ස්මාර්ට් අය නොකරන දේවල් 6ක්

6 things smart people dont do

ලොව ඕනෑ තරම් බුද්ධිමතුන්, ධනවතුන් බිහිවී තිබෙනවා. ඒ වගේම එවන් කෙනෙකු වෙන්නට බොහෝ දෙනා ආසා කරනවා. නමුත් ඔවුන් පිටුපස ඇති රහස කුමක්ද?  ඒවා කීපයක් අපි සොයා බලමු.

 

1. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැහැ

6 things smart people dont do

මූල්‍ය ප්‍රඥාව කියන්නේ හොද ඥානයක්. එය ලොව කම හෝ මසුරුකම සමඟ පටලවා නොගත යුතුයි.  අනවශ්‍ය වියදම් නොකර ඔබ මහන්සියෙන් උපයන ධනය ආරක්ෂා කරගැනීම හොඳ ගති ලක්ෂණයක්. “බිංදු බිංදු එකතු වෙලා – ගඟක් හැදෙනවා” කියන්න වගේ ඉතා සුළු සුළු වියදම් එකතු වෙලා තමයි ඉතා විශාල ධන හානි සිදුවන්නේ. මුලින් පටන් ගන්නේ රුපියලකින් වුවත් ඒකට බින්දු බින්දු එකතු වෙලා තමයි දස දහසක්, ලක්ෂයක් බවට පත් වෙන්නේ.

මෙයට ආරම්භයක් වශයෙන් පානීය ජල බෝතල් මිලදී ගන්නවා වෙනුවට ෆිල්ටරයක් මිලදීගෙන නිවසේ ළිඳෙන් ලබාගත් ජලය පානය කිරීම, ප්‍රින්ටරය සදහා නැවත පිරවිය හැකි cartridge භාවිතා කිරීම,  බැංකු කාඩ් පත භාවිතා කරමින් කිහිප සැරයක් මුදල් ගන්නවා වෙනුවට හොඳින් තීරණය කර, එකවර අවශ්‍ය මුදල ගැනීමෙන්; ලබාගන්නා සෑම අවස්ථාවක්දීම අයකරනු ලබන ගාස්තු අවම කරගෙන ඉතිරියක් කරගැනීම නුවණක්කාර තීරණ ලෙස දක්වන්නට පුළුවන්.

cashbase වැනි ආදායම් වියදම් සටහන් කරගත හැකි ආකාරයේ සේවාවන් භාවිතා කරමින්  මාසික විය-පැහැදම් ගැන මනා වූ අවබෝධයකින් සිටීම නොදැනුවත්ව සිදුවන වියදම් අවම කරගන්නට උපකාර කරගන්න පුළුවන්.

 

2. ඕනෑවට වඩා අනිත් අය මත යැපෙන්නේ නැහැ

6 things smart people dont do

මිතුරන් පවුලේ ඥාතීන් හෝ ඔබ සමගඟ එකට වැඩ කරන අය පිළිබඳව විශ්වාසය තැබීම වරදක් නොවෙයි හැම කෙනෙක්ටම තමන්ට අවශ්‍ය උපකාර ලබා ගැනීමට වෙනත් අය අවශ්‍ය වෙනවා නමුත් ඕනෑවට වඩා කිසියම් කෙනෙක් මත යැපීම ඔබ බල රහිත පුද්ගලයෙක් බවට පත් කරනවා. smart පුද්ගලයෙක් වශයෙන් ඔබ කිසිදු විටෙක වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වෙන්න ඕනෑ නැහැ.

ඔබට උදව්වක් අවශ්‍ය යැයි හැඟුණු විට වෙනත් කෙනෙක්ගෙන් අසන්නට පෙර ඔබ ගන්නා ක්‍රියාමාර්ගය ගැන කල්පනා කරන්න. ඉන්පසු ඔබ ඒ සඳහා කිරීමට බලාපොරොත්තු වන පියවර කොළයක සටහන් කරන්න. එය නැවත නැවතත් කියවමින් මෙය සිදු කිරීමෙන් කුමන ආකාරයේ ප්‍රතිඵලයක් ලැබෙන්නට පුළුවන් දැයි සිතින් තර්ක කර බලන්න. මෙසේ කළත් මුල් කාලයේදී ඔබට ඒ ගැන විශ්වාස ඇති නොවෙන්න පුළුවන්. එවිට ඒ ගැන වෙනත් විශ්වාසදායී කෙනෙකුගෙන් අසා තීරණය නිවැරදි දැයි දැන ගත්තාට කමක් නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් තනිවම  තීන්දු තීරණ ගැනීමට හුරු වෙන්න.

 

3. වගකීමෙන් යුතුව කටයුතු කරනවා

6 things smart people dont do

බලය ලැබෙන විට වගකීම් වැඩිවෙනවා යනුවෙන් spiderman චිත්‍රපටයේ අපට කියන්නට උත්සාහ කරන්නේද මේ ගැනයි.  හැබැයි  මෙම කියමන “නැණවත් අය විනෝදයෙන් කල් ගත කරන්නේ නැහැ, ඔවුන් හරිම ඒකාකාරීයි” කියලා වැරදියට වටහා ගන්න එපා. ඔබට ඕනෑම දෙයක් කරන්නට, විනෝද වන්නට, කැමති ඕනම දෙයක් කන්න බොන්න සහ හයියෙන් හිනාවෙන්නට මේ හරහා කිසිම බාධාවක් නැහැ. එහි ඇති එකම වෙනස ඔබ කරන දේවල් සංවිධානාත්මකව, පිළිවෙලකට කිරීමයි.

ඔබ කරන දේවල් වලට හැම විටම වෙනත් කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ නැතිව මෙය සිදු වුණේ මගේම වරදින් බව පිළිගැනීම් වගකීම්ක් සහිත පුද්ගලයකු ගේ ගති ලක්ෂණයක් වනවා. උදාහරණයක් වශයෙන් ඔබට ගණනක් වැරදුනාම එසේ සිදු වුණේ ගුරුවරයා උගන්වපු හැටි නිසාය කියා එය සාධාරණීකරණය කරනවා වෙනුවට ගණන වැරදුනේ ඔබ කල්පනාවෙන් එය නොහැදූ නිසා බව තේරුම් ගත යුතුයි. ඒ වගේම නිවැරදිව සාදන ලද ගණනක් ගුරුවරයා විසින් වැරදි යැයි ලකුණු කළොත් එහි වැරැද්ද ගුරුවරයා නොව තමන්ගේ අපැහැදිලි ඉලක්කම් ලිවීම විය හැකියැයි ඒ ගැන කල්පනාකාරී වීම හොඳ ගතිගුණයක්. හැබැයි මෙය අනවශ්‍ය ලෙස තමන්ට ම වරද පටවා ගන්නට යමින් හීන මානයක් ඇති කර ගැනීම සිදු කරගත යුතු නැහැ. විය යුත්තේ, කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරද්දි අපේ පැත්තට අනෙකුත් ඇඟිලි හතරම දික්වන බව පමණක් තේරුම් ගැනීම යි.

 

4. අතීතයට ජීවිතයේ පාලනය බාර දෙන්නේ නැහැ

6 things smart people dont do

අතීතය මකා දමන්නට බැහැ වගේම එය හොල්මන් කරන්නට එන්නෙත් නැහැ එය එතැන එලෙසම තිබෙනවා. අපි දැනගත යුත්තේ එය මැඩ පවත්වමින් කටයුතු කිරීමට සහ අපගේ ඉදිරි දියුණුවට බාධාවක් වීමට ඉන් ඇතිවිය හැකි අවස්ථාවන් අවම කරගැනීමට යි.

වර්තමානය කියන්නේ තෑග්ගක්. වෙනස් කරන්න බැරි දෙයක් අතීතය හෝ තවමත් එළැඹී නොමැති අනාගතය ගැන සිතමින් කල් ගෙවනවාට වඩා මේ වර්තමාන මොහොත නිවැරදි ආකාරය ගත කළොත් අනාගතය වෙනස් කරන්නට ඔබට අමුතුවෙන් කාල යන්ත්‍රයක් අවශ්‍ය වන්නේ නැහැ. එය මේ මොහොතේ ම සිදු කරගන්නට පුළුවන්. හැමවිටම අනාගතය ගොඩ ගොඩ නැගෙන්නේත්, එය කෙමෙන් අතීතයක් බවට පත්වන්නේත් වර්තමානය පසුකර යමිනුයි. වර්තමානය ගැන සිහියෙන් නොසිටියහොත් මේ හැම දෙයක් ම අපිට මඟ හැරී යාවි. ඉතින් වාසනාව දොර ඇරලා බලා බලද්දී ඒ අතීතයට ඒක අස්සෙන් රිංගා ගෙන එන්නට ඉඩ තියන්න එපා.

 

5. අනිත් අය එකඟ වෙන්නේ නැහැ කියලා තමන්ගේ අදහස් ඉවත්ලන්නේ නැහැ

6 things smart people dont do

අපි දෙන්නයක් අලුතෙන් කරන්න ගියාම ඒකට එක එක විදිහේ උපදෙස් දෙන අය ඕන තරම්  ඉන්නවා. “බූරුවා පුතා සහ පියා” කතාව පුංචි කාලෙදිම කියලා දෙන්නේ මේ කාරණය හින්දාමයි. එක් එක් අය කියන විදියට කරන්න ගියොත් කවදාවත් අපිට අවශ්‍ය දේ හරි විදියට කරගන්න බැරිවෙනවා. උපදෙස් ගැනීම හොඳ දෙයක් තමයි; ඒත් ඕන කෙනාගෙනුයි එපා කෙනාගෙනුයි හැම කෙනෙක්ගෙන්ම අහන්න ගියොත් සහ එයාලා කියන දේවල් හැම දෙයක්ම කරන්නට ගියොත් කිසිම කටයුත්තක් හරියාකාරව කරගන්නට පුළුවන් වන්නේ නැහැ. බලෙන් උපදෙස් දෙන ඥාතීන් ඔබට ඉන්නවා නම්, කරන්නට තියෙන්නේ ඔවුන් කියන දේවල් වලට හිනා වෙලා ඔළුව නමලා “හා” කියන එකයි. ඉන්පසු ඔබට අවශ්‍ය දේ ඔබට නිවැරදියි කියලා හිතෙනවා නම්  ඔබට හිතුන විදිහට කරන්න.

“මම වෙබ් අඩවියක් හදනවා, මම කිසිම දෙයක් එ්කට දාන්නේ නැහැ. ඒක පාවිච්චි කරන අයම එකට විවිධ දේවල් දාලා එයාලාම බෙදා හදාගෙන ගෙන මගේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරනවා. ඔවුන් එහෙම කරනකොට මට සල්ලි හම්බෙනවා.” කවුරුහරි මෙහෙම ප්‍රකාශයක් කළොත් ඔබ ඔහුට දෙන උපදෙස කුමක්ද? “පිස්සුද? මුකුත් නොකර ඉඳලා සල්ලි හොයන්න බැහැ.” මෙන්න මේ විදිහට ලංකාවේ උද්දච්ච මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්නට ගියේ නැති නිසා තමයි මාර්ක් සකර්බර්ග් අතින් ෆේස්බුක් එක හැදුණේ.

 

6. තමන්ගේ හැකියාවන් අධි තක්සේරු කරන්නේ නැහැ

6 things smart people dont do

කෙනෙක්ට තමන් ගැන ආත්ම අභිමානයක් තිබිය යුතුයි. එය වැරැදි දේවල් කරන්නට යාමෙන් වළක්වා ඔවුන්ගේ චරිතය ගොඩ නගන්නට ඉවහල් වන දෙයක්. තමාගේ ප්‍රතිපත්ති නිසා වැරදි දෙයක් නොකර සිටීම, වෙනත් කෙනෙක් වැරදි යැයි කියූ නිසා ඒ දේට යොමු නොවී සිටීම සහ ලෝකය විසින් නිග්‍රහයට පත් කරන නිසා වැරදි දේට යොමු නොවී  සිටීම යන දේවල් 3  කෙනෙක්ව නිතැතින්ම හොඳ මාර්ගයක තබනු ලබනවා.

මට මේ මේ ගුණාංග තිබෙනවා වශයෙන් නිරන්තරව සිහිකරමින් හීනමානය නැතිකරගෙන නොබියව අභියෝග වලට මුහුණ දීම සඳහා සූදානම් වීම හැර, ඒ දේවල් ආත්ම වර්ණනයට සහ ඒවා ගැන සිතීමෙන් දැනටමත් මේ මේ දේවල් ලැබී තිබෙනවා යැයි කියා අනාගත දියුණුවට දොරටු වසා ගැනීමේ සිදුවෙනවා නම් එය නොකළ යුත්තක්. “මට හැමදේම පුළුවන්” යන්න සිතිය යුත්තේ ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා ජවය ලබා ගැනීමක් වශයෙන් මිස, හැමදේම පුළුවන් නිසා තවත් කිසිදු දෙයක් අලුතින් ඉගෙන නොගත යුතු ය යන තීරණයට එළැඹීමට නොවෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *