හොස්ස ලඟින් මැස්සා යන්න බැරි හස්බන්ඩ් කෙනෙක් හරි වයිෆ් කෙනෙක් හරි එක්ක ජීවත් වෙන්නේ කොහොමද?

දැන් ඔය කුකුල් කේන්තිකාරයෙක්, හොස්ස ලඟින් මැස්සා යන්න බැරි මනුස්සයෙක් එක්ක ජීවත් වෙනවා කියන එක ලේසි නෑ. මොකද, වෙන කෙනෙක් එක්ක උදේ පාන්දරින් වලියක් දාගත්තත්, ඒක යන්නේ තමන් එක්ක ජීවත් වෙන සැමියා හරි බිරිඳ හරි පිටින් වෙන්න පුළුවන්. එතකොට සැමියා නැතිනම් බිරිඳ කියන කරන ඉතාම සුළු දේකින් වුනත් මහා ගිනිවිජ්ජුම්බරයක් වෙලා ඉවර වෙන්න පුළුවන්. 

 

හරි, ඕනම මනුස්සයෙක්ට කේන්ති යනවා. ඒක වැරැද්දකට වෙන්නත් පුළුවන්, නිවැරැද්දේ වෙන්නත් පුළුවන්. එතකොට එකට ජීවත් වෙන ඕනම කෙනෙක්ට සිද්ධ වෙනවා, තමන්ට කේන්ති යන අවස්ථාවකදී කූල් ඩවුන් වෙන්නේ කොහොමද කියන එක ඉගෙනගන්න වගේම, අනිකාට කේන්ති ගියපු වෙලාවක ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එකත් ඉගෙනගන්න. හැබැයි ඉතින් ඩේලි බේසිස් පොඩි දේටත් මළ පන්නගන්න මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක ඊට වෙනස්. ආන්න එතකොට පොඩ්ඩක් විශේෂිත උපාය උපක්‍රම අනුගමනය කරන්න වෙනවා. අපි මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ටැක්ටික්ස් ටිකක් ගැන.

 

1. තක්සේරුවක් මුලින්ම

මෙන්න මේක ඇත්තටම එකට ජීවත් වෙන්න හෝ විවාහ වෙන්න කලින් කරන්න ඕන දෙයක්. දැන් සමහරු ඉන්නවා තමන්ගේ පාට්නර්ට හරිම ආදරෙයි. හැබැයි කේන්ති ගියහම යකා වැහෙනවා. පාට්නර්ට ඒ කේන්තිය නිසා ශාරීරික අඩන්තේට්ටම් පවා කරන්න පෙළඹෙනවා. මේක ස්වභාවිකද? කිසිසේත්ම නෑ. මේ වගේ කාරණයක් එකට ජීවත් වෙනකොට හරි බැන්දහම හරි විසඳගන්න පුළුවන් කියලා හිතාගෙන එකට ජීවිතයක් පටන් ගන්න එක කරන්න පුළුවන් මෝඩම වැඩක්. ආදරේ කොයි තරම් තිබුණත් වැඩක් නැහැ, මේ වගේ අවස්ථාවක. හැබැයි මෙහෙම කේන්ති යන පාට්නර්ට අවංකවම තමන්ගේ කේන්ති යන පුරුද්දෙන් මිදෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්, ඒකට උපරිම සහයෝගය දීලා එකට ඉන්න පුළුවන්. හැබැයි පාට්නර් තමන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්නෙත් නැතිනම්, නිතර කේන්ති යෑම සීරියස් ප්‍රශ්නයක් නම්, මුලින්ම තක්සේරු කරන්න ඕන ආදරේ නාමයෙන් තමන්ට එකට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. එහෙම බැරි නම් ඉතින් කොයි තරම් ආදරේ වුනත් කරන්න දෙයක් නෑ, වෙනත් විසඳුමකට යන්න වෙනවා.

 

2. ගින්නට පිදුරු දාන්න යන්න එපා

හරි, දැන් එහෙම නැතුව දෙන්නා එකට ඉන්නවා නම්, පාට්නර්ට  යකාට වගේ කේන්ති යනවා නම්, අනිකා ඉගෙන ගන්න ඕන තමන් ඒ වෙලාවට ෆයර් නොවී ඉන්න. සමහර වෙලාවට අනිකා තමන් නොකළ වැරැද්දකට කේන්ති ගන්නවා නම් හරි, සුළු වැරැද්දකට අධිකව කේන්ති ගන්නවා නම් හරි, තමන්ටත් කේන්ති යන එක ස්වභාවිකයි. හැබැයි තමන්ට එහෙම අධිකව කේන්ති යන ප්‍රශ්නයක් නැහැනේ. ආන්න ඒ නිසා මේ වෙලාවේ බුද්ධියට තැන දීලා, තමන් කූල් ඩවුන් වෙන්න ඕන. නැතිනම් තමන්ටත් කේන්ති ගිහින් මාරාන්තික යුද්ධයක් එතන ඇවිලුනහම වැඩේ තව අමාරුයි.

 

අන්න ඒ නිසා කේන්තිකාරයා කූල් ඩවුන් වෙනකල් ඉවසිල්ලෙන් ඉන්න එක තමයි හොඳම දේ.

 

3. හැබැයි යාප්පු වෙන්න යන්න එපා!

මේක කුකුල් කේන්තිකාරයොත් එක්ක ජීවත් වෙන සහකරුවෝ හෝ සහකාරියෝ කරන්න යන වැරැද්දක්. ඒ තමයි යාප්පුවෙන් ජීවත් වෙන්න හදන එක. ඒ කියන්නේ, එයාට කොයි තරම් කේන්ති ගියත් ඒක ෂේප් කරලා, ඔයා ෂෝක් ලෙවල් එකෙන් ඉන්න හදන එක. ගොඩක් වෙලාවට එහෙම කරන්නේ තමන්ගේ යුගදිවිය බේරාගන්න ඕන කියන අදහසින් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ අර කුකුල් කේන්තිකාරයාට තමන්ගේ අවුල හදාගන්න උදවුවක් ලැබෙන එක නෙවෙයි. ඒ වෙනුවට, තමන් අධික ලෙස කේන්ති ගන්න එක ගැටළුවක් නොවේය කියන එක, සමහර වෙලාවට තමන්ට එහෙම කේන්ති ගන්න අයිතියක් තියෙනවාය කියන එක ගොඩනැගීම මේ යාප්පුවෙන් ජීවත් වීමෙන් සිද්ධ වෙන්න පුළුවන්.

 

4. ස්ථිරසාර සහ ගරුකටයුතු ස්ථාවරයක්

කුකුල් කේන්තිකාරයෙක් එක්ක ජීවත් වෙන අනෙකාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන බොහොම ස්ථිරසාර බවක්. මේ කියන්නේ දැඩි බවක් නෙවෙයි. ස්ථිර බවක්. ඒ වගේම අනිකා ගැන ගරුත්වයක්. ඒ කියන්නේ හස්බන්ඩ් හරි වයිෆ් හරි කුකුල් කේන්තිකාරයෙක්ය කියලා එයා ගැන තමන්ට තියෙන ගෞරවය නැතිවෙනවා නම් ඒක ප්‍රශ්නයක්. මේ මනුස්සයෙක්ට, තමන්ගේ සහකරුට හෝ සහකාරියට දෙන ගෞරවය තියාගෙන ඉන්න ගමන්ම, මේ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම්, එහෙම ආමන්ත්‍රණය කරන එක කාරුණිකව හැබැයි ස්ථිරසාර විදියට කරන්න පුළුවන් නම්, ආන්න ඒක මේ ප්‍රශ්නය විසඳගන්න ලොකු උදවුවක් වෙයි.

 

විශේෂයෙන්ම අපි කුකුල් කේන්තිකාරයෙක් එක්ක එයාගේ ප්‍රශ්නයට හරියට ආමන්න්ත්‍රණය නොකර යාප්පුවෙන් ජීවත් වෙන්න හදන්න එපා කියන්නෙත් අන්න ඒකයි. 

 

5. වැඩක් වෙන විදියේ සන්නිවේදනයක්

දැන් කුකුල් කේන්තිකාරයෙක් එක්ක එයාගේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න ඕන නැද්ද? අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. හැබැයි ඒකට එයා කූල් ඩවුන් වෙලා ඉන්න වෙලාව තෝරගන්න ඕන. ඒ වෙලාව එනකල් ඉවසිල්ලෙන් ඉන්න ඕන. එයාගේ ඔලුවට යමක් යන විදියට සන්සුන් වෙලා ඉන්න මොහොතක මේ ගැන දෙන්නත් එක්කම සාකච්ඡා කරන එක තමයි හොඳ. හැබැයි ඒක සාකච්ඡා කරනවා කියන්නේ චෝදනා කරනවා කියන එක නෙවෙයි. දෙන්නත් එක්කම එකතුවෙලා ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක තමයි මෙතනදී වෙන්න පුළුවන්. මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන් එයාට පොඩ්ඩ ඇත්නම් මළ පනින හේතු මොනවද කියලා. එතකොට දෙන්නටම පොදු තැනකට ඒවා සම්බන්ධයෙන් එන්න පුළුවන්ද කියලා. මෙතනදී වැදගත් වෙන්නේ දෙන්නට දෙන්නා තමන් ඉන්න තත්ත්වය ගැන හොඳින් අවබෝධ කරගන්න එක. ඇත්තටම උඩින් කියපු ස්ථිරසාර බව සහ අනෙකා ගැන ගරුත්වය ඕන වෙන්නෙත් අන්න එතනදී තමයි.

 

6. ට්‍රිගර් වෙන්නෙ ඇයි?

උඩින් සාකච්ඡා කරපු විදියට කුකුල් කේන්තිකාරයෙක්ගේ ප්‍රශ්නය විසඳාගන්න උදවු වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි, එයාට කේන්ති යන ට්‍රිගර්ස් -ඒ කියන්නේ මළ පනින්න හේතු- මොනවද කියලා හොයාගන්න එක. ඒ හොයාගැනීම උඩ සන්නිවේදන ක්‍රියාවලියෙන් කරන්න පුළුවන්. දැන් ඔන්න පාට්නර්ට පුළුවන් තමන්ගේ හස්බන්ඩ්ට හරි වයිෆ්ට හරි මළ පනින දේවල් නොකර ඉන්න උත්සාහ කරන්න. හැබැයි එකක්, එකට ජීවත් වෙනවා කියන්නේ හිර කූඩුවක ඉන්නවා කියන එක නෙවෙයි!

පැහැදිලි නැද්ද? අපි කියමු හස්බන්ඩ්ට කේන්ති යනවා කියන වෙලාවට විනාඩියක් හරි පරක්කු වෙනවා නම්. වෙලාවට වැඩ කිරීම ඉතාම හොඳ කාරණයක් තමයි. හැබැයි ප්‍රායෝගික ලෝකෙදී විනාඩියක් දෙකක් සමහර වෙලාවට පරක්කු වෙන්න පුළුවන්. මෙතනදී දෙන්නම එන්න ඕන එකඟතාවයකට, එහෙම විනාඩියේ ප්‍රමාදයට මළ පැනගන්න බැහැයි කියලා. හස්බන්ඩ් එතකොට සමාව දිය හැකි සුළු ප්‍රමාදයකට මළ පැනගන්නෙ නැතුව ඉන්නකොට, වයිෆ්ට පුළුවන් හැකිතාක් වෙලාවට කලින් වැඩ කරන්න තමන්ගේ ජීවන රටාව හදාගන්න. අඩු ගාණේ පැය බාගේ, පැයේ පරක්කු වීම් නොකර ඉන්න.

ඒ වගේම මෙතන තවත් පැත්තක් තියෙනවා. ඔන්න වයිෆ් කැමති නෑ හස්බන්ඩ් තමන්ගේ යාලුවෝ ආස්සරය කරනවට. ඒ කියන්නේ ආයෙ මාසෙකට දෙහෙකට සැරයක්වත් සෙට් වෙන්න එහෙම බෑ වයිෆ්ගේ පොතේ හැටියට. අන්න එතකොට, හස්බන්ඩ්ට සහ වයිෆ්ට සමථයකට එන්න වෙනවා, විවාහ වුනා කියලා තමන්ට දෙන්නට විතරක් සීමා වෙලා ඉන්න බැහැයි කියන ප්‍රායෝගික තත්ත්වය එක්ක. එතනදී ආයෙ එන්න මැද මාවතක් නැහැනේ. ඒ වෙලාවට කුකුල් කේන්තිකාර වයිෆ්ට සිද්ධ වෙනවා තමන්ට කේන්ති යන කාරණය කොයි තරම් අතාර්කිකද කියලා වටහාගන්න.

 

7. ඉවසීම සහ කාරුණිකත්වය

ඇත්තටම මේ ඉවසීම සහ කරුණාව කියන්නේ අද කාලේ ගොඩක් අයට නැති ගති ලක්ෂණයක්. ඒ නිසා අපි හරි ඉවසීම සහ කරුණාව කියන එක භාවිතයට ගන්න එක හොඳ දෙයක්. විශේෂයෙන්ම කුකුල් කේන්තිකාරයෙක් හෝ කේන්තිකාරියක් එක්ක දීග කනවා නම්, අනිවාර්යයෙන්ම ඒ කුකුල් කේන්තිය නිවන්න තමන් මහා කරුණාවකින් සහ ඉවසීමකින් වැඩ කිරීම වටිනවා. හැබැයි එකක්: මේ කරුණාව සහ ඉවසීම කියන්නේ යාප්පු වීම හෝ නෝංජල් වීම නෙවෙයි. කරුණාවෙන් සහ ඉවසීමෙන් කටයුතු කිරීම. ඔව්. ඒ වචනයේ පරිසමාප්තාර්ථය තමයි.

ඇත්තටම ගොඩක් වෙලාවට ඔය පොඩ්ඩ ඇත්නම් කේන්ති යෑම පසුපස දුක, බය, වේදනාව වගේ හැඟීම් තියෙන්න තියෙන ඉඩ වැඩියි. එතකොට ඒ කේන්ති යෑමෙන් ඇත්තටම එළියට එන්නේ අන්න ඒ හැඟීම්. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න සහ කේන්ති යන තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට තේරුම් කරලා දීම කරන්න පුළුවන් වෙන්නේ ඉවසීමෙන් සහ කරුණාවෙන් කටයුතු කිරීමෙන් තමයි.

 

මේ එකක්වත් හරියන්නෙ නැතිනම්, උපදේශන සේවාවක පිහිට පතන්නත් පුළුවන්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *