අපි කලින් දවසක කතා කළා විරහ දුකෙන් මිදෙන්න ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රියාමාර්ග හයක් ගැන. ඒකෙදි අපි කිවුව දෙයක් තමයි හොඳ ගීත ඇසීමෙන් විරහ දුක සමනය කරගන්න පුළුවන් කියන එක. ඉතින් ඒ ලිපියේදීම අපි ඔබට පොරොන්දුවකුත් වුණා විරහ දුකෙන් ඔබ මුදවන ගීත ගැනත් ලිපියක් ඉදිරිපත් කරනවා කියලා. ඔන්න ඉතින් මේ තමයි ඒ කියපු ලිපිය. අපි ඔබට ගීත කිහිපයක්ම ඉදිරිපත් කරනවා. මේ හැම ගීතයක්ම අර්ථ පූර්ණ ගීත.
1. දෛවයෝගයකින් නොවේදෝ
“හමුවීම ට වෙන්වීම ට මම හෝ ඔබ හේතුවක් වෙන්න පුළුවන්. නමුත් වෙන්වීමේ හේතුව ඔබටම පවරන්නට මට බැහැ. අපි එය දෛවයට පවරමු”
අපට අපේ ගීත සාහිත්‍යය තුල එක එක විදිහට විරහව විඳින පෙම්වතුන් මුණගැහෙනවා. සමහරෙක් හැරගිය පෙම්වතිය ගණිකාවකට සමාන කර ගරහද්දී තවකෙක් හැරගිය පෙම්වතියට නැවත එන්නැයි ආයාචනා කරනවා. මේ අන්ත දෙක අතරමැද හිඳ මේ පෙම්වතා මෙලෙස කියනවා. ආදරය තමන්ට කියා දුන්නේ, සෙනෙහසින් ඔහුගේ ජීවිතය සිසිලස් කළේ ඇය බව කියන්න ඔහු පැකිලෙන්නේ නැහැ. ඔහු හැරගිය ඇයගේ ගුණ ගැයුවත් නැවත ඇයට එන ලෙස ආයාචනා කරන්නේ නෑ. ඒ වෙනුවට ඔහු කරන්නේ හමුවීම වෙන්වීම යන දේවල් දෛවයට භාර කොට නිහඬ වීම. ඉතින් විරහ දුක් විඳින කෙනෙක් කළ යුත්තේ මෙය නොවේද?
ගායනය : වික්ටර් රත්නායක
රචනය : සුනිල් ආරියරත්න
2. හන්තානට පායන සඳ
“නොගැලපීම් සමහර වෙලාවට ගලපගන්න අමාරුයි. ඒ වෙනස් කම්, නොගැලපීම් දැනෙන විට කළ යුතු වන්නේ යථාර්ථය තේරුම් ගෙන ඉවත් වීමයි”
මේක ගැඹුරු පාඩමක්. සංකීර්ණ පාඩමක්. ඒත් මේ ගීතය සරලවම මේ පාඩම අපට උගන්වනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන පෙම්වතියක්. උසස් පෙලින් පසු අධ්‍යාපනය ජීවිතය නිමවන පෙම්වතෙක්. ඔහු තේරුම් ගන්නා යථාර්ථය මේ සමාජය තුල සෑම පෙම්වතෙක්ම තේරුම් ගත යුතු යතාර්ථයක් නොවේද..? චීන කියමනක් තියෙනවා “අත්හරින්න පෙර ඔබ ඉවත් වන්න” කියලා. අනාගතයේ වන නොගැලපීම්, තමන්ට පමණක් නොවෙයි තම පෙම්වතා හෝ පෙම්වතියට මේ ආදරය නිසා මුහුණ දෙන්න වන ගැටළු දෙස අද දැකල මේ විදිහට ඉවත් වෙන්න අවශ්‍ය එකම එක දෙයයි. ඒ හයිය හිතක්.
ගායනය : අමරසිරි පීරිස්
රචනය : ධම්මික බණ්ඩාර
3. පෙරදිනයක මා පෙම්කළ යුවතිය
“වෙන්වන්න අද අමාරු වුණත්, සමහරක් විට මේ තීරණයේදී ශක්තිමත්ව හිටියොත් අනාගතයේදී මේ දිහා බලලා සතුටු වෙන්න මට පුළුවන් වේවි”
මේ ගීතය අර්ථ කීපයක් ගන්න පුලුවන් ගීතයක් වුණත් මං මෙතැනදී ගන්නේ කාටත් තේරෙන සරල තේරුම. සබඳතා කියන්නේ බිඳෙන බඳුන් වගේ. විශ්වාසය බිඳුණොත් බඳුනක් බිඳුණ වගේ යලි හදන්න අමාරුයි. ඉතින් විවාහයට අපි තෝරාගන්න ඕන විශ්වාසවන්තම කෙනෙක්. විවාහ වෙලා කාලයක් යද්දී තරුණ කාලෙ අර විදිහට බිඳිච්ච ආදර සම්බන්ධතාවකට වග කිව යුතු තරුණියක් මුණ ගැහුණොත් ඒ අවස්ථාව කොහොමද..? ඒ හිටපු පෙමැතියට වෛර නොකරන මේ හිටපු පෙම්වතා අතීතය සිහි කරනවා. ලස්සන පද පෙළක්. අපුර්ව තේරුමක් දෙන ගීතයක්. එදා මේ තරුණයයි තරුණියයි සම්බන්ධතාව අත අරින්න ඇත්තේ ගොඩක් දුකින්. ඒත් අද මේ වැඩිහිටි මිනිසා ඒ අතීතය ගැන සතුටු වන බව පේනවා. වෙන්න ඕනත් ඒ දේ නොවේද..? අනාගතයේදී අතීතයට වෛර කරන්නට වන තීරණ අද ඔබ ගන්න එපා.
ගායනය : පණ්ඩිත් W.D අමරදේව
රචනය : සුනිල් සරත් පෙරේරා
4. බොල් වී අහුරු
“බැඳී පෙම ඔබට කියන්නට පෙර නුඹ දීගෙක ගිය බව සැළවුනි. කමක් නෑ නැගණියනි ඔබ සතුටින්නම් මගේ සතුටද එයමයි”
ඒක පාර්ශ්වික පෙම් කතාවක ඛේදාන්තයක් ගැන කියවෙන අපූරු සැඟවුණු ගීතයක් සිංහල ගීත සාහිත්‍යයේදී අපට හමුවෙනවා. ඇත්තටම මේක වැඩි දෙනෙක් අහපු නැති සැඟවුණු ගීතයක්. “බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම.. දීගෙක ගිහින් නුඹ මටවත් නොතියාම..” ගීතය පටන් ගන්නේ ඔන්න ඔය විදිහට. බාල කාලයේ ඉඳල මේ තරුණියත් එක්ක එකට හිටපු මේ තරුණයාගේ හිතේ මේ තරුණිය ගැන ආලයක් පහල වෙනවා. ඒත් ඉතින් ඒක ඔහු පැල කරගන්නේ ඔහුගේ හිතේ විතරයි. වැඩිවියට පත් වුණාට පස්සේ මේ තරුණයාට තරුණිය දකින්න ලැබෙන්නේ නෑ වැඩිපුර. අන්තිමට ඔහුට අහන්න ලැබෙන්නේ මේ තරුණියගේ විවාහය. ඉතින් එතරම් දුකකදිත් ඔහු මේ තරුණියගේ අනාගතයට සුභ පතලා ඉවත් වෙනවා. මේ හික්මීම සෑම පෙම්වතෙකුටම / පෙම්වතියකටම තියෙනවනම් කොච්චර හොඳ ද?
ගායනය : පණ්ඩිත් W.D අමරදේව
රචනය : අජන්තා රණසිංහ
5. ඔබේ සෙවණ මට නිවනක්
“මෙතරම් අද දුකක් දැනෙන්නේ ඔබ මගේ සියල්ලමයි යන සිතුවිල්ලක් මගේ හිතේ තිබූ නිසාවෙනි”
මේක නම් විශිෂ්ට පද රචනයක්. ආදරේ කරන කාලේදී අපි හිතන්නේ ඇය හෝ ඔහු කරන හැමදේම හරි, කියන හැමදේම ඇත්ත කියලා. ඒ අප්‍රමාණ විශ්වාසය නිසාම විශ්වාසය බිඳී ගිය තැන අප්‍රමාණ දුකක් දැනෙනවා. ඒ පාඩම මේ ගීතයෙන් අපුරුවට කියා දෙනවා. පවස නිවන සිහිලැල් වතුරම බොර දිය වන බව, ගිමන නිවන මද පවනම සුළි සුළඟක්ව හමන බව තමන් නොසිතු බව මේ රචකයා කියන්නේ තමන් තැබූ අධික විශ්වාසය ගැන උපහැරණ සපයන්නටයි.
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
ඉතින් මේ ගීත විතරක් නොවේ තවත් මෙවැනි අර්ථවත් ගීත රැසකින් අපේ ගීත සාහිත්‍යය පෝෂණය වී තිබෙනවා. ඔබ විරහ දුක විඳපු අවස්ථාවල අහපු ගීතත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
Cover Image Source – youtube.com / music.lk / dailynews.lk
Leave a Reply