ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ උපකාරක පංති ගුරුවරු

ලංකාවේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ ජයග්‍රහණය කිරීමට නම් පාසල් අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් නැති බව අද වෙනකොට ලංකාව තුළ මුල් බැස ගිය මතයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසාම ඇතැම් අවස්ථාවල ප්‍රාථමික  අංශයේ ඉඳන්ම දරුවෝ උපකාරක පන්තිවලට යනවා. මේ නිසා පාසල් ගුරුවරු හා සමානවම උපකාරක පන්ති ගුරුවරුත් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මගහැරිය නොහැකි පිරිසක් බවට පත් වෙලා ඉන්නවා. අපි අද කතා කරන්න යන්නේ උපකාරක පංති ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සහ කැපී පෙනෙනු ගුරුවරු කීප දෙනෙක් පිළිබඳව. මීට අමතරව මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තව ගුරුවරු ඉන්නවනම් ඒ අය ගැන කමෙන්ට් එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා.

 

1. බන්දුල ගුණවර්ධන

අද වෙනකොට දැඩි ලෙස විවේචනයට ලක්වෙන බන්දුල ගුණවර්ධන අපේ රටේ සුප්‍රකට ආර්ථික විද්‍යා ගුරුවරයෙක් වෙලා හිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වී සිටියදී පවා එතුමා කාලයක් උපකාරක පන්ති පැවැත්වුවා. ඒ කාලය තුළ චිත්‍රපට නිෂ්පාදකයකු විදිහටත් එතුමා කීර්තියක් ලබා ගත්තා. කෙසේ වෙතත් එතුමා අදටත් පවසන්නේ තමන්ගේ ඡන්ද පදනම සඳහා මූලික වන්නේ තමන්ගෙන් අධ්‍යාපනය ලැබූ  දස දහස් ගණනක් වන සිසුන් පිරිසක් බවයි. 

 

2. මොහාන් ලාල් ග්‍රේරු

භෞතික විද්‍යාව උපකාරක පන්ති ගුරුවරයෙකු වූ මොහාන් ලාල් ග්‍රේරු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඊටත් එහා වැඩ කොටසක් කළ පුද්ගලයෙකු විදිහට හඳුන්වන්න පුළුවන්. කාලයක් ඔහු විසින් නොමිලේ ද පන්ති පැවැත්වීමට කටයුතු කළා. ලයිසියම් ජාත්‍යන්තර පාසල ඇති කළ එතුමා ඒ තුළින් මෙරට ජාත්‍යන්තර පාසල්වල තත්ත්වය උසස් කිරීමට කටයුතු කළා. දේශපාලනය තුළ එතුමා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වුවත් සැළකිය යුතු සහයක් නොලැබීම නිසා ඊට එතුමාට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මහින්දෝදය විද්‍යාගාර සංකල්පය එම කාලය තුළ එතුමාගේ සංකල්පයක් ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්වූ අවස්ථාවක් වනවා.

 

3. උපුල් ශාන්ත සන්නස්ගල

 

ලංකාවේ කලක් ජනප්‍රියතම සිංහල උපකාරක පන්ති ගුරුවරයා වූයේ උපුල් ශාන්ත සන්නස්ගලයි. එම කාලය තුළ ද ඔහු දැඩි ආන්දෝලනාත්මක පුද්ගලයෙකු වූ අතර චිත්‍රපටි නිෂ්පාදකයකු ලෙසත්, ගී පද රචකයෙකු සහ ප්‍රකාශකයකු ලෙසත් ඔහු ජනප්‍රියත්වයක් ඉසිලුවා. එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙකු ලෙස දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ඔහු උත්සහ කළත් එය අසාර්ථක වුණා. පසුව ඔහු උපකාරක පන්ති ක්ෂේත්‍රයට සමුදුන් අතර වර්තමානයේදී ඩිජිටල් මාධ්‍ය හරහා නොමිලේ සිංහල ඉගැන්වීමට යොමු වී තිබෙනවා. මීට අමතරව ඔහු විසින් නිර්මාණය කළ තැප්‍රෝබේන් ආයතනය තුළ කලාව පිළිබඳව නිදහස් අවකාශයක් ඇති කිරීමට උත්සාහ කරනවා.

 

4. සක්විති රණසිංහ 

“මම ඉගැන්වීමට ඉපදුනෙමි” කියන ආකර්ෂණීය ප්‍රචාරණ පාඨය භාවිතා කරමින් ඉංග්‍රීසි කථනයට දිවයින පුරා උපකාරක පන්ති රැසක් පවත්වාගෙන ගිය සක්විති රණසිංහ අවසානයේදී  නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයෝජනය පිළිබඳව ලංකාවටම පාඩමක් ඉගැන්නුවා. වසර ගණනාවක් සිරගෙයි ගත කළ ඔහු  ඉන් නිදහස් වීමෙන් අනතුරුව වර්තමානයේදී යළිත් කුඩා කණ්ඩායම් පන්ති පවත්වාගෙන යනවා. ඒ වගේම යූ ටියුබ් නාලිකාවක් හරහාත් තම දැනුම නොමිලේ බෙදා ගන්නවා.

 

5. අමිත් පුස්සැල්ල 

වර්තමානයේ දී ලංකාවේ ජනප්‍රියතම භෞතික විද්‍යා දේශකයා ලෙස හඳුන්වන්න පුළුවන් අමිත් පුස්සැල්ල සමස්ත ලංකා වෘත්තීය දේශකයන්ගේ සංගමයේ වර්තමාන සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා. මීට වසරකට පෙර යූ ටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඔහු තමන් පැමිණි කටුක ජීවිතය සහ අභියෝග පිළිබඳව ඉතා විවෘතව කතා කර තිබුණා.

 

6. තිස්ස ජනනායක

ජීව විද්‍යාව උපකාරක ගුරුවරයකු වන තිස්ස ජනනායක වඩාත් රටේ කතාබහට ලක් වීමට පටන් ගත්තේ යූටියුබ් හරහා ඔහුගේ දේශන ජනප්‍රිය වීමත් සමඟයි. විශේෂයෙන්ම පසුගිය යහපාලන රජය සමයේ දී ජාතිකත්වය පිළිබඳව නව කතිකාවතක් ගොඩ නැගීමට ඔහු විසින් උත්සාහ කරනු ලැබුවා. මේ නිසා වර්තමාන රජය බලයට ගෙන ඒමට විවෘත මැදිහත්වීමක් කළත් පසුව රජයේ අදූරදර්ශී ක්‍රියා කලාපය විවේචනය කිරීමටත් ඔහු කටයුතු කළා.

 

7. දිනේෂ් මුතුගල 

දිනේෂ් මුතුගල ද ජීව විද්‍යාව උපකාරක පන්ති ගුරුවරයකු වන අතර ඔහුත් වැඩි වශයෙන් ජනප්‍රිය වීමට පටන් ගත්තේ සිය යූ ටියුබ් නාලිකාව හරහා සිදුකරන ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසායි. විශේෂයෙන්ම කාන්තාවන් පිළිබඳව ඔහු පළ කළ අදහස් සමාජයේ දැඩි විවේචනයට ලක්වුණා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මෙම ලිපිය ෂෙයාර් කරන්නටද අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *