තෙල්මේ නැටුම් කලාව ගොඩාක් ඉස්සර කාලෙක ඉඳලා අපේ රටේ තිබ්බ, අපේ රටට ආවේණික නැටුම් කලාවක්. ඉතින් ඒ නැටුම් කලාවේ විශේෂ දේවල්, ඉතිහාසය සහ ඒ සම්බන්ධ රසවත් තොරතුරු ගැන අපි අද කතාකරමු.
1. ඉතිහාසය
අපිට හමුවෙලා තියෙන මූලාශ්‍රත් එක්ක තෙල්මේ කියන්නෙ රාවණා රජතුමාගේ කාලයේ ඉඳලා පැවතගෙන එන ගොඩාක් පැරණි නර්තන කලාවක් බවට සඳහන් කරන්න පුළුවන්. බොහෝ වේලාවට මේ නර්තනය පවත්වන්නේ සූර්යයාට දක්වන කෘතගුණ සැළකීමක් විදියටයි. රාවණා රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා අද වෙනකන්ම විවිධ උත්සව වල පවත්වනු ලබන මේ අපූරු සංස්කෘතික නර්තනය ඔයත් අනිවාර්යයෙන්ම දැකලා ඇති…
2. සිදු කරන ආකාරය
මේ නර්තනය කරන්නේ හරි අපූරු විදියකට. නර්තන ශිල්පියා පෘථිවියේ ආනතයට සමානව ඇල වෙලා වටේට කැරකෙන ගමන් යම් ලක්ෂයක් වටේටත් රවුමටත් කැරකෙනවා හරියට පෘථිවිය තමා වටෙත් කැරකෙන ගමන් සූර්යා වටෙත් පරිභ්‍රමණය වෙන විදියට. ඔය එක එක විද්‍යාඥයන් ඕවා හොයාගන්නත් කලින් අපේ රටේ මිනිස්සු මේ සූර්ය චලිතය සම්බන්ධව දැනන් හිටියා කියන්න මේ නැටුම හොඳ උදාහරණයක්…
3. සිදු කරන අවස්ථා
මේ නර්තනය අපි කලින් කිව්වා වගේ ලංකාවේ ගොඩාක් සංස්කෘතික උත්සව වල අනිවාර්යයෙන්ම වගේ තියෙන අංගයක්. ඒ වගේම මේ නර්තනය අයත් වෙන්නේ පහතරට නර්තන සම්ප්‍රදායට. විශේෂයෙන් පත්තිනි මෑණියන්ගේ නාමයෙන් සිදු කරන ගම්මඩු ශාන්තිකර්මයේ මේ තෙල්මේ නැටුම් කලාව මූලික තැනක් ගන්නවා. ඒ වගේම තෙල්මේ නර්තනය නටන්නෙ දොළොස් දෙවියන්ගේ නාමයටයි. නොයිඳුල්ව සිඳගත් තෙල්වලින් දොළොස් දෙවියන්ට පහන් දල්වමින් තමයි මෙම නැටුම සිදු කරන්නේ.
4. තෙල්මේ තටුව
මේ තෙල්මේ නැටුම නටන භූමිය මැද්දට වෙන්න තියෙනවා තෙල්මේ තටුවක්. මේක හදන්නේ බුලත් කොළ දොළහක් මත පඬුරු දොළහක් තියලා. ඒ වගේම පහන් දොළහකුයි, විලක්කු දොළහකුයිත් මේ තෙල්මේ තටුව උඩින් තියලා දල්වනවා. ඉන් පස්සේ තමයි නැටුම පටන් ගන්නේ…
5. නර්තන ඇඳුම්
මේ තෙල්මේ නටන තෙල්මේ නර්තන ශිල්පියාගේ ඇඳුම් ගැන විශේෂයෙන් සඳහන් කරොත්, විල්ලුද රෙද්දෙන් කරපු මුතු පබළු එහෙම අල්ලපු හැට්ටයකුයි පිජාමා ආකාරයේ කලිසමකුයි මේ නර්තනය සඳහා අඳිනවා. ඊට අමතරව ඉණහැඩ, නළල්පට වගේ විශේෂ ආභරණ සහ ඇඳුම් පැළඳුම් වලිනුත් සැරසිලා තමයි මේ නර්තනය සිදු කරන්නේ…
6. ප්‍රධාන පද
ප්‍රධාන වශයෙන් ගත්තොත් තෙල්මේ පද හතක් තියෙනවා. ඒවා එක්ක ඒකට අදාළ නර්තන කොටස නර්තන ශිල්පියා නටද්දී තියෙන්නේ අතිශය වේගවත් වගේම සුන්දර බවක්. මේ අලංකාර පද වලින් පස්සේ නටනවා විශේෂ පද වර්ගයක් නේරංගම නමින්. ඊට පස්සේ ඒවත් ඉවර වුණාට පස්සේ නර්තන ශිල්පියාගේ නර්තනයේ ශිල්පීය දක්ෂතා ගොඩාක් අපිට මේ නර්තනයෙන් දකින්න පුළුවන්.
ඉතින් මේ තෙල්මේ නර්තනයේදි යොදා ගන්න කවියකුත් පහතින් දාන්නම්..
රැඟුම් කර ඇල්මේ
දෙවිඳුට පුදන තෙල්මේ
දොළහ දෙවි මුල්මේ
පටන්ගනීමුය මෙපුද තෙල්මේ
7. චීන තානාපතිගෙන් වැඳුම් ලැබීම
මේක සිද්ධ වුණේ 1980 අවුරුද්දේ කොළඹ ජෝන් ද සිල්වා රඟහලේ පැවැත්වුණ චීන මහජන දින සංස්කෘතික උළෙලෙදි. දහස් ගාණක් මිනිස්සු හිටපු ඒ උත්සව අවස්ථාවේ අවසානයේ නර්තනයේ යෙදුණේ තෙල්මේ නැටුම් ශිල්පියෙක්. ඔහුගේ නර්තනය ඒ උළෙලේ ප්‍රධාන අමුත්තා වුණු එවක චීන තනාපතිතුමාව කෙතරම් විශ්මයට සහ සතුටට පත් කරන්න සමත් වුණාද කියනවනම් අවසානයේදී තනාපතිතුමා ඒ නර්තන ශිල්පියාට මල් කළඹක් පවා පිරිනමා තිබෙනවා. නිකන්ම නෙමෙයි, නර්තන ශිල්පියාගේ කකුල් අල්ලලා වැඳලා. මේ වගේ ප්‍රබල ජාතියක් අපේ නර්තනයට වැඳපු එකෙන් අපේ සංස්කෘතිය කොච්චර පොහොසත් කියලා අපිටත් පොඩි ආඩම්බරයක් දැනෙනවා නේද?
ඉතින් අපෙන් ගිලීහීගෙන යන වටිනා සම්ප්‍රදායක් ගැන ගොඩක් දේවල් මේ පෝස්ට් එකෙන් ඔයාලට දැනගන්න ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ දේවල් යාළුවොත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා…
ශශින් ප්‍රබෝද්
Leave a Reply