බ්‍රෑන්ඩඩ් බඩු ගන්න එකේ වාසි මේවා තමයි!

දැන් අපි හැමෝම එක එක තාලේ බඩු මුට්ටු ගන්නවනේ. ඒ කියන්නේ ගෙදරට අවශ්‍ය කහ කුඩු පැකට් එකේ ඉඳලා ෆ්‍රිජ් එකක් හරි වොෂින් මැෂින් එකක් හරි දක්වා බඩුමුට්ටු අපි ගන්නවා. අන්න එතකොට සමහරු එහෙම ගන්න බඩුවේ බ්‍රෑන්ඩ් එකක් බලන්නෙ නෑ. ඒ වෙලාවට වැඩේ කරගන්න ඕනම එකක් ගන්න සූදානම් මනුස්සයෙක් බ්‍රෑන්ඩ් එකට වඩා බලන්නේ කොච්චර ලාබයක් ඇතුව වැඩේ කරගන්න පුළුවන්ද කියන එක. අන්න එතකොට අඩුම මිල බඩුව ගන්න හිතන අය වැඩියි.

හැබැයි තවත් සමහරු ඉන්නවා, ආයෙ මොකක් ගත්තත් බ්‍රෑන්ඩ් එක ගැන බලනවා. ඒක ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩඩ් බඩු ගන්න එකේ විශේෂ වාසියක් ගැන හිතලා කරන දේකුත් නෙවෙයි. සමහරු තමන් ගන්නේ බ්‍රෑන්ඩඩ් බඩු කියන ලොකු සීන් එකටත් බ්‍රෑන්ඩඩ් බඩු ගන්නවා. ඒ අතරේ ටික දෙනෙක් බ්‍රෑන්ඩඩ් බඩු ගන්න එකේ තියෙන සමස්ත වාසිය ගැන හිතලා බ්‍රෑන්ඩඩ් බඩු ගන්නවා. අපි මේ කියන්න යන්නේ ආන්න ඒ බ්‍රෑන්ඩඩ් බඩු ගන්න එකේ තියෙන වාසි කීපයක් ගැන තමයි. හිතලා බලන්න ඒක කොයි තරම් පාරිභෝගිකයෙක් විදියට අපිට වටිනවද කියලා ඊලඟ වතාවේ බඩුගන්න යනකොට.

 

1. කොලිටියේ ෂුවර් එක 

මේක ගැන ආයෙ අමුතුවෙන් කියනන් දෙයක් නෑ. බ්‍රෑන්ඩඩ් බඩු සාමාන්‍යයෙන් කොලිටියෙන් අනික් බඩු වලට වඩා ඉහළයි. ඒකට හේතුව, බ්‍රෑන්ඩඩ් බඩුවක කොලිටි බැස්සොත්, ඒ අයට මාකට් එකෙන් විසික් වෙන්න සිද්ධ වෙන නිසා. මොකද, තව බ්‍රෑන්ඩ් ඉන්නවා ඒ තැන ගන්න. අන්න ඒ නිසා, මොකක් හරි ප්‍රඩක්ට් එකක ඒකාධිකාරයක් පවත්වාගෙන යන බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි නම්, ඕනම බ්‍රෑන්ඩ් එකක් තමන්ගේ කොලිටිය රැකගන්න සෑහෙන්න වෙහෙසෙනවා. ආන්න එතකොට, ඒ බ්‍රෑන්ඩ් එකේ නමටත් එක්ක ටිකක් වැඩිපුර ගෙවන්න වුනත්, අපිට ෂුවර් එකක් තියෙනවා බ්‍රෑන්ඩඩ් බඩුවක් අද අරගෙන හෙට විසික් කරන්න සිද්ධ වෙන්නෙ නැහැ කියලා! එතකොට අර වැඩියෙන් ගෙවන මුදල ඇත්තටම පාඩුවක් නෙවෙයි.

 

2. කල් පැවැත්ම

බ්‍රෑන්ඩඩ් බඩුවකට ටිකක් වැඩියෙන් කීයක් හරි ගෙවන්න වුනත්, ඒක පාඩුවක් නෙවෙයි කියන්න පුළුවන් තව කාරණාවක් තියෙනවා. ඒ තමයි කල්පැවැත්ම. සාමාන්‍යයෙන් අද කාලේ මාකට් එකේ තියෙන බඩු වල ආයුකාලය ඉතාම සීමිතයිනේ. උදාහරණයක් විදියට ගත්තොත්, අපි බ්‍රෑන්ඩඩ් හෙඩ්සෙට් ගන්නේ ඉතාම කලාතුරකින්නේ. හැබැයි එහෙම ගන්න බ්‍රෑන්ඩඩ් නැති හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන්න පුළුවන් කාලය ඉතාම සීමාසහිතයි. වාසනාව තිබ්බොත් අවුරුද්දක් අදින්න පුළුවන් වෙයි. නැත්තම් මාස හයෙනුත් චකබ්ලාස් වෙන්න පුළුවන්. හැබැයි අපි කියමු හොඳ බ්‍රෑන්ඩ් එකක හෙඩ්සෙට් එකක්, බ්‍රෑන්ඩඩ් නැති හෙඩ්සෙට් එකක ගාණ වගේ හත් අට ගුණයක් ගෙවලා ගත්තා කියලා. ආන්න ඒක අවුරුදු හතක් අටක් වුණත් කොලිටියේ කිසිම වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙයි ගොඩක් දුරට. බ්‍රෑන්ඩඩ් බඩු වල මේ කල් පැවැත්ම සාපේක්ෂව ඉතාම ඉහළයි කියන එකත් ඇත්ත කාරණාවක්.

 

3. වගකීම

සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් නොවෙන බඩුවකට ලැබෙන වගකීම ඉතාම අඩුයි. ඔය වගකීම් සහතික එහෙම සමහර වෙලවට හම්බුවෙන්නෙත් නැති තරම්. අපි උදාහරණයකට ගමු මැජික් බුලට් බ්ලෙන්ඩර් එකක්. ආයෙ රුපියල් දෙදහටත් මැජික් බුලට් ගන්න තිබුණා පහුගිය කාලෙදී. හැබැයි රජෝ වොරන්ටි දෙන්නෙ නෑ. දුන්නත් මාස හයයි. මාස හය යනකොට දෙදාහේ මැජික් බුලට් එකේ කෑලි උණු වෙලා වැඩ කරන එක නවතින්න තියෙන ඉඩත් වැඩියි. හැබැයි එහෙමයි කියලා ආයෙත් ගත්ත තැනට උස්සගෙන ගියහම ඒක රිප්ලේස් කරලා දෙයි කියලා නං බලාපොරොත්තු වෙන්නත් බෑ. සමහර වෙලාවට බ්‍රෑන්ඩඩ් නැති බඩුවක් අරගෙන ඒක කැඩුනහම අපිට ඒක විකුණපු තැනක් හොයාගන්නත් නැති වෙන්න පුළුවන්.

හැබැයි බ්‍රෑන්ඩඩ් බඩුවක් ගත්තට පස්සේ ඔය අවුල නෑ. හොඳ වගකීම් සහතිකයක් දෙනවා. ඒ බ්‍රෑන්ඩ් එකට අලෙවි නියෝජිතයොත් ඉන්නවා. ඒ නිසා අවුලක් වුනත් ආපිට ගෙනිහින් විසඳුමක් ලබාගන්න පුළුවන් වගකීම ගන්න කෙනෙක් ඉන්නවා.

 

 

4. අනික් අයගෙන් වෙනස් වීම

මේක නම් ඉතින් පොඩි සමාජීය කාරණාවක්. දැන් බ්‍රෑන්ඩඩ් බඩු ගැන කොච්චර හොඳ කිව්වත්, බ්‍රෑන්ඩඩ් බඩු ගන්න බැරි මිනිස්සු ඉන්නවනේ. ඒ අය එක්කෝ බ්‍රෑන්ඩඩ් බඩු වල වාසි තියෙනවා කියලා එහෙමට විස්වාසයක් නැති අය. එහෙම නැතිනම් ගොඩක් දුරට බ්‍රෑන්ඩඩ් බඩු ගන්න එක ආර්ථිකේට අමාරුයි කියලා හිතන අය. ඒක සාධාරණයිනේ. උඩිනුත් කියපු විදියට කොලිටිය සහ කල්පැවැත්ම අතින් බ්‍රෑන්ඩඩ් බඩුවක් ගන්න එක දීර්ඝකාලීනව වාසි සහගත වෙන්න පුළුවන්. හැබැයි බ්‍රෑන්ඩඩ් බඩුවක් ගන්න නම් ඒ මොහොතේ ඒ අමතර වියදම දරන්න හැකියාවක් තියෙන්න ඕන. ඒක ගොඩක් අයට නැහැ. ආන්න එතකොට බ්‍රෑන්ඩඩ් බඩුවක් ගන්න කෙනෙක් අනික් අයගෙන් වෙනස් වෙනවා. තමන්ගේ බ්‍රෑන්ඩඩ් බඩුවට අමතර වටිනාකමකුත් ලැබෙනවා ඒ එක්ස්ක්ලූසිව් කම නිසා!

 

5. අඩු වෙලාවකින් තෝරගැනීමට හැකියාව

බ්‍රෑන්ඩඩ් බඩුවක් ගන්න එකේ තියෙන තව වාසියක් තමයි තෝරාගන්න වෙන් කරන්න ඕන කාලය අඩු වීම. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ගන්න යනවා නං, අපේ මූලික කරුණු කාරණා ටිකට මැච් වෙන ඉලෙක්ට්‍රොනික් උපාංගයක් අපිට තෝරගන්න අවශ්‍ය වෙන්නේ අදාළ බ්‍රෑන්ඩ් එකේ තියෙන ප්‍රඩක්ට් ලයින්අප් එකෙන් විතරයි. ඕන නම් අපි අනික් බ්‍රෑන්ඩ් වල තියෙන සමාන ප්‍රඩක්ට්ස් එක්ක අපේ ෆේවරිට් බ්‍රෑන්ඩ් එකේ තියෙන ප්‍රඩක්ට්ස් සංසන්දනය කරයි. එහෙම කළත්, මාකට් එකේ උඩ පහළ දුව දුවා බ්‍රෑන්ඩඩ් සහ බ්‍රෑන්ඩඩ් නොවන කියන තැන් දෙකේම අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංගය හොයනවාට වඩා සැලකිය යුතු කාලයක් ඉතුරු වෙනවා.

 

6. ලෝයල්ටි ප්‍රෝග්‍රෑම්ස්

මේක නම් ඉතින් හැමෝම දන්න දෙයක්නේ. දැන් අපි හන්දියේ ෆෝන් ෂොප් එකට ගිහින් කිසිම බ්‍රෑන්ඩ් එකක් නැති හෙඩ්සෙට් එකක් අඩු ගාණකට ගන්නවා. ඕක මාස හතරෙන් කැඩෙනවා. දැන් ආයෙමත් හන්දියේ ෆෝන් ෂොප් එකටම ගිහින් තව හෙඩ්සෙට් එකක් ගන්නවා. හැබැයි මාස හතරෙන් ආයෙමත් හෙඩ්සෙට් එකක් ගන්න ආවා කියලා අපිට ඩිස්කවුන්ට් දෙන්නෙ නැහැනේ. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. බ්‍රෑන්ඩඩ් නොවෙන බඩුවක් ගන්නකොට පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතරේ ලොකු සම්බන්ධකමක් හැදෙන්නෙත් නෑ. අන්න ඒ නිසා බ්‍රෑන්ඩඩ් නොවෙන බඩු වලට ගොඩක් වෙලාවට ඔය ලෝයල්ටි ප්‍රෝග්‍රෑම්ස් එහෙමත් නෑ. නිරන්තරයෙන් රැඳී ඉන්න කස්ටමර්ස්ලට ලැබෙන විශේෂ ඩිස්කවුන්ට් එහෙමත් නෑ. ඒත් බ්‍රෑන්ඩඩ් අයිටම්ස් ගන්නකොට ලෝයල් කස්ටමර්ස්ලට ගොඩක් දුරට ඔය විශේෂ සැලකිලි, ඩිස්කවුන්ට් එහෙම හම්බුවෙනවා.

 

7. තමන්ගේ ඉමේජ් එක

මේකත් සමාජයීය කාරණාවක්. දැන් අපි උඩිනුත් කිව්වනේ බ්‍රෑන්ඩඩ් අයිටම් එකක් මිලදී ගන්නකොට අපි බ්‍රෑන්ඩඩ් අයිටම්ස් මිලදී නොගන්න අයගෙන් වෙනස් වෙනවා කියලා. මේක ගොඩක් දෙනෙක් තමන්ගේ ඉමේජ් එක වර්ධනය කරගන්න, ඉමේජ් එක හැඩගස්වා ගන්නත් පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට ගත්තොත්, බ්‍රෑන්ඩඩ් කලිසමක්, බ්‍රෑන්ඩඩ් ෂර්ට් එකක්, බ්‍රෑන්ඩඩ් බෙල්ට් එකක් ඇඳලා පැළඳලා ඉන්න එකෙන් ව්‍යාපාරිකයෙක්ගේ ඉමේජ් එක වර්ධනය වෙනවා. හේතුව, අර බ්‍රෑන්ඩඩ් කලිසම්, ෂර්ට්, බෙල්ට් වලින් ලබාදෙන විශේෂ කොලිටියක් පේන්න, දැනෙන්න තියෙන නිසා. ඒක අඩු ගාණට ගන්න කලිසමකින්, ෂර්ට් එකකින්, බෙල්ට් එකකින් ලබාගන්න බැහැ. සමහර අය තමන්ගේ ඉමේජ් එක නිර්මාණය කරන්න විශේෂ බ්‍රෑන්ඩ් විතරක් පාවිච්චි කරන අවස්ථා පවා තියෙනවා. ඒකත් බ්‍රෑන්ඩඩ් බඩු ගන්න එකේ තියෙන විශේෂ වාසියක්.

 

හැබැයි එකක්, තමන්ගේ විශ්වාසවන්ත බ්‍රෑන්ඩ් එකේ බඩු කොලිටියෙන් පිරිහෙනවා කියලා දැනෙනවා නම්, මගේ බ්‍රෑන්ඩ් එකනේ කියාගෙන එල්ලිලා ඉන්න එපා. බ්‍රෑන්ඩ් එක මාරු කරන්න කොලිටි බඩු තියෙන බ්‍රෑන්ඩ් එකකට!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *