ඉස්සර නම් යුක්රේනය ගැන ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ, ලංකාවට සංචාරකයෝ එන රටක් කියලා විතරයි. හැබැයි මේ වෙනකොට යුක්රේනය කියන්නේ මොකක්ද, කොහේද තියෙන්නේ කියන එක ගැන නොදන්න කෙනෙක් ඉන්න අමාරුයි. ඒකට ප්‍රධානතම හේතුව වුණේ, මේ වෙනකොට රුසියාව සහ යුක්රේනය අතර ඇතිවෙලා තියෙන අර්බුදය. රුසියාව ගිහින් යුක්රේනය ආක්‍රමණය කළානේ. දැන් ඔතනදී සමහරු යුද්ධයක් කිසිවිටක මානුෂීය නොවේ කියන පදනම මත අරගන්නේ යුක්රේනයේ පැත්ත. තවත් සමහරු අපිට පුංචි කාලේ ඉඳලම රුසියාවත් එක්ක තියෙන ලව් එක නිසා, රුසියාවේ පැත්තත් අරගන්නවා. හැබැයි ඔය කොයි පැත්ත ගත්තත්, අපි රුසියාව ගැන නැතිනම් යුක්රේනය ගැන නොදන්න කරුණු කාරණා කොයි තරම් තියෙනවද?
ආන්න ඒ නිසා, අපි තීරණය කළා, මේ යුද්ධේ ගැන නෙවෙයි, යුක්රේනය ගැන ගොඩක් දෙනෙක් නොදැන ඉන්න තොරතුරු ටිකක් අරගෙන එන්න.
01. රුසියාව හැරුණහම ලොකුම රට
යුක්රේනය කියන්නේ බොහොම ලොකු රටක්. හරියටම කිව්වොත් වර්ග කිලෝමීටර් 603,628 ක් විශාල රාජ්‍යයක්. වෙන විදියකට කියනවා නම්, රුසියාව හැරුණු කොට, යුරෝපා මහාද්වීපයේ තියෙන ලොකුම රට තමයි යුක්රේනය කියන්නේ. ඊට පස්සේ දෙවෙනියටම විශාලම රට ප්රංසය. වර්ග කිලෝමීටර් 551,500 යි. පෝලන්තය බටහිරින් සහ රුසියාව නැගෙනහිරින් මායිම් වෙලා, දකුණෙන් කළු මුහුදට සහ උතුරෙන් බෙලරූස් වලට මායිම් වෙලා මැද්දේ තියෙන යුක්රේනය රුසියාව ඇරුණහම කලාපයේ විශාලතම රට වුණාට, ඇත්තටම ඒ තරම් ජනගහණයක් නම් නෑ. මිලියන 46 ක් වගේ ප්‍රමාණයක ජනගහණයක් තමයි ඉන්නේ. ජර්මනියේ සහ ප්‍රංසයේ ඊට වඩා ලොකු ජනගහණයන් තියෙනවා.
02. ලෝක පුදුම හතක්
අපි ලෝක පුදුම හත ගැන අහලා තියෙනවනේ. හැබැයි යුක්රේනයේ ලෝක පුදුම හතක්ම තියෙනවා. හරියටම කිව්වොත්, යුනෙස්කෝ ලෝක උරුම කියලා හඳුන්වන තැන් 7 ක් යුක්රේනයේ තියෙනවා. මේ ලෝක පුදුම 7 ට කීය්ව් වල සාන්ත සොෆියා ආසන දෙව්මැදුර, Chersonesus පුරාණ නගරය, Kamenets රක්ෂිතය, Kiev-Pechersk Lavra පුරාණ ආශ්‍රමය, අවුරුදු 200 ක් විතර පරණ Sofievka වෘක්ෂ උද්‍යානය, අක්කර දෙසීයක විතර පැතිරිලා තියෙන Aleksandria උද්‍යානය, Khotyn බලකොටුව, අතිමහත් සංස්කෘතික සහ ඓතිහාසික වැදගත්කමකින් යුක්ත නීපර් ගංගාවේ තියෙන විශාලතම දූපත වෙන Khortitsa දූපත තමයි මේ ලෝක පුදුම 7 වෙන්නේ.
03. බොන්න පුලුවන් මිනිස්සු
ලෝකේ වැඩිම ඇල්කොහොල් පරිභෝජනයක් තියෙන රටවල් වල උඩම ඉන්න ඔක්කොම වගේ දෙයියනේ කියලා යුරෝපා රටවල්. රුසියාවත් ඉන්නවා අංක හතරට. එතකොට යුක්රේනය? යුක්රේනය රැඳිලා ඉන්නවා ජයග්‍රාහී අංක 6 තැන. ඒ කියන්නේ එක මනුස්සයෙක්ට සාමාන්‍ය ඇල්කොහොල් පරිභෝජනය අවුරුද්දකට ලීටර් 13.9 ක්! සාමාන්‍යයෙන් සෝවියට් සමූහාණ්ඩුවේ තිබුණු රටක් සහ රුසියාවට අල්ලපු රටක් විදියට මිනිස්සු හිතන්නේ යුක්රේනයෙත් වොඩ්කා ජනප්‍රිය ඇති කියලනේ. ඔව්, යුක්රේන ජාතිකයෝ වොඩ්කාත් බොනවා. හැබැයි රුසියාවේ වගේ වොඩ්කා ජාතික පානයක් නෙවෙයි. ඇත්තටම යුක්රේනයේ ජාතික පානය වෙන්නේ හොරිල්කා. වොඩ්කා කියන්නේ “little water” කියන එකනේ. එතකොට හොරිල්කා කියන්නේ “burning water” කියන එක. සාමාන්‍යයෙන් මිරිස් එක්ක රසවත් වෙලා එන මේ ජාතික පානය නමටම ගැලපෙනවා.
04. ගැඹුරුම ස්ටේෂම
යුක්රේන් වල මෙට්‍රෝ-ලයින්, එහෙම නැතිනම් විදුලි උමං දුම් රිය තියෙනවා. හැබැයි යුක්රේන් වල තමයි ලෝකේ ගැඹුරින්ම පිහිටලා තියෙන උමං දුම්රිය ස්ටේෂන් එක තියෙන්නේ. කීය්ව් සිටි මෙට්‍රෝ ලයින් (Sviatoshynsko-Brovarska) එකේ පිහිටලා තියෙන අර්සෙනාල්නා දුම්රිය ස්ථානය තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ. හරියටම කියනවා නම් පොළෝ මට්ටමේ ඉඳලා මීටර් 105.5 ක් ගැඹුරින් මේ ස්ටේෂන් එක තියෙන්නේ. මෙච්චර ගැඹුරකින් මේ ස්ටේෂන් එක හදන්න හේතුව වෙන්නේ, කීය්ව් නගරය වටාත්, නගරය තුළත් පැතිරිලා තියෙන නීපර් ගංගාව මග හැරලා මේ මෙට්‍රෝ ලයින් එකත්, ස්ටේෂන් එකත් නිර්මාණය කරන්න සිද්ධ වීම. මේ ස්ටේෂන් එක කොයි තරම් පොළවට පහතින්ද තියෙන්නේ කියලා අදහසක් ගන්න පුලුවන්, පොළෝ මට්ටමේ ඉඳලා ස්ටේෂන් එකට යන්න තියෙන එස්කැලේටර් පඩිපෙලේ පහළටම යන්න කෙනෙක්ට විනාඩි පහක් යනවා කියලා කිව්වොත්.
05. යුරෝපයේ පාන් කූඩය
එක්තරා කාලයක් තිබුණා, යුක්රේනය හැඳින්වුනා යුරෝපයේ පාන් කූඩය විදියට. ඒකට හේතුව, එක් කාලයක යුක්රේනය අතිවිශාල කෘෂිකර්මාන්තයකට උරුම කම් කීම. විශේෂයෙන්ම සෝවියට් සමූහාණ්ඩුව යටතේ හිටපු කාලයේදී, යුක්රේනය රුසියානු සමූහාණ්ඩුවේ සෑහෙන කොටසකට කන්න දෙන වගකීමට උර දීලා හිටියේ. ඇත්තටම ඒක යුක්රේනයට බොහොම අසීරු කාලයක් වුණා කිව්වොත් වැරදි නෑ. ඒ කාලේ ස්ටාලින් යටතේ සෝවියට් සමූහාණ්ඩුවෙන් යුක්රේනයට සාමූහිකකරණය යටතේ දීලා තිබුණු ප්‍රශ්න කරන්නට බැරි මට්ටමේ ධාන්‍ය සැපයීමේ ඉලක්කයන් නිසා යුක්රේනයට බොහොම වද වේදනා විඳින්නට සිද්ධ වුනා. වෙන එකක් තියා, 1932-1933 කාලයේදී යුක්රේනියානුවෝ මිලියන 7.5 කට අධික ප්‍රමාණයකට මරු කැඳවූ හොලොදොමෝර් නැතිනම් මහා සාගතයට හේතුව වුණෙත් මෙන්න මේ කාරණාව තමයි. ඇත්තටම මේ සාගතය මිනිස් සංහාරයක් විදියට බොහෝ රටවල් හඳුන්වනවා. ඉතින් යුක්රේනය තාමත් රුසියාව එක්ක හොඳ හිතක් නැතිවීමත් පුදුමයක් නෙවෙයි නෙහ්?
06. කෝපි කඩ අගනගරය
යුක්රේනය තියලා තියෙන තවත් ලෝක වාර්තාවක් තමයි, ලෝකයේ එක් පුද්ගලයෙකුට වැඩිම කෝපි හල් නැතිනම් කැෆේ ගණනක් තියෙන නගරය යුක්රේනයේ පිහිටලා තිබීම. යුක්රේන් වල තියෙන ලිවිව් (Lviv) නගරය තමයි මේ විදියට කෝපි හල් අගනගරය විදියට සැලකෙන්නේ. ඇත්තටම ගොඩක් සංචාරකයෝ අතරේ ලිවිව් නගරය ප්‍රසිද්ධ කාරණා තුනක් තියෙනවා. ඒ තමයි, චොකලට්, කෝපි සහ සිංහයෝ! එතනිනුත් නගරයේ තියෙන කෝපි හල් වලට සැබෑම ආකර්ෂණයක් තියෙනවා කියලා තමයි කියන්නේ.
07. චර්නොබිල්
චර්නොබිල් ව්‍යසනය ගැන නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැහැනේ. 1986 අප්‍රේල් 26 වෙනිදා ප්රිප්යාට් නගරයේ තිබුණු ප්‍රතික්‍රියාකාරක 4 කින් යුතු චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම අදටත් සැලකෙන්නේ මිනිස් ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනයක් විදියට. විශේෂයෙන්ම න්‍යෂ්ටික පිපිරීමට පස්සේ ඇතිවුණු විකිරණශීලී පතනය නිසා චර්නොබිල් සහ ඒ අවට ප්‍රදේශය මිනිස් වාසයට නුසුදුසු වුණා. දැන් ඒ අනතුරෙන් අවුරුදු තිස්ගාණක් ගතවෙලාත්, තවමත් ඒ ප්‍රදේශයේ විකිරණශීලීත්වය ඉහළ නිසා, තවමත් මිනිස්සුන්ට වාසය කරන්න බැහැ. ගොඩක් අය චර්නොබිල් තිබුණු ප්රිප්යාට් නගරය තියෙන්නේ රුසියාවේ කියලා හිතාගෙන ඉන්නේ. සෝවියට් සමූහාණ්ඩුවට අයත් වුණත්, ඇත්තටම ප්රිප්යාට් පිහිටලා තියෙන්නේ උතුරු යුක්රේනයේ. ඇත්තටම අදටත් යුක්රේනයේ ඒ ප්‍රදේශය නරි වගේ සත්තු විතරක් ගැවසෙන ජනශූන්‍ය ටවුන් තියෙන පළාතක්.
Leave a Reply