දුප්පත් පෝසත් පරතරය තියෙන කපල් එකක් නම් ආදරේ ජයගන්නේ මෙහෙමයි

දැන් ඔය සුජීව ප්‍රසන්නාරච්චිගේ කතා එහෙම කියවලා ඇති නේද? කෙල්ල සෑහෙන්න දුප්පත්. හැබැයි කොල්ලා පෝසත්. එහෙම නැතිනම් කෙල්ල හෝටල් හිමි ධනවතෙක්ගේ දුව. ඉතින් ඔහොම තියෙනකොට දෙන්නා ලව් එකට සෙට් වෙනවා. දෙන්නගෙ ලව් එක ඔහොම ගලාගෙන යනවා. එතකොට සෙට් වෙනවා දුෂ්ටයා. එක්කෝ සල්ලිකාර කෙල්ලගේ නැත්තං සල්ලිකාර කොල්ලගේ තාත්තා. නැත්තං කෙල්ල බඳින්න ඉන්න සල්ලිකාර කොල්ලා. ඉතිං එතන ඉඳන් ප්‍රේමෙට අම්බානෙක බාධා. හැබැයි ඉතින් කොහෙන් කොව්වා මොනවා වුණත්, අන්තිමට දුප්පත් පෝසත් බේද ජය අරගෙන කොල්ලයි කෙල්ලයි සෙට් වෙනවා!

 

දැං ඇත්ත ජීවිතේදිත් ඔහොමම දේවල් සිද්ධ වෙනවද? දුප්පත් පොහොසත් පංති පරතරය ප්‍රේමයට එල්ල වෙන බාධාවක් නෙවෙයිද? ඇත්තටම නම් ඉතින් ඕක කොයි පැත්තටත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔය දුප්පත් කොල්ලා/කෙල්ල සහ පෝසත් කෙල්ල/කොල්ලා ලව් එකට සෙට් වෙන එව්වා පොත් වල තියෙන කතන්දර නෙවෙයි. මේ එදිනෙදා ලෝකේ අපි ඔය වගේ සීන් දකිනවා. හැබැයි ඉතින් අවශ්‍ය නම් ඒ බාධා ජය අරගෙන ජීවිතේ දිනන්නත් පුළුවන්. හා බැරිද? ආන්න ඒකට උදවුවක් වෙන ටිප්ස් කීපයක් තමයි මේ.

 

1. මොකද්ද මේ තියෙන්නේ?

ඔය දුප්පත් පෝසත් කතන්දර නැතුව වුණත් ලව් කියන්නේ අපි හෙනම කන්පියුස් වෙන සීන් එකක්නේ. හා නැද්ද? එහෙව් එකේ දුප්පත් පෝසත් සීන් එකකුත් සෙට් වුණහම කොහොමද?

 

මෙතනදී ඇත්තටම ගොඩක් වෙලාවට ප්‍රශ්නේ එන්නේ ලව් කරන දෙන්නට නෙවෙයි. ආදරේ අන්ධයිනේ. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ එන්නේ අවට අයට. උදාහරණයක් විදියට ගත්තොත්, පෝසත් කෙල්ලගේ තාත්තා හිතන්නේ දුප්පත් කොල්ලා ඇවිත් තියෙන්නේ කෙල්ලට හිමි වෙන්න තියෙන වස්තු සම්භාරෙට කෙලින්න මිසක් හැබෑ ආදරේකට නෙවෙයි කියලා. පෝසත් කොල්ලගේ යාළුවෝ හිතන්නේ, කොල්ලගේ පැක්ටරියේ වැඩ කරන කෙල්ල ලව් එකක් පෙන්නන්නේ ජොබ් එක ගොඩදාගන්න කියලා. දැන් ඔතන තියෙන ප්‍රශ්නේ මේකයි. ඇත්තටම ඔතන යාළුවෝ, අම්මලා තාත්තලා හරි වෙන්නත් පුළුවන්. මෙතන ලව් එකකට වඩා විවිධ ආර්ථිකමය වාසි නිසා ඇතිවෙන ගනුදෙනුමය බැඳීමක් තියෙන්නත් පුළුවන්. දැන් ඒක කොහොමද තේරුම් ගන්නේ?

 

2. ෆ්‍රෙන්ඩ්ෂිප් බෆර් ටයිම්

උඩ කියපු ප්‍රශ්නේ ඇත්තටම මුලින් ක්ලියර් කරගෙන ඉන්න ඕන, එතනින් එහාට යන්න කලින්. මොකද, එහෙම නැත්තං ඔව්වා හිතේ කහට විදියට තමයි හිටින්නේ. ආන්න ඒ ප්‍රශ්නේ ක්ලියර් කරගන්න නම්, ආදරෙන් පිස්සු වැටිලා අන්ධ වෙලා නටන්න කලින්. ඒක කරන්න හොඳම ක්‍රමයක් තමයි පටන් ගැන්මෙන්ම ලව් සීන් වලට බහින්න කලින්, පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ ඉඳලා දෙන්නට දෙන්නා දැන අඳුනාගන්න එක. ඇත්තටම එහෙම ෆ්‍රෙන්ඩ්ෂිප් බෆර් එකක් තියෙනකොට තේරුම් ගන්න පුළුවන් අනික් එක්කෙනා එන්නේ මොකාටද කියලා. ඒ කියන්නේ පෝසත් කොල්ලා එන්නේ තමන්ගෙන් මොකක් හරි ප්‍රයෝජනයක් අරගෙන මාරු වෙන්නද, එහෙම නැතිනම් දුප්පත් කොල්ලා එන්නේ තමන්ගේ දත ගලවන්නද කියන එක මෙතනදී තේරුම් ගන්න පුළුවන්. මොකද, එහෙම අභිලාශයන් තියාගෙන එන අය ෆ්‍රෙන්ඩ්ෂිප් අනං මනං කර කර ඉන්නෙ නෑ. ඒ අයට ඕනෙ ඉක්මන් දේවල්. 

 

අනික් එක, එහෙම හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් වර්ධනය කරගෙන ඉස්සරහට යන එක ඇත්තටම තියෙන ලව් එකකට වුණත් වටිනවා.

 

3. තම තමන්ගේ පර්සනල් ගෝල්ස්

දුප්පත් පොහොසත් පංති පරතරයක් තියෙන දෙන්නෙක්ගේ ලව් එකක් ස්ථාවර කරගන්න නම්, යම් විදියකට ඒ පංති පරතරය පියවගන්න වෙනවා. කලබල වෙන්න එපා. ඒ කියන්නේ දුප්පත් කොල්ලා/කෙල්ල කොහෙන් හරි සල්ලි හොයාගන්න කියන එක නෙවෙයි. අපි කියන්නේ මෙහෙම දෙයක්. දැන් දුප්පත් කොල්ලට අනිවාර්යයෙන්ම තමන්ගේ ඉදිරි ජීවිතේ ගැන විෂන් එකක්, දැක්මක් තියෙන්න ඕන. සැලසුමක් තියෙන්න ඕන. ඒ සැලසුමට වැඩ කරලා සාර්ථක වෙන්න ඕන. හැබැයි එතනදී අපි සාර්ථකත්වය කියලා කියන්නේ සල්ලි ගොඩක් හොයාගන්න එක නෙවෙයි. සාර්ථකත්වය විවිධාකාර වෙන්න පුළුවන්. ඒක අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන්, මිල මුදල් අතින් වෙන්න පුළුවන්, සමාජ පිළිගැනීමෙන් වෙන්න පුළුවන්, වෘත්තිය සාර්ථකත්වයෙන් වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික අතින් වෙන්න පුළුවන්. ඔය මොන විදියකින් හෝ මනුස්සයෙක්ට සාර්ථකත්වය ලඟා කරගන්න පුළුවන් නම් හරි, සාර්ථකත්වයකට යන පාරේ යන්න පුළුවන් නම් හරි හොඳයි.

 

එතකොට පෝසත් කෙල්ල/කොල්ලා? උඩ කියපු ටික ඒ විදියටම පෝසත් කෙනාටත් ඇප්ලයි වෙනවා. ඇත්තටම අම්මට තාත්තට සල්ලි තිබ්බා කියලා ජීවිතේ සාර්ථක වෙන්නෙ නෑ. ඒක බොරුවක්. අන්න ඒ නිසා, එයාටත් දුප්පත් කොල්ලා/කෙල්ල වගේම විෂන් එකකින්, සැලසුමකින් වැඩ කරන්න වෙනවා.

 

4. කරනවද නැද්ද?

ඇත්තටම ලව් එකක් එක්ක ඉස්සරහට යන්න නම්, දෙන්නම පැහැදිලි තැනකට තැනකට එන්න ඕන. ආයෙමත් කියන්න වෙන්නේ, උඩ කිව්වා වගේ ආදරෙන් අන්ධ වෙලා පිස්සු කෙලලා අන්තිමට “ගෙවල් වලින් කැමති නැති නිසා අපි වෙන් වෙමු රත්තරං” කියන්න තියාගන්න එපා කියන එක තමයි. අන්න ඒ නිසා, මුලින්ම දෙන්නා ඇත්ත ලෝකේ පොළවේ පය ගහලා කරන කතාබහකට සෙට් වෙන්න ඕන. “හරි, අපි දෙන්නා මේක දිගටම කරගෙන යනවද?” අන්න එතනින් පටන් ගන්න. ඊට පස්සේ දෙන්නා යථාවාදීව කිරලා මැනලා බලන්න දෙන්නට සම්බන්ධතාවය සාර්ථක කරගන්න පුළුවන්ද කියලා. සමහර වෙලාවට දෙන්නට විවාහ වෙන්න, එක් වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි දෙන්නා වෙන් වෙනවා නම් වෙන් වෙන්න ඕන දෙන්නට දෙන්නා ගැලපෙන්නෙ නැති නිසා හරි, එක මගක යන්න බැරි නිසා හරි මිසක්, දුප්පත් පෝසත් කම් නිසා නෙවෙයි. අන්න ඒ නිසා තමයි මේ “ලව් එක කරනවද නැද්ද” කියන සාකච්ඡාව අවශ්‍ය වෙන්නේ.

 

ලව් එක කරනවා කියලා තීරණය කළොත් මතක තියාගන්න. දෙන්නම එකම ටීම් එකක්. දෙන්නම එකම ටීම් එකක ඉඳන් මැච් එකට සෙල්ලං කරන්න ඕන.

 

5. මිලමුදල් සීමාවන් තියාගන්න

දුප්පත් පෝසත් පංති දෙකකින් එන දෙන්නෙක් ලව් කරනවා නම් මෙන්න මේ ගැන බොහොම සැලකිලිමත් වෙන්න. ඒ තමයි, එක්කෙනෙක්ගේ දුප්පත් කම හෝ පොහොසත් කම අනික් කෙනාට හිතට බරක් හෝ කරදරයක් වෙන්න ඉඩ නොතියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ලව් කරන කෙනාගෙන් හදිසියකට ලෝන් එකක් එහෙම දාගන්න එක අමුතු දෙයක් නෙවෙයිනේ. හැබැයි අපි කියමු අපිට ඉන්නේ පෝසත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා. ඌට ලක්සයක් දෙකක් කියන්නේ ගාණක් නෙවෙයි කියලත් හිතමු. එතකොට එයාගෙන් හදිසියකට ලක්සයක් ඉල්ල ගන්න හිතන්න එපා. ඒක එක විදියකට යූස් කිරීමක් වෙන්න පුළුවන්. ඒ වගේ හදිසි වුවමනා එපා කම් එනවා නම්, ඒවා ඊට කලින්ම එන්න පුළුවන් කියලා අනුමාන කරලා අවශ්‍ය විධිවිධාන සකස් කරලා තියන්න. හදිසියකට ගන්න තැන්පතුවක් වගේ දෙයක්. ඒ වගේම වෙන කරන්නම දෙයක් නැති වෙලාවක ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් හරි බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් හරි සල්ලි ඉල්ලගත්තොත්, මතක් කරලා, කල් නොයවා ඒ ණය රිටර්න් කරන්න.

 

තව උදාහරණයක් ගමු. දැන් ලව් කරන කපල් එකිනෙකාට තෑගි දීගන්නවනේ. ආන්න ඒ තෑගි සම්බන්ධයෙන් ගත්තහම ඒක සංකේතාත්මක තැනක තියාගන්න. ඒ කියන්නේ මූල්‍යමය වටිනාකමකට වඩා සංකේතාත්මක වටිනාකමක් හරි උපයෝජ්‍ය වටිනාකමක් හරි තියෙන තෑගි එකිනෙකාට දීගන්න. අන්න එතකොට “එයා මට බර්ත්ඩේ එකට අස්සයෙක් දුන්නා, මට එයාගෙ බර්ත්ඩේ එකට දෙන්න වෙන්නේ ලී වලින් හදපු රුපියල් හාරසීයේ අලියෙක් විතරයි” වගේ ප්‍රශ්න එන්නෙ නෑ!

 

6. කල්චර් මැච් කරමු

මේක ටිකක් සංවේදී කාරණාවක්. දැන් ඔය මිල මුදල් ඇති නැති කමත් එක්ක අපිට එන යම් කිසි ක්ලාස් එකක් තියෙනවනේ. ආන්න ඒක සම්බන්ධයෙන් දෙන්නම සංවේදී වෙන්න ඕන. උදාහරණයක් ගමු. සාමාන්‍යයෙන් නිතර පාටීස් වලට එහෙම යන සල්ලි තියෙන කෙනෙක්ට ටේබල් එටිකට් වගේ දේවල් එහෙම අරුමයක් නෙවෙයි ගොඩක් වෙලාවට. හැබැයි දුප්පත් පසුබිමකින් එන කෙනෙක්ට එහෙම ටේබල් එටිකට් වගේ දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. හැබැයි ලස්සනම දේ මේකයි. ටේබල් එටිකට් ඉගෙන ගන්න, හැඳි ගෑරුප්පු හරඹ ඉගෙන ගන්න ඇත්තටම පෝසත් වෙන්න ඕන නෑ!

 

අපි මේ කියන්න හදන්නේ මෙහෙම දෙයක්. ලව් කරන කපල් එකේ දෙන්නා දුප්පත් පොහොසත් පරතරයක් එක්ක තියෙන පසුබිම් වලින් එනකොට, එක්කෙනෙක්ගේ කල්චර් එක අනික් එක්කෙනාට නැති වෙන්න පුළුවන්. අන්න එතකොට, තමන්ගේ කල්චර් එකට අනික් එක්කෙනාට අනුගත වෙන්න ඉඩ ලබාදෙන්න, උදවු කරන්න. ඒ වගේම, ඒ කල්චර් එකට එනකල් ඉවසන්න. අනික් කෙනාගේත් වගකීම වෙන්නේ තමන් ලව් කරන මනුස්සයාගේ කල්චර් එක තේරුම් ගැනීම, ඒකට හුරු වීම තමයි. හැබැයි ඇත්තටම එතන දුප්පත් පෝසත් කම් අදාළ නෑ. දුප්පත් කෙල්ල ටේබල් මැනර්ස් ඉගෙන ගන්න කොට, පෝසත් කොල්ලට ඉගෙන ගන්න සිද්ධ වෙනවා, කටුමැටි ගෙදරක හැදෙන මයියොක්කා කෑල්ලක් වුණත් අතින් බෙදාගෙන කන විදිය! 

 

7. ගෙවල් වලට කියනවද නැද්ද?

දැන් දෙන්නම ලව් එක පවත්වාගෙන යනවා කියලා තීරණය කරලා, ඉන්පස්සේ තමන්ගේ ගෝල්ස් එක්ක එකිනෙකාගේ සාර්ථකත්වය කරා වැඩ කරනවා කියල හිතන්නකෝ. ආන්න එහෙම වැඩේ ගොඩදාගෙන යන එක හොඳයි. හැබැයි ගෙවල් වලට කියනවද? ආන්න ඒක පොඩ්ඩක් හිතලා බලන්න ඕන. දුප්පත් පෝසත් බේද කොහොම තිබුණත්, හොඳ අවබෝධයක් තියෙන, නම්මා ගන්න හැකියාවක් තියෙන අම්මලා තාත්තලා නම් ඉන්නේ, සම්බන්ධේ ගැනත්, දෙන්නම ඒ ගැන සීරියස් ඉන්නේ කියලත්, දෙන්නම තම තමන්ගේ ජීවිත වල සාර්ථකත්වය කරා යන්න කටයුතු කරමින් ඉන්න බවත් කියලා තිබ්බට කාරි නෑ. හැබැයි එහෙම තේරුම් කරලා දෙන්න අමාරු දෙමාපියෝ නම් ඉන්නේ, පොඩ්ඩක් උපක්‍රමශීලී වෙන්න සිද්ධ වෙනවා. සම්බන්ධතාවය හංගාගෙන වැඩ කරන්න වෙනවා. හැමදාටම නෙවෙයි. දෙන්නම තම තමන්ගේ ජීවිත වල යම් කිසි සාර්ථකත්වයකට එනකල්. අන්න ඊට පස්සේ බය නැතුව කියන්න පුළුවන්.

 

ඒ වගේම තම තමන්ගේ යාළු මිත්‍රාදීන්ටත් මේ සම්බන්ධතාවය ගැන කියනවද නැද්ද කියන එක දහපාරක් හිතලා බලන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ඒක පිළිගන්න පුළුවන් විවෘත මනසක් නැති කෙනෙක්ට නම් මේ ගැන හංගන තරමට හොඳයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *