හස්බන්ඩ් කෙනෙක් ඉන්න එකේ තියෙන වාසි මේවා තමයි!

දැන් කාලේ ගොඩක් අය අහනවනේ ඇත්තටම අපි කසාද බඳින්න ඕනද කියලා. එහෙම අහනකොට කසාද බැඳපු අය කියනවා, කසාද ජීවිතේක තියෙන රහ දන්නවා නං ඔය ප්‍රශ්නෙ අහන්නෙ නැහැයි කියලා. ඇත්තටම කසාද ජීවිතේක වාසි තියෙනවද? අපොයි ඔව්, තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, අපි කලිනුත් ලියලා තියෙනවා වයිෆ් කෙනෙක් ඉන්න එකේ තියෙන වාසි ගැන. දැන් ඇත්තටම මෙතනින් එහාට ආටිකල් එක ලියන්නේ හස්බන්ඩ් කෙනෙක්  ගැන හිතන, හස්බන්ඩ් කෙනෙක් නැතුවට කමක් නෑ කියලා හිතන, හස්බන්ඩ් කෙනෙක් මොකටද මගේ ජීවිතේට කියලා හිතන අය වෙනුවෙන්මයි. අපි බලමු, ඇත්තටම හස්බන්ඩ් කෙනෙක් ඉන්න එකේ තියෙන වාසි මොනවද කියලා!

1. සෙක්ස් ඇන්ඩ් ලව්!

සමහරු කියනවා, පිරිමියෙක්ට සෙක්ස් කරන්න ගෑණියෙක් හොයාගන්නවට වඩා ලේසියෙන්, ගැහැණියකට සෙක්ස් කරන්න පිරිමියෙක් හොයාගන්න එක ලේසියි කියලා. ඒක අපි දන්නෙ නෑ. හැබැයි හස්බන්ඩ් කෙනෙක් ඉන්න එකේ තියෙන වාසියක් තමයි ඕනම වෙලාවකට සෙක්ස් කරන්න, තමන් ආදරේ කරන පාට්නර් කෙනෙක් ඉන්න එක. විශේෂයෙන්ම ඔය සමහරු කියනවනේ හස්බන්ඩ්ට සෙක්ස් කරන්න ඕන වෙලාවට වයිෆ්ව අල්ලගන්න එක ටිකක් අමාරු වැඩක් කියලා. හැබැයි ඒකේ අනික් පැත්ත නම් අමාරු වැඩක් නෙවෙයි කොහෙත්ම. වයිෆ්ට සෙක්ස් කරන්න ඕන වෙලාවකට පොඩ්ඩක් හස්බන්ඩ්ව අවුස්සන්න විතරයි තියෙන්නේ. මනුස්සයා වැඩේට රෙඩි වෙලා ඉඳී. ඉතින් ඇත්තටම හස්බන්ඩ් කෙනෙක් ඉන්න එකේ එක වාසියක් තමයි, ලව් එකත් එක්කම සෙක්ස් ලබාගන්න පහසුවක් වීම!

2. ප්‍රශ්න කතා කරන්න

දැන් අපිට ඕනම කෙනෙක්ට ජීවිතේ ප්‍රශ්න තියෙනවනේ. ඔෆිස් එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. අම්මලා තාත්තලගෙ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි එතකොට අපිට ගෙදර ඇවිල්ලා ඒ ප්‍රශ්න කතා කරන්න පුළුවන් කා එක්කද? ඔය ගැහැණු උදවිය ගැන දන්න විශේෂඥයෝ කියන්නේ කාන්තාවන්ට ඕන කරන්නේ ඇත්තටම ප්‍රශ්නයක් වුණහම, ඒ ගැන කියවලා කියවලා හිත නිදහස් කරගන්න කියලනේ. ඒකට ඕන නම් යාළුවෙක්ට කතා කරන්න පුළුවන් තමයි, එහෙම නැතිනම් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට කතා කරන්නත් පුළුවන්. හැබැයි තමන් ගෙදර එනකොට ඒකට ගෙදරම මනුස්සයෙක් ඉන්නවා නම්, තමන්ව තුරුල් කරගෙන, තමන්ගේ ඔළුව අත ගගා තමන්ට සවන් දෙන්න කෙනෙක් ඉන්නවා නම් ඒක සෑහෙන්න විශේෂ දෙයක්. හා නැද්ද? ආන්න ඒක තමයි, ගෙදරම තමන්ට හස්බන්ඩ් කෙනෙක් ඉන්න එකේ වාසිය!

3. පයිප්ප අලුත්වැඩියා, විදුලි අලුත්වැඩියා

දැන් ගෙදරක විවිධාකාරයේ අලුත්වැඩියා කටයුතු එනවනේ. එතකොට ඒ ගැන දැනුමක්, පුහුණුවක් තියෙනවා නම් කාන්තාවකට වුණත් ඔය අලුත්වැඩියා කටයුතු කරගන්න එක මහ දෙයක් නෙවෙයි තමයි. එහෙම ගෙදරක බල්බ් එකක් මාරු කිරීමේ ඉඳලා කැඩුණු පයිප්පයක් හදාගැනීම දක්වා දැනුම තියෙන කාන්තාවොත් නැතුවා නෙවෙයි. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ගෙදරක හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා කියන්නෙම, ඔය කියන වැඩ කටයුතු ඕනම එකක් කරගන්න බාස් උන්නැහේ කෙනෙක් ගෙදරම ඉන්නවා කියන එක තමයි. හා නැද්ද? හැබැයි ඉතින් මේ කාරණාව අදාළ වෙන්නේ ඔය බබා ටයිප් හස්බන්ඩ්ලට හරි, ජෝන් බාස් හස්බන්ඩ්ලට හරි නෙවෙයි. හැබැයි තමන්ගේ ගෙදර පොඩි පොඩි අලුත්වැඩියාවක්, රිප්ලේස් කරගැනීමක් කරගන්න දැනුමක් තියෙන, වැඩේ දෙක කරගන්නෙ නැතුව ඒක හරියට කරගන්න දන්න හස්බන්ඩ් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නෙම ලොකු දෙයක්. ඒක වයිෆ්ට හිතටත් සැහැල්ලුවක්!

4. ආර්ථිකය පහසුවෙන්

දැන් කාලේ අපි හැමෝටම ආර්ථික ගැටළු තියෙනවනේ. විශේෂයෙන්ම තනියෙන් ජීවත් වෙන මනුස්සයෙක්ට එහෙම නම් අනිවාර්යයෙන් පවතින රටේ ආර්ථික තත්වයත් එක්ක, මූල්‍ය ගැටළු එහෙම මතුවෙනවා. අන්න එතකොට, ඒකට තමන්ට හයියක් වෙන කෙනෙක් ඉන්න එක ඇත්තටම ලොකු දෙයක්. දැන් ඔය සමහරු කියනවා, තනි මනුස්සයෙක් විදියට තනියම ඉන්න එකෙන්, ඔය ආර්ථික අමාරුකම් වඩාත් පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන්, පවුල් පන්සල් වුණු කෙනෙක්ට වඩා කියලා. හැබැයි එහෙම කිව්වට, ඇත්තටම නම්, දෙන්නත් එක්ක ආර්ථික කටයුතු බෙදාහදාගෙන කරගන්න එකෙන්, තනියෙන් ඉන්නවට වඩා හොඳ ජීවිතයක්, වඩාත් දැරිය හැකි මුදලකට පවත්වාගෙන යන්න පුළුවන් කියලත් විවාහ වුණු අය කියනවා.

5. සොල්‍යුෂන්

අපි ඕනම කෙනෙක්ට ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා කියලා අපි කලිනුත් කිව්වනේ. ඒ වගේම, කාන්තාවන්ට වැඩිපුර අවශ්‍ය වෙන්නේ තමන්ට ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නේ ගැන කතා කරල හිත නිදහස් කරගන්න කියලත් අපි කලින් කිව්වා. ඔය ඔක්කොම ඇත්ත. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ, කාන්තාවකට ප්‍රශ්නයක් ආවහම, ඒකට විසඳුමක් අවශ්‍ය වෙන්නෙ නැහැයි කියලා. අපිට ප්‍රශ්නයක් ආවහම ඒකට මොකක් හරි විසඳුමකුත් ඕන. ඒත් ඉතින් සමහර වෙලාවට අපිට ඒ ප්‍රශ්නෙට විසඳුම කියලා හිතන දේ හරියටම හරි නොවෙන්න පුළුවන්. විසඳුම හරි කියලා හිතුණත්, ඒකට තවත් කෙනෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් බලලා විසඳුම හරියටම හරියයිද කියලා  හොයා බලන්නත් වුවමනා වෙන්න පුළුවන්. ආන්න එතකොට වැඩේට ගැලපෙනම කෙනා තමයි හස්බන්ඩ්. විශේෂයෙන්ම ඔය පිරිමි උදවිය ප්‍රශ්නයක් ගැන අහගෙන ඉන්නවටත් වඩා සෑහෙන්න ආස වැඩක් තමයි ප්‍රශ්නෙකට උත්තර හොයන එක. ආන්න ඒ නිසා, වයිෆ් කෙනෙක්ට උත්තරයක්, විසඳුමක් අවශ්‍ය වුණු වෙලාවකට ඒක තමන්ගේ හස්බන්ඩ්ට ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ. ගොඩක් වෙලාවට හස්බන්ඩ් ඒකට විසඳුමත් හොයලා දීලා, ඒ විසඳුම ක්‍රියාත්මක කරවලත් දෙනවා. ඒක හස්බන්ඩ්ලා බොහොම ආස වැඩක්. ආන්න හස්බන්ඩ් කෙනෙක් ඉන්න එකේ වාසිය!

6. කොම්පැණි

මේකත් ඇත්තටම ඔය විවාහ වෙලා කාලයක් ගතවුණු උදවිය දන්නෙම නැතුව අමතක කරල දාන, හැබැයි විවාහයක තියෙන, හස්බන්ඩ් කෙනෙක් ඉන්න එකේ තියෙන හොඳ දෙයක්. ඒ තමයි හොඳ සමාගමයක් ලැබීම. දැන් හිතන්න අපි තනියෙන් ඉන්නවා කියලා. එතකොටත් අපිට කරන්න ඕන තරම් දේවල් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් අපිට හිටපු ගමන් බෝරින් සිතුවිලි එන්න පුළුවන්. තනියෙන් ඉන්න එක කම්මැලි වෙන්න පුළුවන්. එතකොට තමයි අපිට එළියට යන්නම්, යාළුවෙක්ව එහෙම මුණගැහෙන්න හිතෙන්නේ. හැබැයි නිකමට හිතලා බලන්න, හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා නම්, එයත් එක්ක කාලය ගත කරන එකෙන් අර කියපු විදියේ කම්මැලි වෙලාවල්, බෝරින් වෙලාවල් නැති වෙලා යන්නෙ නැද්ද කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි තනියෙන් ට්‍රිප් එකක් ගිහින් බෝරින් වෙනවට වඩා, හස්බන්ඩ් එක්ක ට්‍රිප් එකක් යන එකේ ෆන් එක වැඩියි. ගෙදර නිකම් ඉඳගෙන හිටියත්, සමහර වෙලාවට හස්බන්ඩ් එක්ක ඔය වල් පල් හරි කියව කියවා ඉන්න එක, යාළුවෙක්ට කෝල් එකක් ගන්නවටත් වඩා ආතල් වෙන්න පුළුවන්.

7. ජීවිතේට පාට්නර් කෙනෙක්

ඇත්තටම හස්බන්ඩ් කෙනෙක් කියන නිර්වචනයට හරියටම ගැලපෙන, හොඳ පාට්නර් කෙනෙක් ඉන්න එකේ හොඳම දේ තමයි අපි හිතන්නේ මේක. ඒ තමයි, අපි තනි නැහැයි කියලා, අපේ ජීවිතේ එකට ගෙනියන්න අපිට පාට්නර් කෙනෙක් ඉන්නවා කියලා දැනෙන එක. ඇත්තටම මේ කියන කාරණාවට උඩ කියපු හැම දෙයක්මත් එක් එක් වෙලාවකට අදාළ වෙනවා. අපි හිතමු අපිට වෙලාවකට හිතෙනවා, ඉගෙන ගන්න එක, රස්සාවේ ඉස්සරහට යන එක වගේ දේවල් ඇත්තටම මොකටද කියලා. අන්න ඒ වෙලාවට, තමන්ගේ පාට්නර් දිහා බැලුවොත්, ඇයි අපිට ඒ දේවල්, අපේ අනාගතය ලස්සන වෙන එක වැදගත් වෙන්නේ කියලා උත්තර ලැබෙනවා. අපිට හදිසි වැඩක් තියෙන වෙලාවට උදේට එලාර්ම් එක තියලා අපිව ඇහැරවන එකේ ඉඳලා, අපිට කවුරුහරි එපා කරපු නෑදෑයෙක්ට ගෙදර ඉඳන් බණින කොට ඒකට හූමිටි තියන එක දක්වා අතිශය පුංචි පුංචි දේවලදී වුණත්, අපි තනි නැහැයි කියන එක, අපිට පාට්නර් කෙනෙක් ඉන්නවයි කියන එක දැනෙන්න දෙන්න හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක ඉතාම වැදගත්!

ආ තව දෙයක්. දැන් සමහරු කියයි, ඔය කියන වාසි ඔක්කොම ලැබෙන්න නම්, ඒකට හරියන විදියේ හොඳ හස්බන්ඩ් කෙනෙක් වයිෆ් කෙනෙක්ට ලැබෙන්න ඕනනේ කියලත්. උදාහරණයක් විදියට කිව්වොත්, වයිෆ් ප්‍රශ්නයක් තියෙන වෙලාවට ඒ ගැන කියවන එක අහගෙන ඉන්න කැමති නැති හස්බන්ඩ් කෙනෙක්ගෙන් ඔය වාසි ලැබෙන්නෙ නැහැනේ කියලා. ඒක ඇත්ත තමයි. හැබැයි අපි  කියන්නේ මෙච්චරයි. ඔය වාසි හස්බන්ඩ්ගෙන් ලබාගන්න පුළුවන් විදියට හස්බන්ඩ්ව හදාගන්නයි තියෙන්නේ! ඒකට කාලය, ශ්‍රමය කැප කරන එක, ඒකට උපක්‍රමශීලී වෙන එක ඇත්තටම පාඩුවක් නෙවෙයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *