ඉස්සර වගේ ඔලිම්පික් තරඟ නිරුවතින් පැවැත්වුණොත්?

මානවයා මිනිහා බවට පත් වෙමින් යද්දී එක කාලෙකදි ඔවුන්ගේ නැට්ට හැලුනා. ඉන් පස්සේ ටික ටික මිනිසුන්ට ඇඳුම් එකතු වුණා. ඒ ඇයි කියන එකට පැහැදිළි උත්තරයක් නැතත් අද වනවිට ලොව සිටින නොදියුණුම ගෝත්‍රික ප්‍රජාව හැර බොහොමයක් මිනිසුන් ඇඳුම් අඳිනවා. ඇඳුම ගැන වෙනස් මතයක් තිබුණ පුරාණ ග්‍රීසිය ඔලිම්පික් උළෙල ඇඳුම් නැතුව පැවැත්වූවා. ක්‍රීඩකයින් නිරුවතින් මලල ක්‍රීඩා අවස්ථාවන්ට සහභාගී වූවා වැනිව නැවත ඔලිම්පික් නිරුවතින් තියන්න පුළුවන්ද? හැමෝම දන්නවා බැහැ කියලා. එහෙම බැරි වෙන්න බලපාන වෙනස් සාධක කිහිපයක් අපි සළකා බලමු.

 

1. ඇඳුමේ වාසි

ක්‍රීඩා ඇඳුම් පැළඳුම් කියන්නේ එක්තරා විලාසිතාවකුත් වෙලා. සාමාන්‍යයෙන් ක්‍රීඩා කටයුතු වල නිරත නොවන අයත් ඒ හා සම්බන්ධ ඇඳුම් පැළඳුම් අඳින්නට කැමතියි. දැන් පිහිනීමට තිබෙන ඇඳුම් ආදි කාලයේ නිරුවතින් පිහිනනවාට වඩා පිහිනීම පහසු කරනවා. වාර්තා වලට අවශ්‍ය ප්‍රතිරෝධය අවම කිරීමේ ගුණයෙන් යුතු වෙනවා. දැන් සාමාන්‍ය යටිපතුල් බිම තියලා දුවනවාට වඩා හොඳ ගැම්මක් ගන්න පුළුවන් දුවන සපත්තු තියෙනවා. ජිම්නාස්ටික් වගේ ක්‍රීඩාවකදි ඇඳුම් නැතිව කළොත් එය ක්‍රීඩාවටත් සෘජුව බාධාවක් වෙනවා. ඇඳුම් ආයිත්තම් මගින් විලිවසාගැනීමට අමතරව ක්‍රීඩාවේදී ක්‍රීඩාවට මනා සහායක්ද ලැබෙනවා.

 

2. නිරුවතට ආසන්නතා

දැනටත් මලල ක්‍රීඩා වලට සහභාගි වන ක්‍රීඩිකාවන් රැසක් සිය පියයුරු සහ ලිංගික පෙදෙස් පමණක් වැසෙන කෙටි ඇඳුම් වලින් සැරසෙනවා. පිරිමි ක්‍රීඩකයොත් හුදෙක් ඇඟට ඇලුණු ඇඳුමින් පමණක් ක්‍රීඩා කරනවා. ශීත සෘතු ඔලිම්පික් වලට නම් කොහොමත් ඇඳුම් ලේයර් කිහිපයක් අඳිනවා. ඒත් ගිම්හාන ඔලිම්පික් වලදි බොහෝ ක්‍රීඩකයින් ඇඳුම් අඩුවෙන්, සැහැල්ලුවෙන් සහභාගී වෙනවා. බර ඉසිලීම, කඩු ශිල්ප ආදී ක්‍රීඩා වලදී ඇඳුමින් අමතර ආරක්ෂාවක් ලැබෙන නිසා ඒ ඉසව් වලදි අදාළ ඇඳුම් පැළඳුම් ඇඳගන්න ක්‍රීඩකයින් පෙළඹෙනවා.

 

3. ඇඳුමේ තාක්ෂණික බාධා 

බොහෝ ඇඳුම් වර්තමානය වනවිට ක්‍රීඩාව ඉලක්ක කරගෙන හැදුනත්, ඒ ඇඳුම් මගින් සිරුරේ රුධිර ගමනාගමනය යම් තරමකින් සීමා කරනවා. ඒ වගේම ඇඳුම් වලින් සිරුර සිසිල් වීමත් පමා කරනවා. පිහිනීම් ඉසව් වලදී 2008 බීජිං ඔලිම්පික් වලදී නව වාර්තා 25ක් පිහිටෙව්වා. එයින් ක්‍රීඩකයින් 23ක්ම පිහිනීමේදී ජලයේ ප්‍රතිරෝධය අවම කරන එල් සෙඩ් ආර් ලේසර් කියන තාක්ෂණයෙන් නිමවූ පොලිරෙතීන් ඇඳුමක් ඇඳ තිබුණා. එහෙත් එවන් ඇඳුම් වලින් සහායක් ලැබුණත් ඇඳුම් නිසා ඇතිවන රුධිර ගමනාගමන බාධා සහ අපහසුතාවන් නිසා ක්‍රීඩක හැකියාවන් යම් තරමකින් අඩු වන්නට පුළුවන් කියාත් මතයක් තියෙනවා.

 

4. විකාශන අපහසුතා

ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස 18ට අඩු වෙන අවස්ථාත් තියෙනවා. යම් ලෙසකින් ඔලිම්පික් උළෙල නිරුවතින් පැවැත්වුවොත් එය මේ 18ට අඩු අයට සැරට බලපානවා. ඒ වගේම ක්‍රීඩා කටයුතු වලදී හිතාමතා නිරුවත පෙන්වීම ක්‍රීඩා නීති අනුව වරදක්. එසේම අන්තර්ජාල මාධ්‍යයන්ට වගේම ලොව පුරා තරඟාවලි විකාශන ආයතනවලටත් මෙය ලොකු හිසරදයක් වෙනවා නිරුවතින් ඔලිම්පික් තිබුණොත්. ලොව පුරා වැඩිම දෙනෙක් නරඹන ක්‍රීඩා සැණකෙළිය එවිට වැඩිහිටියන්ට පමණක් නරඹන්නට හැකි අවස්ථාවක් වෙනවා. එසේම අන්තර්ජාලයේ පවා නිරුවත හුවමාරු කරගන්නට තිබෙන බාධා නිසා බොහෝ පිරිසකට ඔලිම්පික් නැරඹීමේ අවස්ථාව ගිලිහී යන්නට ඉඩ තිබෙනවා.

 

5. ඔලිම්පික් ගැන සමාජ මතය

පුරාණ ග්‍රීසියේ පමණක් නොවෙයි, පුරාණ ඉන්දියාවේ පවා නිරුවතින් ක්‍රීඩා උත්සව පැවති බවට සඳහන් වෙනවා. නූතන කාලයෙත් නිරුවත් කලාප ආදිය තිබුණත් සමාජය ඒවා කෙරේ දක්වන්නේ පොදුවේ හොඳ ආකල්පයක් නෙමෙයි. විශේෂයෙන් චීනය, ජපානය, ඉන්දියාව, ලංකාව වගේ ආසියාතික රටවල් මෙය සංස්කෘතික අතින් නොගැළපෙන දෙයක් ලෙසත් දකීවි. දැනටත් ඉරානය සහ සෞදි අරාබි රටවල තිබෙන දැඩි ඉස්ලාමීය රෙගුලාසි මත ඇතැම් ක්‍රීඩා තරඟ විකාශය කරන්නේ නැහැ. ඉතින් සම්පූර්ණ නිරුවතින් ඔලිම්පික් තිබුණොත් ඔලිම්පික් ගැන සමාජයේ තිබෙන පොදු හැඟීම වෙනස්ම එකක් බවට පත්වෙන්නට පුළුවන්.

 

6. ක්‍රීඩක ආරක්ෂාව සහ කාන්තා නියෝජනය

ඔලිම්පික් ක්‍රීඩා ඉසව් වලදී උපරිම දක්ෂතා අතරට එන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොගන්නා උත්සාහයක් නැහැ. ඒ නිසාම ඇතැම් විට වැටීම්, පෙරලීම් සහ නොයෙක් අනතුරු සිද්ද වෙනවා. ඇඳුම් රහිතව කළොත් පැනීම් ඉසව් වලදී වගේම මලල ක්‍රීඩා වලදී සීරීම් ඇතිවී එය අප්‍රසන්න තත්ත්වයට පත් වේවි. එදා ග්‍රීසියේ ක්‍රීඩා කළේ පිරිමි පමණයි. ඒත් අද වනවිට කාන්තාවන්ද සෑම ඉසව්වක්ම පාහේ කාන්තා තරඟ නියෝජනය කරනවා. කාන්තාවන් නිරුවතින් නිරූපණය කිරීමෙන් ඔවුන්ගෙන් ක්‍රීඩා උලෙලට දැන් ලැබෙන ආකර්ෂණය නොලැබී යාවිදෝ කියන සැකයකුත් එනවා. ඒ වගේම එසේ වුවොත් ඇතැම් රටවලින් කාන්තා කණ්ඩායම් ඉදිරිපත් නොකර සිටින්නටද ඉඩ තිබෙනවා.

 

7. ඇඳුමින් ලැබෙන අනන්‍යතාවය 

දැනට ලංකාවේ ක්‍රීඩකයින් නම් ලාංකික ඇඳුම් ඇන්දේ නැති වුණත් දියුණු බොහෝ රටවල් ඔලිම්පික් වලට තමුන්ගේම ඇඳුම් පාවිච්චි කරනවා. ඒ ඇඳුම් පැළඳුම් හරහා ක්‍රීඩක අනන්‍යතාවය නිරූපණය වෙනවා. ඇඳුම් නැති වුණොත් ක්‍රීඩකයින්ගේ අංක සහ නම් සඳහන් කිරීම ගැටළුවක් වෙනවා. ඒ වගේම ක්‍රීඩකයින් එකිනෙකා වෙන් කර දුරින් හඳුනාගන්නටත් මේ ඇඳුම් වල වර්ණ ගොඩක් උපකාර වෙනවා. නිරුවතින් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරන විට කණ්ඩායම් දෙක පවා හඳුනාගන්නට ඇඳුම හැර වෙනත් ක්‍රම පාවිච්චි කරන්නට එවිට සිදු වෙනවා.

 

ක්‍රීඩාව, කලාව වගේ දේවල අතීතය ගත්තොත් නිරුවත ගැන වූ මතය කලින් කලට ඒ සමාජයෙන් සමාජයට වෙනස් වී ඇති බව පේනවා. ඒත් නූතන කාලයට අනුව බිකිනියකින්, තණපටයකින් හෝ සැරසෙන්නේ නැතිව ගැහැනියක් ක්‍රීඩාවක් කළොත් එය අසෝබන දෙයක් ලෙස සමාජය බොහෝ අවස්ථාවල දකිනවා. ඉතින් ඔලිම්පික් උළෙල නිරුවතින් පැවැත්වීමට තිබෙන බාධාවන් ගැන යම් අවබෝධයක් මේ හරහා ඔයාලා දැන ගන්නට ඇති. මේ ලිපිය යාළුවන්ටත් දැනගන්න ෂෙයාර් කරගෙන යන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *