වාහන විකුණන අය කරන මේ හොර වැඩ වලට නම් අහු වෙන්න එපා!

වාහනයක් ගන්නවා කියන එක හැම කෙනෙක්ගෙම හිතේ තියෙන හීන වලින් එකක්. ඉතින් එහෙම වාහනයක් ගන්නේ ගරාජ් ගානේ රස්තියාදු වෙන්නෙ නැතුව කරදරයක් නැතුව පාවිච්චි කරන්නනේ. ඒ උනාට ලංකාව කියන්නේ හරි වෙනස් රටක්. තව කෙනෙක් ගැන විශ්වාස කරන්න හරි අමාරුයි. විශේෂයෙන් වාහන කියන මාතෘකාව සම්බන්ධයෙන්  ගොඩක්ම හොර වැඩ සිද්දවෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. වාහන විකු​ණද්දී හොර වැඩ කරන්න කප් ගහපු අයියල ඕනෑතරම් ලංකාවේ ඉන්නවා. ඉතින් අපි අද කතා කරන්නේ තමන්ගේ වාහන හීනය හැබෑ කරගන්න යද්දී හොර වැඩ වලට අහු වෙන්නෙ නැතුව ඒ හීනය හැබෑ කරගන්න උදව් වෙන කාරණා කිහිපයක්. 

 

 

1. හැමෝම දන්න මීටර් කරකැවිල්ල

පාවිච්චි කරපු වාහනයක් ගන්න යනවනම් බේරෙන්න ඕන ලොකුම වංචාව මේක කියල කියන්න පුළුවන්. මේ වංචාව මොකක්ද කියල ඉස්සෙල්ල කියන්න ඕනෙ. ඕනෑම වාහනයක් පාවිච්චි කරන්න කරන්න වාහනයේ ඵලදායී ජීව කාලය අඩු වෙනවා. එක අපි දන්නවනේ. ඉතින් වාහනය පාවිච්චි කරද්දී වාහනයේ  ODO Meter එකේ ඒ භාවිතා කරන දුර ප්‍රමාණය (Mileage) ගණනය වෙනවා. ඉතින් වාහනයක පාවිච්චි කරලා තියෙන ප්‍රමාණය තීරණය කරන මූලිකම දේ තමයි මේ Mileage එක කියන්නේ. ඉතින් යම් කෙනෙක් තමන් භාවිතා කරපු වාහනය විකු​ණද්දී, අදාළ වාහනය ගොඩක් අඩුවෙන් ධාවනය කරලා තියෙනවා කියල කියන්න නම් වාහනයේ Mileage එක ගොඩක් අඩුවෙන් තියෙන්න ඕනෙ. නමුත් ඒ වාහනය කැබ් සර්විස් එකක දුවල තියෙනවනම් හරි රෙන්ට් කරලා තියෙනවනම් හරි, එහෙමත් නැත්නම් තමන්ම පට්ට ගහල තියෙනවනම් මේ Mileage එක ගොඩක් වැඩි අගයක් ගන්නවා. එතකොට ගන්න එන කෙනෙක් දෙපාරක් හිතනවා. අන්න එතැනදී තමයි මේ වාහන මීටර් කරකවන අයියල සීන් එකට එන්නේ. අන්න ඒ වගේ වංචාවකින් බේරෙන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි වාහනයේ දුම් සහතික අවුරුදු පහක විතර ඉල්ලන එක. ඒවායින් අදාළ Mileage එක තහවුරු වෙනවනම් අවුලක් නෑ. හැබැයි දුම් සහතික නෑ කියනවනම් පොඩ්ඩක් පරෙස්සම් වෙන්න.

 

 

2. ජපන් වාහන ගෙනෙද්දී කරන වැඩ

ලංකාවේ වාහන ගන්න අය ගොඩක්ම රැවටෙන්නේ මෙන්න මේ වැඩේදී. වාහන සේල් වලින් ජපානෙන් වාහන ගෙනෙද්දී ගොඩක් හොර වැඩ වෙනවා. කතන්දරේ මෙහෙමයි.  ජපානයේ පාවිච්චි කරපු ඩැමේජ් වෙච්ච වාහන යාර්ඩ් වල රෙපෙයාර් කරනවා. මේ වගේ ඩැමේජ් උන වාහන හිතන්නවත් බැරි අඩු මුදලකට ගන්න පුළුවන්. ලංකාවේ සමහර සේල් වලිනුත් ඒ රටේ යාඩ් තියන් ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ එහෙදි හැප්පිච්ච කුඩු වෙච්ච වාහන වෙන්දේසි වලින් අරන් එයාලගේ යාඩ් වල හොයාගන්න බැරිවෙන්න රෙපෙයාර් කරනවා. ඊට පස්සේ මීටරෙත් කරකවනවා කි.මී.  50 , 100 වගේ වෙන්න. ඊට පස්සේ ආයේ ඒ රටේ වෙන්දේසි වලට මේ වාහන යොමු කරනවා. එතැනදී මේ වාහනේ මිල හොඳ ලාබයක් තියෙන ගා​ණකට තමයි යන්නෙ. ඉතින් එයාලම ලංකාවෙන් ඒ වාහනේ සේල් එක හරහා ඕඩර් කරනවා. ඉතින් ඒවා පාර්ශ්ව ගණනාවක උදව් ඇතුව තමයි කෙරෙන්නේ. ඒ නිසා මේ වගේ කාර් සේල් වලින් ගේන ඔක්ෂන් හරහා ගෙන්නපු වාහන ගැන නම් විශ්වාස කරන්න එපා. ඔරිජිනල්ම වාහනයක් ගන්න පුළුවන් හොඳම තැන අදා​ළ නිෂ්පාදන සමාගම තමයි. එතනින් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් බය නැතුව ගන්න පුළුවන්.

 

 

3. හොරට ඇසෙම්බල් කිරිල්ල

ගරාජ් වල වාහන හදනවා කියල අපි දන්නවනේ. අන්න ඒ වගේ තමයි ගරාජ් එකකට පුළුවන්නේ වාහනයක ඔක්කොම කොටස් ටික තියෙනවනම් ඒක වාහනයක් කරන්න. එතකොට අපේ අයියල කරන වැඩේ තමයි වාහනයකට අදා​ළ කොටස් වෙන වෙනම ලංකාවට ගෙන්නනවා. එකේදී අදාළ බදු එහෙම අඩු වෙනවා මොකද වාහන අමතරකොටස් කියලනේ ගෙන්නන්නේ. එකේදී චැසි එක කොටස් හතරකට විතර කපල ගේනවා. පාර්ට්ස් ටිකත් වෙන වෙනම ගේනවා. ඊට පස්සේ චැසි එක පුරුද්දනවා ගරාජ් වල. ඊට පස්සේ කෑලි ටික සෙට් කළාම වැඩේ හරි. ඒකට පොතක් හදාගන්න එකත් ඒ අය නියමෙට කරනවා. එතකොට ඉතින් ගන්න කෙනාට දෙයියන්ගේම පිහිටයි. මොකද පුරුද්දපු වාහනයක් ඔරිජිනල් වාහනයක් වගේ හයිය නෑනේ. ඒ වගේ වැඩ වලින් බේරෙන්න නම් කරන්න තියෙන්නේ අදාළ නිෂ්පාදකයාගෙන් ම වාහනේ ගන්න එකයි. එහෙම නැත්නම් මාර්කට් එකේ හොඳ නමක් දිනාගත්තු සේල් එකකින් ගන්න එකයි. මොනා උනත් සේල් ගැන නම් ඒ තරම් විශ්වාසයක් තියන්න බෑ.

 

 

4. ඩුප්ලිකේට් පොත්

වාහනේක ලියාපදිංචි සහතිකේට අපි සාමාන්‍යයෙන් කියන්නේ වාහනේ පොත කියල. ඉතින් ඔරිජිනල් පොතක් තියෙන වාහනේකට වඩා ඩුප්ලිකේට් පොතක් තියෙන වාහනේක වටිනාකම අඩුයි. ඒ හේතුව නිසා එහෙම වාහනයක් විකුණන අය මේ ගැන දන්නේ නැති අයව ලස්සනට අන්දනවා. පොත ඩුප්ලිකේට් ද කියල බලාගන්න පුළුවන් කොන්දේසි/විශේෂ සටහන් කියන තීරුවේ. (නොම්බර හතර කියන තීරුවේ) අනිත් එක ගොඩක් මුල්‍ය ආයතන ඩුප්ලිකේට් පොත් තියෙන වාහන වලට ලෝන් හෝ ලිසිං පහසුකම් දෙන්නේ නෑ. ඒ නිසා මේ කාරණා​ව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. එහෙම වාහනයකට ​අත නොගහන එක තමා වඩා හොඳ.

 

 

5. මැදිහත්කරුවන්ගේ වැඩ

සමහර කාර් සේල් තියෙනවා ඒගොල්ලෝ වාහන අයිතිකරුවගෙන් වාහනේ විකුණලා දෙන්න මුදලක් ගන්නවා. එතකොට එයාලගේ වාහන වගේ සේල් එකේ තියන් ඉන්නේ. ඒත් සමහර වෙලාවට අයිතිකාරයා ගොඩක් අඩු මුදලකට නම් වාහනේ විකු​ණන්න හිතන් ඉන්නේ සේල් එකෙන් එක්කෙනෙක් දානවා අයිතිකාරයා විදිහට. එයා තමයි එතකොට ගණන් කතා කරන්නේ. ගන්න කෙනාට අයිතිකාරයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ. ඉතින් මේකත් එක වංචාවක්. ඒ නිසා පොතේ තියෙන අයිතිකරුමද පෙනී හිටින්නේ කියන එක ටිකක් හොයල බලන්න. එහෙම නැති උනොත් ඔයාට අඩුවට ගන්න තියෙන චාන්ස් එක නැතිවෙන්න පුළුවන්.

 

 

6. හොර රිපෝර්ට් හැදිල්ල

මුලිනුත් කිව්වා වගේ අපේ කට්ටිය Mileage කරකවල විතරක් නිකන් ඉන්නේ නෑ. වාහනේ ගත්තු දවසේ ඉඳල ගා​ණට නූලට දිනේට සර්විස් කළා කියල පෙන්නන්න සර්විස් රෙකෝර්ඩ් හිටන් හදනවා. ඒවා කරලා දෙන තැනුත් තියෙනවා අපරාදේ කියන්න බෑ. ඉතින් ​ඒකයි මුලිනුත් සඳහන් කා​ළේ දුම් සහතික ඉල්ලන්න කියල. මොකද සර්විස් රෙකෝර්ඩ්ස් උනත් විශ්වාස කරන්න ටිකක් අමාරුයි මේ කාලේ.

 

 

7. කටින් ගහන ගේම්

අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් වාහන විකුණන අයගේ කට ගැන තමයි. දන්නේ නැති මිනිහෙක් කියල තේරුණා ගමන් එයාල පටන් ගන්නවා කටින් ගහල ගේම දිනන්න. ‘මල්ලි ඔයා තරුණ කොල්ලෙක් නිසයි මේ ගා​ණට දෙන්නේ.’ ‘මම මේ වාහනේ විකු​ණන්නේ හිතකින් නෙමෙයි.’ ‘ගෙදර කෙනෙක් වගේ තිබ්බ වාහනේ’ ‘මේක මම පාවිච්චි ක​ළේ කඩේට යන්න විතරයි’  ඔන්න ඔය වගේ බයිලා වලින් ගන්න එන කෙනාව සුපිරියට අන්දන්න උපන් හපන්කම් ඇති උදවිය ඕන තරම් ඉන්නවා. ඒ නිසා වාහනයක් බලන්න යනවනම් ඒ ගැන දැනුම තියෙන දෙන්නෙක් විතර එක්කන් යන්න. මොකද එයාල කියන ඒවාට නොදන්නා අය හොඳට අඳිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *