අඩුවෙන් ඉගෙනගෙන වැඩියෙන් දියුණුවුණු මිනිස්සු

අධ්‍යාපනය කියන්නේ කාගෙ කාගෙ උනත් ජීවිතවල සාර්ථකත්වයට තියෙන්න ඕන මූලිකම අඩිතාලම. “ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා” කියන්නෙත් ඒකනෙ. හැබැයි එහෙම කිව්වට හැමෝගෙම ජීවිතවල සාර්ථකත්වයට මූලික වුණු හේතුව අධ්‍යාපනයම නම් නෙමෙයි. එහෙම කියන්නේ අධ්‍යාපනය සුළුවෙන් සලකන්න කියලනම් නෙමෙයි. හැබැයි අර කිව්වා වගේ වැඩිය ඉගෙන ගත්තෙ නැතත්, මොකක් හරි හේතුවකට හුඟක් දුරට ඉගෙනගන්න වාසනාව තිබ්බේ නැතත් ලොකූ දියුණුවක් ලබපු චරිත ගැන ලංකාව තුල වගේම ලෝකේ පුරාමත් ඕන තරම් උදාහරණ තියෙන නිසයි. ඉතින් අන්න ඒ චරිත ගැන හොයල බලන එක කටත් වැදගත් වෙයි කියල අපි හිතුව. 

 

 

1. ඒබ්‍රහම් ලින්කන්

ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා. ඔහු ඇමරිකාවේ වහල් සේවය මුළුමනින්ම තුරන් කරපු ජනාධිපතිවරයා විදිහටත් ප්‍රසිද්ධයි. ඉතාම දුප්පත් පවුලක උපත ලබපු ලින්කන්ට විධිමත් අධ්‍යාපනයක් ලබන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. හැබැයි පහුකලේදී ඔහු තම විසින්ම අධ්‍යයන කටයුතු කරලා නීතීඥවරයෙක් බවට පත්වෙනවා. මූලික අධ්‍යාපනයට අවස්ථාවක් නැතිවුනා කියන කාරණයනම් ඔහුගේ සාර්ථකත්වයට බාධාවක් උනේ නෑ. ලෝක ප්‍රසිද්ධ නායකයෙක් වෙලා තමයි නතර වුනේ. ඒ වගේම අධ්‍යාපනයක් ලබන්න වාසනාව නැති වුනත් අධ්‍යාපනය ගැන ඔහුට තිබ්බේ කොයි තරම් හොඳ ආකල්පයක්ද කියන එක ගැන ඔහු විසින් පුතාගේ මුල් ගුරුතුමා වෙත ලියපු ප්‍රසිද්ධ ලිපිය කියවන ඕනෑම කෙනෙකුට හිතාගන්න පුළුවන්. 

 

 

2. රිචර්ඩ් බ්‍රැන්සන්

සර් රිචර්ඩ් චාර්ල්ස් නිකොලස් බ්‍රැන්සන් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙක්. නිකන්ම ව්‍යාපාරිකයෙක් කිව්වොත් වැරදී. දැනට උප සමාගම් 400ක් විතර පාලනය කෙරෙන වර්ජින් කියන ආයතන සමුහයේ නිර්මාතෘ ඔහුයි. හැබැයි ඔහු මේ දේවල් ඔක්කොම කරන්නේ ඉහළ අධ්‍යාපනයක් ලබල නම් නෙමෙයි. අපි හිතන හැටියට කම්පැනි එකක ලොක්කෙක් වෙන්න අඩුම ගාණෙ පශ්චාත් උපාධියක් දක්වා වත් ඉගෙනගෙන තියෙන්න එපැයි. හැබැයි රිචර්ඩ් බ්‍රැන්සන් කිසිම දවසක විශ්වවිද්‍යාල අධ්‍යපානයක් ලබල නැහැ. අවුරුදු 16ක් තරම් කුඩා කාලේදි සඟරාවක් ආරම්භ කරලා තමා ඔහු ව්‍යාපාර ලෝකයට අවතීර්ණ වෙන්නෙ. කොහොම උනත් බ්‍රැන්සන්ගේ පාසලේ අවසාන දවසේදි ඔහුගේ පාසලේ ප්‍රධානාචාර්යවරයා “ඔබ එක්කෝ හිර ගෙදරක නතරවෙයි, නැත්තම් මිලියනපතියෙක් වෙයි” කියල අනාවැකියකුත් පලකරලා තියෙනවලු මේ ශිෂ්‍යයා ගැන.

 

 

3. හෙන්රි ෆෝර්ඩ්

හෙන්රි ෆෝර්ඩ් කියන්නේ සුප්‍රසිද්ධ ෆෝර්ඩ් මෝටර් රථ ආයතනයේ නිර්මාතෘවරයා. අසාර්ථක උත්සාහයන් කිහිපයකට පස්සේ උනත් ඉතා උසස් තත්ත්වයේ වාහන නිෂ්පාදනය කරන අදටත් වාහන ලෝකේ ඉහළින්ම නම තියාගෙන ඉන්න ෆෝර්ඩ් සමාගම පිහිටුවන්න පුළුවන් වුණ මේ ෆෝර්ඩ් මහත්මයත් ලොකූ අධ්‍යාපනයක් ලබපු කෙනෙක්නම් නෙමෙයි. ඔහු ඉපදිලා තියෙන්නේ මිචිගන් වල ඉතා දුප්පත් ගොවි පවුලක. ඒ නිසාම විධිමත් පාසල් අධ්‍යාපනයක් ලබන්න ඔහුට වාසනාව හිමිවන්නේ නැහැ. ඔහු විසින්ම කරන අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි පසුකාලීනව ෆෝර්ඩ් මෝටර් රථ නිෂ්පානය ආරම්භ කරන්න ඔහුට පුළුවන් වෙන්නෙ. අධ්‍යාපන මට්ටම පහළ උනත් ඔහු ඉතා ඉහළ මතක ශක්තියක් තිබුන, තම ව්‍යාපාරය ගැන හසල දැනුමක් විශ්වාසයක් තිබුන පුද්ගලයෙක් බව තමයි ප්‍රසිද්ධ. 

 

 

4. ධිරුබායි අම්බානි

ධිරුබායි අම්බානි එහෙමත් නැත්තම් ධිරජ්ලාල් හිරාචන්ද් අම්බානි කියන්නේ අපේ අසල්වැසි ඉන්දියානු ජාතිකයෙක්. මොහු තමයි සුප්‍රසිද්ධ රිලායන්ස් සමූහයේ නිර්මාතෘ. 20 වෙනි ශතවර්ෂයේ මිනිසා විදිහටත් ඔහුව හැඳින්වෙනවා. “ඔබ ඔබේ සිහින ගොඩනැගුවේ නැත්තම්, වෙනකෙක් ඔහුගේ සිහින ගොඩනගන්න ඔබව කුළියට ගනීවි” කියන අපූරු ප්‍රකාශය කරල තියෙන්නෙත් මොහු තමයි. ඔහු ආරම්භ කරපු මේ සමූහය ඉදිරියට පවත්වාගෙන යන ඔහුගේ පුත් මුකේෂ් අම්බානි අද වෙද්දී ලෝකේ 13වෙනි ධනවතා විදිහටත් ප්‍රසිද්ධයි. පාසල් අධ්‍යාපනයට වඩා බාහිර ක්‍රියාකාරකම් වලට වැඩි කැමැත්තක් දක්වපු මොහු මූලික පාසල් අධ්‍යාපනය විතරක් ලබපු කෙනෙක්. හැබැයි ඒක ඔහුගේ ව්‍යාපාර ලෝකයේ සාර්ථකත්වයට කිසිම බාධාවක් උනේ නැහැ. 

 

 

5. සිද්ධාලේප මුදලාලි

ඔන්න මේ කියන්න යන්නෙ අපේ රටේ දියුණු වුණ මිනිස්සු ගැන. සිද්ධාලේප මුදලාලි කිව්වම ඉතින් කව්ද නොදන්නේ. ඔහු නමින් වික්ටර් හෙට්ටිගොඩ. හැබැයි කවුරුත් දන්නෙ සිද්ධාලේප මුදලාලි කිව්වම. පවුලේ රහස් වට්ටෝරුවකට හදපු බාම් එකක් ලෝකයට ගෙනිහින් අද වෙද්දී ලෝකේ රටවල් 40කට එහා ප්‍රමාණයක සිද්ධාලේප කියන නම ප්‍රචලිත කරන්න මොහු සමත්වෙලා තියෙනවා. පවුලේ අනික් දරුවෝ ඉතාම ඉහළට ඉගෙන ගනිද්දී වික්ටර් මහත්මයට ඕන වෙන්නේ පියාගේ වෙදකම ඉගෙන ගන්න. ඒ ඔස්සේ ඔහු ලංකාවේ නම ජාත්‍යන්තරයට පවා ගෙනියන්න අද වෙද්දී සමත්වෙලා තියෙනවා. 

 

 

6. නවලෝක මුදලාලි

එච්. කේ. ධර්මදාස නැත්තම් නවලෝක මුදලාලි කියන්නෙ දුර ගමක ඉඳන් කොළඹට ඇවිල්ලා ජීවිතේ දිනපු තවත් එක ව්‍යාපාරිකයෙක්. ඔහු තමයි නවලෝක සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ. අවුරුදු 14දි පියාගේ වියෝව නිසා කොළඹ ඇවිල්ලා කඩයක වැඩ කරලා තමයි පසු කාලීනව ඒ තරම් දියුණු වෙන්න ලැබෙන්නේ ඔහුට. නවලෝක මුදලාලි කියන්නෙත් විධිමත් අධ්‍යාපනයක් ලබන්න වාසනාව නැතිවුනත් ඉහළම සාර්ථකත්වයක් ලබපු ව්‍යාපාරිකයෙක්. අද වෙද්දී ඔහු ජීවත්ව නොහිටියත් ඔහුගේ ව්‍යාපාර තවමත් ලංකාවේ ඉහළම තලයක තියෙනවා. 

 

 

7. මැලිබන් මුදලාලි

ඒ. ජී. හින්නි අප්පුහාමි මහතා තමයි අපි කවුරුත් දන්නා මැලිබන් ආයතනයේ නිර්මාතෘ මැලිබන් මුදලාලි කියන්නේ. කොළඹ කොටුවේ පුංචි තේ කඩයකින් ආරම්භ කරපු ව්‍යාපාරය අද වෙද්දී රටවල් ගණනාවකට තමන්ගේ නිෂ්පාදන අපනයනය කරන විශාල සමාගමක්. විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලැබුවත් බිස්කට් ගැන ලාංකිකයෝ අහලවත් නැති කාලෙක ඒ වගේ නිෂ්පාදනයක් ආරම්භ කරල ඔහුගේ උත්සාහය සහ කැපවීම නිසාම අති දියුණුවට පත්වෙච්ච කෙනෙක්. 

 

ඉතින් අපි ඔය කියපු ඔක්කොම අය උසස් අධ්‍යාපනයට අවස්ථාව නොලැබුනත් උත්සාහය, කැපවීම, වාසනාව කියන ඔක්කොම කාරණා නිසා ඉහල සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වුණු පුද්ගලයෝ. ඒ අයගේ ව්‍යාපාර වල ඉතා උසස් අධ්‍යාපනය ලබපු සේවකයින් නම් ඔවුන්ගේ යටතේ සේවය කරන එකත් හරි අපූරු සිදුවීමක් තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *