අම්මගෙන් කාලකන්නියා කියල අහගන්න වෙන අවස්ථා 7ක්

හරි ඉතිං. අම්මලා පුත්තුන්ට ආදරෙයි තමයි. බුදු බව ලබන්න නියත වියරණ දෙන්නෙත් අම්මා තමයි. හැබැයි අම්මා කාලකන්නියා කියල නොබැනපු පුතෙක් හොයාගන්න එක තරමක් අමාරුයි. මොකද අපි වෙනුවෙන් නැහෙන තරමට අම්මලට කේන්ති යන එකත් සාධාරණයිනෙ. හැබැයි ඇතැම් අසාධාරණ අවස්ථාවලත් අම්මලට කේන්ති ගිහින් මේ වචනෙ කියලා බනිනවා. සමාජයේ වෙනිං කවුරුහරි මේක කිවුවොත් මරාගෙන කන්න පනින අපිට අම්මා මේ වචනෙ කියලා බැනිල්ල පට්ට නෝමලයිස් වෙලා තිබුනත් මෙහෙම අහගන්න වෙන අවස්ථා අමතක වෙන්නනං විදියක් නෑ.

 

1. උඹට තමයි බැරි කාලකන්නිය

Image Source – autisticnotweird.com

මේ කතාව පුත්තුන්ට අහන්න වෙන්නේ සාපේක්ෂව අහිමි වෙන යම් තත්ත්වයක් නිසා. ඒක බොහෝවිට ලකුණු වගේ දෙයක් වෙන්න පුළුවන්. තමුන්ගෙ යාළුවා ඇවිත් එයාගෙ පුතා මෙහෙමයි කියලා උජාරුවෙන් කියලා ගියාම ගෙට වෙලා උදේට ඇහැරිලා තේක බීලා ආයෙ නිදාගන්න පුතා ගැන කොච්චර ආදරේ වුනත් අම්මලට එනව කේන්තියක්. අවුරුදු තිහක් හතලිහක් වුනත් තමුන්ගෙ පුතාට උකුළෙ තියාගෙන බත් කවන්න වුනත් සූදානං අම්මලට අනිත් අතට කේන්ති ගන්නත් සීමා මායිම් නෑ. ඉතිං වෙනිං එකෙක් ගත්තැයි කියන ලකුණු නිසා කොල්ලට සිද්ධ වෙනවා කාලකන්නියා කියන සුපුරුදු නාමය අහගන්න.

 

2. උඹ වගේ කාලකන්නියෙක් නෙමෙයි ඒ කොල්ලා

Image Source – reddit.com

අම්මගෙන් මේ වචනෙ අහගන්න සිද්ධ වෙන අනිත් සුපුරුදු හේතුව තමයි වෙනිං එවුන් ලකුණු දාගැනීම. නෑදෑයො වගේම එක බත් එක කාලා හැදෙන යාලුවොත් ඇවිල්ල අම්මා ඉස්සරහ ලකුණු දාගත්තම අම්මගෙ දේශනාව පටන්ගන්නවා. ඉතිං ස්වයං ඇඟ බේරාගැනීම වෙනුවෙන් උන් අම්මට කිවුවෙ බොරු බවත්, උන් මං තරං හොඳ පුත්තු නොවෙන බවත් අම්මට කියන්න සිද්ධ වෙනවා. හැබැයි අම්මා නෙමෙයි පිළිගන්නෙ. අම්මට උන්ගේ ඇක්ටින් ෂුවර් නිසාම අපිට අහගන්න සිද්ධවෙනවා තොපි වගේ නෙමෙයි ඒ ළමයි කියන කාරණය. අන්න ඒ මොහොතෙදි අම්මා මේ වර්ඩ් එක පාවිච්චි කරනවාමයි.

 

3. උඹට ඔච්චරයි අඩු, කාලකන්නිය

Image Source – youtube.com

මෙවුව සිද්ධ වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් අපි ගාව තිබිලා අපිට කෙල්ලෙක් සිටිනා බවට සාක්ෂියක් අම්මා සතුවීම. දෙවැනි එක තමයි අම්මගෙ ඔත්තු සේවා ඇන්ටිලා විසින් අපේ හොර මගුල් ගැන අම්මගේ කන ගිනි තැබීම. තුන්වැනි එක තමයි අති භයානක ලෙස අම්මාම අපේ පෙම් සුව විඳිල්ල දෑහට දැකීම. ඔය තුනෙන් මොකක් වුනත් අම්මගෙන් අර වර්ඩ් එක අහගන්න වෙනවාමයි. හැබැයි ඒක කියන්නෙ තොට ජීවිතේ හරි විදියට තාම අඩියක් තියන්න බැරි වුනත් මුලින්ම පුළුවන් වුනේ ඕකද වගේ ඔලොක්කුවට අහන ගමන්. ඕකට අනුපාන විදියට ඒ කෙල්ලට කන්න දෙන්න හිතං ඉන්නෙත් තාත්තගෙ පඩියෙන්ද වගේ කතාත් අහගන්න සිද්ධ වෙනවා.

 

4. තොගේ ජීවිතෙත් කාලකන්නි කරගෙන අපේ ජීවිතත් කාලකන්නි කරනව

Image Source – youtube.com

මෙවුව අහගන්න වෙන්නෙ නං සැළකිලිමත් නොවීමේ අපේම වැරදි නිසා තමයි. බෑග් එකේ සිගරට් පැකට් එකක් තිබ්බොත්, එහෙමත් නැත්තං තුන් ලෝකයටම අග්‍ර වූ පෙති පහේ පත්‍ර වේලපු පැකට් එකක් තිබ්බොත් තමයි මේ වචන අහගන්න වෙන්නෙ. අම්මා පරළ වෙලා මේ කතාව තාත්තගෙ කනේ තිබ්බම වැඩ නවතින්නෙ ගාසා තීරෙට ගහන්නැහේ තාත්තගෙන් හම්බෙන ගුටි පූජාවකින්. ඊටපස්සෙ අර කාලකන්නියා කියපු අම්මම කාලකන්නියාගෙ ඇඟේ තියෙන තැලුම් පාරවල්වල තෙල් ගානවා. කොච්චර බැන්නත් ඉතිං ආදරේනෙ. අනේ ඉතිං ඊටපස්සෙ ලයිට් ගිය දවසක ඉටිපන්දමක් පත්තු කරන්න හැදුවත් සැකෙන් තමයි බලන්නෙ.

 

5. උයල දෙන එකවත් කාගන්න බෑ, කාලකන්නිකම

Image Source – hollywoodreporter.com

මෙවුවනං වෙන්නෙ අම්මට ඩිෆෝල්ට් වෙනිං දේකට කේන්ති ගිහින් හිටියම. සාමාන්‍ය අම්මා කෙනෙක් එයා බෙදපු ඔක්කොම කෑවොත් අපෙන් අහන්නෙ තව බෙදන්නද? කියලා. එයා බෙදපු ටික රස මදියිනං අහන්නෙ රස මදිද? කියලා. හැබැයි කේන්ති ගිහින් ඉන්න වෙලේක කෑම ඉතුරු කළොත් නං පුතෝ මේ කතාව අහගන්න සිද්ධ වෙනවා. මොකද ඉතිං තමුන් මෙච්චර මහන්සියෙන් ඉවුවත් මුන්ට කන්න බෑ කියන කාරණේ අර හිතේ තියෙන කේන්තියට මුහු වුනාම මෙහෙම වචන පිටතට එනවා.

 

6. මොකෝ ඉතිං කාලකන්නිකමට ඉන්නව කියන්නයැ

Image Source – kiwireport.com

මෙවුව අපිට අහගන්න වෙන්නෙත් අනුන්ගෙ ගොන් පාට් නිසා තමයි. උන්ගෙ ළමයි සාර්ථකයි නං, ඒ අම්මලා දැනගන්න ඕන තමුන්ගෙ ළමයින්ගෙ සාර්ථකත්වෙ වටේට බෙද බෙද යන්නෙ නැතුව ගෙදරට කරලා තියාගන්න. උන් ඕවා ඇවිල්ලා කිවුවම අපේ මනුස්සයට කේන්ති යනවා. ඒ කේන්තිය පිටට උන් ඇහුවොත් දැන් මේ ගෙදර පුතා මොකද කරන්නෙ කියලා, ඔන්න ඉතිං බඩු බනිස්. අර මිනිස්සු ගෙදරින් යනකං බලං ඉන්නෙ අපිට දෙසන්න.

 

7. උඹට පුළුවන් කාලකන්නිකමට ඉන්න විතරනෙ

Image Source – brecorder.com

සන්දුක්ඛේ මෙවුවත් කලින් විදියෙම ප්‍රශ්න තමයි. හැබැයි බලපාන්නෙ වෙනස් විදියට. නියමෙට හයේ පාරවල් ටිකක් වනලා සනත් ජයසූරිය ගැම්මෙන් කොකබුරා ස්ටිකරේ අලෝපු බැට් එක කිහිල්ලෙ ගහගෙන එද්දි අම්මට කේන්ති ගිහින් තිබ්බොත් බඩු බනිස්. සියළු වැරදි යන්නෙ සනත්ලගෙ පිටින්. ඊටහපං මං එන වෙලාවටම එහාගෙදර එකා රස්සාව ඇරිලා ආවොත්. හාපෝ ඊට හොඳයි කන උඩ දාලා හයක් යන්න ගහනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *