2018 ඔස්කාර් සම්මාන දිනූ චිත්‍රපට

Oscar movies 2018

ඔස්කාර් සම්මාන උළෙල එහෙමත් නැත්නම් ඇකඩමි සම්මාන උළෙල, හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය තුල පැවැත්වෙන ප්‍රධානතම සම්මාන උළෙල ලෙස හැඳින්වෙනවා. 1929 පළමු වරට පැවත්වුනු මේ සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 90 වැනි වරටයි. කාණ්ඩ 24 ක් යටතේ සම්මාන බෙදී ගිය මේ සම්මාන උළෙලේ සම්මාන ජයග්‍රහණය කළ චිත්‍රපට ගැන කතා කරන්නයි අපේ මේ සුදානම.

 

1. The Shape of Water

 

The Shape of Water කතාව ගෙතෙන්නේ තරමක් අතීත පරිසරයක් තුලයි. ඒ පරිසරය තුල සිදුවන සිදුවීම් සහ ජිවත් වන අය ඉතාමත් විශිෂ්ට ලෙස නිර්මාණය කිරීමට තිර රචකයා සමත් වී තිබෙන බව පැවසිය යුතුමයි. කතාව සාරාංශයක් ලෙස මෙලෙස දක්වන්නට පුළුවන්.   එලිසා කියන්නේ ගොළු කාන්තාවක්. ඇය වැඩ කරන්නේ විද්‍යාත්මක පරීක්ෂණ කරන රජයේ ආයතනයක පිරිසිදු කිරීමේ සේවිකාවක් හැටියටයි. දවසක් මේ ආයතනයට හඳුනා නොගත් ජලජ ජීවියෙක් අරගෙන එනවා පරීක්ෂණ කටයුත්තකට. එම පරිශ්‍රයට කිසිවෙක්ට ඇතුල් වෙන්නට ඉඩ නොදුන්නත් පිරිසිදු කිරීම සඳහා ඇතුල් වන්නට එලිසා ට අවස්ථාව ලබා දෙනවා. එලිසා ගොළු කාන්තාවක් උනත් ඇය මේ සත්වයා සමග අපට නොසිතන ලෙසකින් සන්නිවේදනය කරනවා. අවසානයේදී ඇය මේ සත්වයා සමග පෙමින් බැඳෙනවා. ඉතිරිය නැරඹීම ඔබට භාරයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ගුයිලර්මෝ ඩෙල් ටෝරෝ විසිනුයි.

ලබාගත් ඔස්කාර් සම්මාන : හොඳම චිත්‍රපටය / හොඳම සංගීතය / හොඳම අධ්‍යක්ෂණය / හොඳම නිෂ්පාදන නිර්මාණ කාර්යය

 

2. Three Billboards Outside Ebbing, Missouri

 

තමන්ගේ දුව දූෂණය කොට මරා දැමීමෙන් පසුව ඒ පිලිබඳ පොලිසිය දක්වන මන්දගාමී ප්‍රතිචාරයට විරුද්ධව සටන් වදින මවක් වටා කතාව දිගහැරෙනවා. දුව කෙරෙහි ඇය දක්වන ආදරය හමුවේ සමහර අවස්ථාවල ඇය අතිශය දරුණු කාන්තාවක් බවට පත්වනවා. මේ අතරේ අවංකවම රාජකාරිය කිරීමට මහන්සි ගන්නා පොලිස් නිලධාරියකු සහ මෙවැනි අවස්ථාවක ඔහුගෙන් නිරුපණය වන මනෝභාවයන් පිළිබඳවත් චිත්‍රපටය අපුරුවට නිරුපණය කරනවායැයි කිවුවොත් මා වැරදි නැහැ. කතාව ගෙතෙන්නෙ ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශයක් මූලික කොටගෙනයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ මාටින් මැක්ඩොලන්ඩ් විසිනුයි. ප්‍රධාන චරිතය වන මවගේ චරිතය නිරුපනය කලේ ෆ්‍රාන්සස් මැක්ඩොමන්ඩ් විසිනුයි.

ලබාගත් ඔස්කාර් සම්මාන : හොඳම නිළිය / හොඳම සහය නළුවා

 

3. Darkest Hour

 

මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ වින්ස්ටන්ට් චර්චිල් ගැන කියැවෙන මේ කතා පුවත සත්‍ය කතාවක් මත පදනම් වූවක්.දෙවැනි ලෝක යුද්ධය ඇරඹීමත් සමග මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණ චර්චිල් ගේ හිස මතට විශාල බරක් පැමිණෙන්නේ රටේ ඒ වන විට තිබූ යුද්ධමය බියත් සමගයි. ඒත් සමගින් ඔහුට තීරණය කරන්නට සිදුවෙනවා නාසීන්ට එරෙහිව යුද්ධ කරනවාද නැද්ද යන වග. මේ කතා පුවත තවත් අතුරු කතා රාශියකින් සමන්විතයි. ඉතින් මෙය නැරඹීම ඔබටම භාර කරනවා. මෙහි ඇති විශිෂ්ට වේශ නිරුපණය බොහෝ දෙනාගේ කතා බහට ලක්වූවක් බව කිව යුතුයි. විශේෂයෙන්ම සම්මානිත නළු ගැරී ඔල්ඩ්මන් ගේ සැබෑ ස්වරූපය චර්චිල් ලෙස හැඩගැන්වීමට ගෙන ඇති වෙහෙස ප්‍රශංසනීයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ජෝ රයිට් විසිනුයි

