දිවා ගුහාව, කැලණිය, ඉසුරුමුණිය සහ නාගදීපය කියලා අපි විශ්වාස කරන තැන් වැරදිද?

අද අපි කතා කරන්න යන්නේ තවත් ආන්දෝලනාත්මක මාතෘකාවක් ගැන. මේ කතාවත් ටිකක් “බුදුන් උපන් ජම්බුද්දීපය අපේ හෙළදිවයි” ටයිප් එකේ මාතෘකාවක්. හැබැයි අපි කියන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කියලා වගේ ගොන් කතාවක් නම් නෙමෙයි. පැරණි ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වන ස්ථාන හරියටම හඳුනාගෙන තියෙනවාද කියන එක සමහර අවස්ථාවලදී විවාදාපන්නයි. මේ ස්ථාන පිළිබඳව ශාස්ත්‍රීය ලෝකයේ තවමත් විවිධ වාද විවාද පැවැත්වෙනවා. මේ වගේ ස්ථාන කීපයක් ගැනයි අපි මේ කතා කරන්න යන්නේ

 

1. දිවා ගුහාව

වංශ කතාවල සහ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විදිහට බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු අවස්ථාවල උන් වහන්සේගේ පාදස්පර්​ෂයෙන් පූජනීයත්වයට පත් වෙච්ච ස්ථාන දාසයක් තියෙනවා. මේ අතරින් තවමත්  හරියටම හඳුනා ගෙන තියෙනවාද කියන එක ගැන විවාද තියන ස්ථානයක් වෙන්නේ දිවාගුහාවයි. 1995 වර්ෂයේදී බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක ස්වාමීන් වහන්සේ විසින් බටතොටලෙන කියන්නේ දිවා ගුහාව කියලා ප්‍රකාශ සිද්ධ කළා. බොහෝ බෞද්ධයන්  උන්වහන්සේගේ මතය පිළි ගත්තත් සුළු  පිරිසක් ඊට එකඟ වුණේ නැහැ.

ඉතාම මෑතකදී වර්තමාන ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හාමුදුරුවෝ නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රී පාද මළුවට මීටර් සියයක් පමණ පහළින් සහ ඉදිකටුපාණට ඉහළින් දකුණු පැත්තේ කැලෑව ඇතුළෙ තියෙන තවත් ලෙනක් දිවා ගුහාව විදිහට ප්‍රකාශයට පත් කළා. මේ ලෙන තුළ නිශ්ශංකමල්ල රජුගේ රූපයක් වගේම බාගෙට නිම කරපු බුද්ධ ප්‍රතිමාවකුත් හම්බ වෙලා තියෙනවා. නමුත් පුරාවිද්‍යාත්මක බලධාරීන් ප්‍රකාශ කළේ මේ ලෙන දිවා ගුහාව කියලා හරියටම කියන්න සියයට සීයක් සාක්කි නෑ කියලායි.

 

2. නාගදීපය

අද අපි නාගදීපය විදිහට වන්දනාමාන කරන්න යන්නේ යාපනය අර්ධද්වීපයේ අසල පිහිටා තියන නයිනතිව් දූපතට, සමහර පුරාවිද්‍යාඥයෝ කියන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරපු නාගදීපය ඒ දූපතේ නෙමෙයි පිහිටලා තියෙන්නේ ස​හ වර්තමානයේ අපි කඳුරුගොඩ විහාරය කියලා හඳුන්වන්නේ පැරණි නාගදීපයට කියලා.

මේ පුරාවිද්‍යා මතයට අමතරව තවත් නාගදීපය ගැන ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ තමයි මහියංගණය අසල පිහිටලා තියෙන රිදීමාලියද්ද පිහිටා තියෙන නාගදීප විහාරය. මේ  විහාරය ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය නිමා කිරීම වෙනුවෙන් එම විහාරයට භාරයක් වීමත් එක්ක. එම විහාරයේ වැඩ වසන ස්වාමීන්වහන්සේ කියන විදියට නිවැරදි නාගදීපය එම විහාරයලු.

 

3. කැලණිය

කැලණිය පිළිබ​ඳවත් මෙන්න මේ වගේම විවාදයක් තියෙනවා. හැබැයි මේ විවාදය නම් ගොඩ නැගිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරපු කැලණියට වඩා විහාර මහා දේවිය ඉපදුණු කැලණිය ගැන. දැනට බොහෝ දෙනා හිතන්නේ වර්තමාන කැලණිය ප්‍රදේශයේ ම පිහිටා තිබුණු පැරණි රාජධානියක විහාරමහා දේවිය ඉපදුනා කියලා. නමුත් ඇතැම් ඉතිහාසඥයෝ නම් කියන්නේ විහාර මහා දේවිය ඉපදුණු කැලණිය පිහිටලා තිබ්බේ හැඩ ඔය ආශ්‍රිතව කියලා.

 

4. අලු විහාරය 

ත්‍රිපිටකය ග්‍රන්ථාරූ​ඪ කළේ කොහේද කියලා ඇහුවොත් එහෙම බොහෝ දෙනාගේ පිළිතුර වෙන්නේ මාතලේ අලුවිහාරය කියන එක. හැබැයි කෑගල්ල ප්‍රදේශයේ ජනතාවගෙන් ඇහුවොත් එහෙම ඒගොල්ලො මෙන්න මෙහෙම කතාවකුත් කියයි. ඒ තමයි හරි අලුවිහාරය තියෙන්නෙ මාතලේ නෙමෙයි කෑගල්ලේ කියලා. කෑගල්ලේ අලු  ලෙන රජමහා විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරා කියලා තමයි ඒ අය කියන්නේ. ඒකට ඒ අය දෙන එක සා​ධකයක් වෙන්නේ මාතලේ අළුවිහාරේ ලෙන භික්ෂූන් වහන්සේලා 500 නමකට රැඳී ඉන්න තරම් ලොකු ගල් ලෙනක් නෙමෙයි කියන එක.

 

5. සිරිසඟබෝ රජු හිස දන් දුන් තැන 

අත්තනගල්ල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සිරිසඟබෝ රජ්ජුරුවෝ තමන්ගේ හිස දන් දුන්නු තැන විදිහට. සියවස් ගණනාවක් පුරා මේ සිද්ධස්ථානය ජනප්‍රිය වෙන්න මූලිකම හේතුව වුණේ මේ විශ්වාසය. නමුත් වංශකථා හදාරපු, ඉතිහාසය හදාරපු ඉතිහාසඥයෝ නම් කියන්නේ සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය රාජාංගණයේ හත්ථිකුච්චි විහාරය කියලා. මේ සඳහා වංශ කතාවල එන තොරතුරු සහ  හත්තිකුච්චි විහාර​යේ පිහිටීම සමග තියෙන සමානකම් මේ අය ගෙන හැර දක්වනවා.

 

6. ඉසුරුමුණිය

ඉසුරුමුණිය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ඉසුරුමුණිය පෙම් යුවළ. හැබැයි මේ ලෝක ප්‍රකට කැටයම නම් ඉසුරුමුණි විහාරයට අයිති කැටයමක් නම් නෙමෙයි. මේ කැටයම මුලින් පිහිටවලා තිබ්බේ රන්මසු උයනේ. පසුව ආරක්ෂාව වෙනුවෙන් මේ ගල් කැටයම ඉසුරුමුණි විහාරයේ තැන්පත් කළා. හැබැයි මේ අපි අද හඳුනා ගෙන තියෙන ඉසුරුමුණි විහාරය ගැනත් විවාදයක් තියෙනවා. සමහර ඉතිහාසඥයෝ  කියන්නේ අපි දැන් ඉසුරුමුණි විහාරය කියලා ව්‍යවහාර කරන්නේ පුරාණ වෙස්සගිරියට කියලා. ඒ වගේ ම සමහර විද්වතුන් කියන්නේ වර්තමාන වෙස්සගිරිය කියන්නේ පුරාණ ඉසුරුමුණිය කියලා. සමහරු මේ මත දෙකටම විරුද්ධ වෙනවා.

 

7. එළාර සොහොන 

දුටුගැමුණු රජතුමා කොච්චර ශ්‍රේෂ්ඨ රණශූරයෙක් ද කියන එක ඔප්පු කරන එක සාක්කියක් තමයි එතුමා තමන්ගේ ප්‍රතිවාදියා වුණු එළාර ගේ මරණයෙන් පස්සේ ඔහු වෙනුවෙන් ස්මාරකයක් ගොඩනඟන්න ක්‍රියා කරපු එක. මේ ස්මාරකය තිබ්බෙ කොහෙද කියන එක ගැන පුරාවිද්‍යාඥයෝ විවිධ මත පළ කළා. සියවස් ගණනාවක් අපි එළාර සොහොන විදිහට වරදවා වටහා ගෙන තිබ්බේ දක්ඛිණ ස්ථූපය කියන එක ආචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා ඔප්පු කළා. දැන් එතකොට එළාර සොහොන කොහෙද තියෙන්නෙ කියන එක ප්‍රශ්නයක්. මේ ගැන සොයා බලපු පුරාවිද්‍යාඥයන්ගේ සහ ඉතිහාසඥයන්ගේ මතය වෙන්නේ අපි වර්තමානයේ කුජ්ජතිස්ස ස්ථූපය කියලා හඳුන්වන දාගැබ එළාර සොහොන කියලා.

 

එහෙම නම් වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් අනිත් අයටත් දැනගන්න එක්ක ෂෙයාර් කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *