ ගත්තත් තව මනුස්සයෙක්ට අගෞරව කරන්න පෙළඹෙන අවස්ථා වැඩියි. හැබැයි ඒ ගොඩක් දෙනෙක් ඒක වැරැද්දක් කියලා දැනගෙන නෙවෙයි කරන්නේ. අන්න ඒ නිසා අඩු තරමින් එහෙම අවස්ථා මොනවද කියලා දැනගෙන හිටියොත්, ඒ අවස්ථා වළක්වා ගන්න හරි පුළුවන් වෙයි.
1. ස්ස් නංගි!
සාමාන්‍යයෙන් කාන්තාවකගෙන් ඇහුවොත් කියන දෙයක් තමයි, තනියෙන් පාරක තොටක යනකොට අනිවාර්යයෙන්ම කාගේ හරි අනවශ්‍ය ඇල්මකට බැල්මකට සූවකට ලක් වෙනවාය කියන එක. සෘජු ලිංගික හිරිහැර හෝ හිංසනයන් ගාණට දාන්න පුලුවන් සීන් වලට අමතරව, අඩු තරමින් පාරක තනියෙන් යන ගැණු ළමයෙක්ට ඔය පාරේ යන එන, පාරේ ඉන්න කොල්ලෙක්ගේ හෝ කොල්ලෝ කණ්ඩායමකගේ සූව හෝ ලැබෙනවාමයි කියලා ගොඩක් ගෑණු ළමයි කියනවා. නරකම දේ තමයි මේක “කොල්ලොනේ” කියලා සාධාරණීකරණය කරන ගෑණු පිරිමිත් ඕනෑ තරම් ඉන්න එක. හැබැයි මතක තියාගන්න. මේක අහිංසක කොලුකමට කරන වැඩක් නෙවෙයි. මේක කෙනෙක්ට කරන හිරිහැරයක්, අගෞරවයක්. එච්චරයි.
2. කොන්දා, ගුරා
සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න තියෙන නියම වචන කොට කරලා හරි කට වහරෙට සෙට් කරලා හරි හදාගන්න වචන, යෙදුම් තියෙනවා. කොන්දොස්තරවරයා කියන එකට කොන්දා, ගුරුවරයා කියන එකට ගුරා වගේ වචන මෙතනදී පෙන්නන්න පුලුවන්. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. කොන්දොස්තර කියන්නේ රැකියාවක්. එතකොට අපි කොන්දා කියලා කරන්නේ ඒ රැකියාව හෑල්ලු කිරීමක්. ගුරු වෘත්තිය කියන්නෙත් රැකියාවක්. හැබැයි අපි ගුරුවරයා හෝ ගුරුතුමා නොකියා ගුරා කියලා කරන්නේ ඒ රැකියාව සහ ඒකේ නියැළෙන අයව හෑල්ලු කිරීමක්. අගෞරවයක්. ඉතින් ශිෂ්ට මිනිස්සු විදියට නම් මේ වචන භාවිතය අයෝග්‍යයි.
3. ෂුවර් දෙමළෙක්!
මෙන්න මේ වගේ අවස්ථාවන් ඕනෑම සුළු ජාතියක් සම්බන්ධයෙන් පාවිච්චි වෙනවා. ඒ තමයි, ජාතිය පාදක කරගෙන ස්ටීරියෝටයිප් කරන එක. ඒ කියන්නේ, කුඩු ගෙන්නනවා නම් මුස්ලිම්, රට බෙදන්න ඉල්ලනවා නම් දෙමළ වගේ එව්වා. හැබැයි ඇත්තටම හොඳට හෝ නරකට ජාතියක භේදයක් නෑ. කොයි ජාතියෙත් හොඳ මිනිස්සුත්, නරක මිනිස්සුත්, හොඳ නරක එකට තියෙන මිනිස්සුත් ඉන්නවා. අන්න ඒ නිසා මොකක් හරි දෙයක් ජාතියකට හෝ ආගමකට ලඝු කරනවා කියන්නෙම ඒ වාර්ගිකත්වයට හෝ ආගමිකත්වයට අවමන් කිරීමක්, අගෞරව කිරීමක්.
4. ගෑණුනේ!
මෙන්න මේක නම් අනාදිමත් කාලෙක ඉඳලා පැවත එන අගෞරවයක්. මේවලටත් කියන්නේ ස්ටීරියෝටයිප් කියලා තමයි. ඒ කියන්නේ ගෑණු වීම නිසාම යම් යම් දේවල් මෙහෙමය කියලා අපහාසයෙන්, අවඥාවෙන් කථා කිරීම. ඔය ඉස්සර ඉඳලා එන කියමන් තියෙන්නේ “ගෑණු නුවණ හැඳි මිටේය” වගේ. ආන්න ඒවත් මේවලට ඇතුළත්. ඒ වගේම කෙනෙක්ගේ මොකක් හරි වැරැද්දක් හෝ දුබලතාවයක් දැක්කහම “ගෑණුනේ” කියලා ඒක සමස්ත කාන්තා සංහතියටම ලඝු කරන එක. ඒකේ අනික් පැත්තත් එහෙමම තමයි. මොකක් හරි කෙනෙක්ගේ වැරැද්දක් හෝ දුබලතාවයක් “පිරිමි ඔහොමමනේ” කියලා පිරිමි සංහතියටම ලඝු කරන එකත් ඒ විදියටම වැරදියි. ඇත්ත කතන්දරේ මේකයි. ඕනම දුබලතාවයක්, ප්‍රබලතාවයක්, වැරැද්දක්, නිවැරැද්දක් පුද්ගලානුබද්ධයි. ඒකට ගෑණු පිරිමි ප්‍රශ්න නෑ!
5. ලොකු උන්නැහේ!
මේක ටිකක් සංකීර්ණ අවස්ථාවක්. ඒ කියන්නේ අපි ඇත්තටම කියන්නේ “ලොකු උන්නැහේ” කියන වචනේ ප්‍රශ්නයක් ගැනම නෙවෙයි. ඊට වඩා වැඩිමහලු උදවියට ඊට පහළ පරම්පරා වල අය සලකන විදියේ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් වයසෙන් මුහුකුරා ගියපු කෙනෙක්ගේ අධ්‍යාපන මට්ටම පහළ වෙන්න පුලුවන්. ඥාණවන්ත නොවෙන්න පුලුවන්. හැබැයි දීර්ඝ කාලයක් ජීවත් වීමත් එක්ක යම් කිසි හෝ ආකාරයක අත්දැකීම් සමුදායක් සාමාන්‍යයෙන් වැඩිමහලු මනුස්සයෙක් ගාව තියෙනවා. ඒ වගේම තමයි, වයස්ගත වීමත් එක්ක මතකය හරි හැටි වැඩ නොකිරීම වගේ යම් යම් ප්‍රායෝගික ප්‍රශ්නත් තියෙන්න පුලුවන්. ඔය කෝක වෙතත්, ඒ කිසිම දෙයක් හිනාවට ලක් කරන්න හෝ අවඥාවට ගන්න සුදුසු දේවල් නෙවෙයි. ඊට වඩා ඒ කෙනාගෙන් ගන්න දෙයක් තිබ්බා හෝ නොතිබ්බා ගෞරවයෙන් සලකන එක තමයි වෙන්න ඕන.
6. කුඩ්ඩා!
මෙන්න මේකත් ගොඩක් දෙනෙක් එකඟ වෙන සහ එකඟ නොවෙන කාරණයක්. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අය මේ වෙනකොට ලෝකේම සමාජ ප්‍රශ්නයක්. ඒක හරි. ලංකාවේ වුනත් අපි මත්ද්‍රව්‍ය නිරන්තරයෙන් පාවිච්චි කරන, මතට ඇබ්බැහි වෙලා, ඒකත් එක්ක ජීවන රටාවන් අවුල් කරගත්තු අය දිහා බලන්නෙම සැකෙන්. ඒකට එක හේතුවක් තමයි, මතට ඇබ්බැහි වීම නිසා, මත්ද්‍රව්‍ය වලට සල්ලි හොයාගන්න මත්ද්‍රව්‍ය ඇබ්බැහිය තියෙන සමහරු දේවල් හොරකම් කරන්න, කොල්ල කන්න නැඹුරුතාවයක් තියෙනවාය කියන මතය. ඒකත් එක්ක අපි ගොඩක් දෙනෙක් මේ අයව හඳුන්වන්නේ “කුඩ්ඩෙක්” නැතිනම් “කුඩුකාරයෙක්” කියන අවඥා සහගත පද වලින්. හැබැයි ප්‍රශ්නේ මේකයි. එහෙම අපි මත්ද්‍රව්‍ය ඇබ්බැහියක් තියෙන කෙනෙක්ට කිසිම ගෞරවයක් නොදෙන එකත් එක්කම, එයාව ජන සමාජයෙන් අයින් කිරීමකුත් කරනවා. ඒ කියන්නේ පුනරුත්ථාපනය වෙලා ආවත් කුඩ්ඩා කුඩ්ඩාමය කියන මතේ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒකත් අර උඩින් කියපු සමාජ ප්‍රශ්නෙම කොටසක්. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ඇබ්බැහියක් තියෙන මනුස්සයෙක්ට, මනුස්සයෙක්ය කියන ගෞරවය ලබාදෙන්න බැරි ඔබත්, ඒ සමාජ ප්‍රශ්නෙම කොටසක්!
7. ආපෝ ඕකා මෙහෙම එකෙක්!
දැන් ඔය අපි ආශ්‍රය කරන ගොඩක් අය ඕපදූප හොයන්න ආසයිනේ. සමහරු ඕපදූප හොය හොයා යන්නේ නැතිවුනත්, ඕපයක් දෙකක් කතාකරන්න ආසයි. හරි, අපි එහෙම කෝප්ප හෝදන එකේ හරි වැරැද්ද මේ මොහොතේදී කතාකරන්න යන්නෙ නෑ. හැබැයි ගොඩක් දෙනෙක් නොදැනුවත්වම මේ ඕපදූප කතාවත් එක්ක කරන බරපතළ වැරැද්දක් තියෙනවා. ඒ තමයි මනුස්සයෙක් විදියට වගකීමක් නැතුව කතා කරන එක. උදාහරණයක් විදියට ගත්තොත්, “ආපෝ, ඕකා මෙහෙමයිනේ, මාර සල්ලාලයා” කියලා එක්කෙනෙක් කියනකොට, අනික් කෙනාත් “ඔව් ඔව්, මූණ දැක්කහම පේන්නෙ නැද්ද” කියලා ඒකට පෝර දානවා. හැබැයි ඒ කතාවට ලක් වෙන කෙනා සල්ලාලයෙක් කියලා ෂුවර්ද? ගොඩක් වෙලාවට වෙන්නේ පළවෙනියා කියන්නේ කාගෙන් හරි අහපු කතාවක්. දෙවෙනියා ඒ ගැන දැනගන්නේත් පළවෙනියා කියන කෑල්ලෙන් තමයි. හැබැයි දෙන්නටම ඒ අදාළ වෙන මනුස්සයා ගැන වගකීමක් නැති නිසා, ඒ කතාව ඇතුළේ අදාළ කෙනා සල්ලාලයෙක් කියලා තහවුරු කරනවා. ඊට පස්සේ ඒක තව තැනකත් කියනවා. ආන්න ඒ වගකීම් විරහිත ඕපදූප කිවිල්ලෙන් කරන්නෙත් මනුස්සයෙක්ට බරපතළ විදියට අගෞරව කිරීම තමයි!
Leave a Reply