ලබාගත් ඔස්කාර් සම්මාන : හොඳම නළුවා / හොඳම වේශ නිරුපණය

 

4. Dunkirk

 

ඩන්කර්ක් කියන්නේ වෙරල තිරයක්. දෙවැනි ලෝක යුද්ධ සමයේ ජර්මනියෙන් එන ප්‍රහාර වලට මුහුණ දෙමින් බ්‍රිතාන්‍ය පාබල හමුදාවලට සුදානම් වීම සඳහා අවශ්‍ය කාලය සැපයීම සඳහා සෙබළුන් බල ඇණියක් මේ වෙරල තිරයට යොමු කරනවා. ඔවුන් ගත කරන අභියෝගාත්මක කාල සීමාව ගැනයි චිත්‍රපටයේ කතාව දිවෙන්නේ. Darkest Hour චිත්‍රපටයේත් මේ සිදුවීම ගැන සඳහන් වෙනවා. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ක්‍රිස්ටෝපර් නෝලන් විසිනුයි. නිෂ්පාදනය සුප්‍රකට වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් සිදු කර තිබෙනවා.

ලබාගත් ඔස්කාර් සම්මාන : හොඳම ශබ්ද සංකලනය / හොඳම ශබ්ද සංස්කරණය / හොඳම සංස්කරණය

 

5. Phantom Thread

 

මේක කතාංගමය සිනෙමා පටයක්. 50 ගණන් වල හිටපු වයසක මෝස්‌තර නිර්මාණ ශිල්පියෙකුට තරුණියක් මුණගැහෙනවා. රූමත් තරුණියක්. ටික කලක් යනවිට ඇය ඔහුගේ පෙම්වතිය බවටත් නිරූපිකාවක් බවටත් පත් වෙනවා. තරුණියක් සමග පෙමින් බැඳෙන මහල්ලෙකු මුහුණ දෙන සමාජයීය ගැටළු දිහාවට ගැඹුරු වූ කෝණයකින් අවධානය යොමු කරන සිනෙමා පටයක් විදිහට Phantom Thread හඳුන්වන්න පුළුවන්. ඩැනියල් ඩේ ලුවිස්, විකී ක්‍රීප්ස් රංගනයෙන් දායක වෙන මේ සිනෙමා පටය සංගීතවත් කරන්නේ ජොනී ග්‍රීන්වුඩ් විසිනුයි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ පෝල් තෝමස් ඇන්ඩසන් විසිනුයි.

ලබාගත් ඔස්කාර් සම්මාන : හොඳම ඇඳුම් නිර්මාණය

 

6. Coco

 

සිය පවුලෙන් ලැබෙන සංගීත ආභාෂය ඔස්සේ ඉදිරියට යන ළමයෙක් සිය සිහිනය වන මහා සංගීතඥයෙක් වීම මේ චිත්‍රපටයේ කියවෙනවා. අලුත්ම කාටුන් මුහුණු ටිකක් මේ චිත්‍රපටයෙන් කල එලි බහින්න නියමිතයි. ඔහු යන සංගීත දිවියේදී ඔහුට මුහුණ දීමට සිදුවන බාධක ආදිය සහ ඒවාට ඔහු මුහුණ දෙන ආකාරය කියන මේ සිනෙරුව කුඩා දරුවන්ට ආදර්ශ රැසක් කියාදෙන බවටනම් සැක නැහැ. ඒ වගේම කිව යුතුයි තාත්වික ලෙස චරිත ගොඩ නැගීමට එහා ගොස් සජීවිකරණය භාවිතා කොට නිමැවුණු දරුවන්ට මතක හිටින ආකාරයේ චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්වුවොත් වැරැද්දක් නැහැ. මෙය ඩිස්නි පික්සාර් සමාගමේ නිපැයුමක්. ලී අන්ක්‍රිච් ගේ අධ්‍යක්ෂණයක්.

ලබාගත් ඔස්කාර් සම්මාන : හොඳම සජීවිකරණ චිත්‍රපටය

 

මේ චිත්‍රපට වලට අමතරව පහත චිත්‍රපටද සම්මාන දිනා ගනු ලැබුවා.

Icarus : හොඳම වාර්තාමය චිත්‍රපටය

Dear Basketball : හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය

Heaven is a traffic jam on the 405 : හොඳම වාර්තාමය කෙටි චිත්‍රපටය

 
Cover Image Source – IMDB.com / ign.com / cnn.com / yahoo.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *