ලොව විස්මයට පත් කළ ඊජිප්තු පිරමීඩ

ඊජිප්තු පිරමීඩ කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ මානව වර්ගයාව විස්මයට පත් කළ නිර්මාණයක්. පුරාණ ලෝකයේ පුදුම හත අතරින් දැනට ඉතිරි වෙලා තියෙන එකම නිර්මාණය වෙන්නේ ඊජිප්තු පිරමීඩයි. පුරාතන නයිල් නදී  ශිෂ්ටාචාරයේ ප්‍රජාව අතර තිබූ විශ්වාස මත පදනම්ව ඊජිප්තුව පාලනය කළ පාරාවෝ රජවරු විසින් තමන්ගේ මරණයෙන් පසු වාසස්ථාන ලෙස පිරමීඩ නිර්මාණය කරනු ලැබුවා. පිරමීඩ වටා විවිධ ගුප්ත කතන්දර රාශියක් ගොඩ නැගී තිබෙනවා. පිරමීඩ විවෘත කිරීමේදී පුරාණ ඊජිප්තු පූජකයන් විසින් යොදන ලද ශාප පිළිබඳව මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ පැවති ඇදහිය නොහැකි තාක්ෂණික දියුණුව පිළිබඳවද අදටත් විවිධ පුද්ගලයන් විවිධ මත පළ කරනවා. අපි අද  ඔබට කියන්න යන්නේ ඊජිප්තුව  පුරා විසිරිලා තියෙන පිරමීඩ පිළිබඳව කෙටි විස්තරයක්.

 

1. ගිසාහි මහා පිරමීඩය (The Great Pyramid of Giza)

ගීසා සානුව තුළ පිහිටා තිබෙන මෙම පිරමීඩය සැළකෙන්නේ දැනට ඉතිරිව ඇති ඊජිප්තුවේ අති පුරාණතම යුගයට අයත් පිරමීඩයක් ලෙසටයි. මෙම පිරමීඩය සඳහා කූෆූ පිරමීඩය සහ චියොප්ස් පිරමීඩ යන නම් ද භාවිතා කෙරෙනවා. ගීසා අවට ඇති පිරමීඩ අතර විශාලතම පිරමීඩය වන මෙය මීටර්  138.5ක පමණ උසකින් යුක්ත වනවා. මෙය තැනීම සඳහා ගඩොල් මිලියන දෙකක් පමණ භාවිතා කරන්නට ඇති බව දැනට ඇස්තමේන්තුගත කොට තිබෙනවා.

 

2. කෆ්‍රේගේ පිරමීඩය (Pyramid of Khafre)

ඉහත සඳහන් කළ කළ මහා පිරමීඩයට පරිවාර පිරමීඩයක් වන මෙය තනා තිබෙන්නේ කුෆූ රජුගේ පුත්‍රයා වන කෆ්‍රේ සඳහා බවට කියවෙනවා. මෙම පිරමීඩයට ඇතුළු වීම සඳහා  දොරටු දෙකක් තිබීම විශේෂත්වයක් වනවා (අනෙකුත් පිරමීඩවලට ඇත්තේ එක දොරටුවක් පමණයි). මෙම පිරමීඩය ආසන්නයෙන් සුප්‍රකට ස්ෆින්ක්ස් ප්‍රතිමාව ඇතුළු පුරාණ ඊජිප්තු සිද්ධස්ථාන කීපයක් පරිවාර ගොඩනැගිලි වශයෙන් පිහිටා තිබෙනවා.

 

3. මෙන්කවුර්ගේ පිරමීඩය (Pyramid of Menkaure)

කූෆූ රජුගේ මුණුබුරා වන මෙන්කවුර් වෙනුවෙන් මෙම පිරමීඩය ගොඩනගා තිබෙන අතර ගීසාහී පිරමීඩ අතරෙන් කුඩාතම පිරමීඩය මෙය වනවා. ඉතිහාසඥයන්ට අනුව පිරමීඩයක් ගොඩනැගූ අවසාන පාරාවෝ රජු වන්නේ ද මෙන්කවුර්. මෙය ගොඩනැඟීම සඳහා හුණු ගල් භාවිතා කර තිබෙන අතර ඇතැම් ස්ථර සඳහා රතු පැහැති ග්‍රැනයිට් භාවිතා කොට තිබෙනවා.

 

4. ජෝසර්ගේ පිරමීඩය (Pyramid of Djoser)

කයිරෝවෙන් කිලෝමීටර් 25ක් පමණ දකුණු දෙසින් පිහිටා ඇති මෙම පිරමීඩය ජෝසර් පාරාවෝ රජු වෙනුවෙන් ඉමෙන්ටොප් පාරාවෝ විසින් නිර්මාණය කළ එකක් බව ඉතිහාස වාර්තා සඳහන් කරනවා. මීටර් 62ක උසින් යුතු මෙම පිරමීඩය සඳහාද හුණුගල් භාවිතා කොට තිබෙන අතර පිරමීඩයට ඇතුළුවීම සඳහා ව්‍යාජ දොරටු 13ක් සකසා තිබෙන්නේ මංකොල්ලකරුවන් එයට ප්‍රවේශවීම වැළැක්වීම සඳහායි.

 

5. නැමුණු පිරමීඩය (Bent Pyramid)

පුරාණ ඊජිප්තුවේ මළවුන්ගේ නගරය ලෙස සැලකුණු ඩෂූර්හි පිහිටා තිබෙන  මෙම පිරමීඩය සකසා තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 2600 දී පමණ ඊජිප්තුවේ රජකළ ස්නේෆෙරු නම් පාරාවෝ විසින් බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. කාන්තාරයේ අංශක 54ක පමණ ඇලයකින් යුතුව පිරමීඩයේ පාදම කොටස නිර්මාණය කොට ඇති අතර උඩ කොටස අංශක 43ක පමණ ඇලයකින් යුක්ත වෙනවා.

 

6. රතු පිරමීඩය (The Red Pyramid)

මළවුන්ගේ නගරයේ පිහිටා තිබෙන විශාලතම පිරමීඩය වන මෙයට ඇතැම් පාර්ශ්ව උතුරුදිග පිරමීඩය යන නම ද භාවිතා කරනවා. රතු පැහැති හුණුගල් භාවිතා කොට ගොඩනැගීම නිසා එයට මෙම නම ලැබී තිබෙන අතර මුල් කාලයේදී එය බාහිරින් සුදු පැහැයෙන් යුක්තව තිබී තිබෙන්නේ එය ගොඩනැගීමට සුදු හුණුගල් ස්ථරයක් ද භාවිතා කොට තිබීම නිසයි. නමුත්  පසුකාලීන පාලකයන් විසින් වෙනත් ගොඩනැගිලි තැනීම සඳහා සුදු හුණුගල් කඩා ගෙන යෑම නිසා අභ්‍යන්තරයේ තිබූ රතු හුණුගල් බාහිරට නිරාවරණය වීමට පටන් ගෙන තිබෙනවා.

 

7. මයිඩුම් පිරමීඩය (Pyramid of Meidum)

සාමාන්‍ය පිරමීඩයකට වඩා වෙනස් හැඩයක් ගන්නා බැවින් පුරාණයේදී ව්‍යාජ පිරමීඩය යන නම ද මෙයට භාවිතා කළ බව කියවෙනවා. හුනී නම් පාරාවෝවරයා සඳහා මෙම පිරමීඩය ගොඩ නඟා තිබෙන අතර ගෘහ නිර්මාණ තාක්ෂණික දෝෂයක් නිසා මෙය කඩා වැටී තිබෙනවා.  මේ නිසාම අනෙකුත් පිරමීඩවලට සාපේක්ෂව මෙහි අභ්‍යන්තරයට ඇතුළුවීම දුෂ්කර වනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *