හිට්ලර් කියන්නේ ලෝකය මුහුණ දුන්න බිහිසුණුම යුද්ධ අතරින් අති බිහිසුණුම යුද්ධය වුණු දෙවැනි මහා ලෝක යුද්ධය ආරම්භ කරන්න මුල් වෙච්ච පුද්ගලයා. මේ පුද්ගලයා ලෝකයේ බහුතරයකට මිනීමරුවෙක් වෙද්දි තාමත් ජර්මනියේ සුළුතරයට වීරයෙක්. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ හිඟමනට වැටිලා තිබ්බ ජර්මනිය ආර්ථික වශයෙන් සමෘද්ධිමත් තත්ත්වයට පත් කරලා බින්දුවටම වැටිලා තිබ්බ ජර්මන් මානසිකත්වය නැවතත් ප්‍රකෘතිමත් කළේ ඔහු විසින්. හැබැයි හිට්ලර්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා ජර්මනිය ඊට පස්සේ ශතවර්ෂ භාගයක පමණ කාලයක් විඳවන්න වුණා. අපේ මේ සටහන හිට්ලර්ගේ ජීවිතය පිළිබඳව ප්‍රකට සහ අප්‍රකට කතා පිළිබඳව.
1. උපතින් ජර්මානුකම හිමි නොවුණු හිට්ලර්
බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට හිට්ලර් උපත ලබන්නේ ඔස්ට්‍රියාවේ, ඔස්ට්‍රියාවේ භාවිතා වුනේ ජර්මන් භාෂාව නිසා හිට්ලර්ව ජර්මන් ජාතිකයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. දේශපාලන හේතු උඩ ජර්මනිය සහ ඔස්ට්‍රියාව රාජ්‍යයන් දෙකක් විදිහට පැවතුණා. ජර්මානු ජාතිකවාදයට දැඩි ලෙස ආකර්ෂණය වන හිට්ලර් පස්සෙ කාලෙකදි තමන්ගේ ඔස්ට්‍රියානු පුරවැසිභාවය ඉවත්කරගෙන ජර්මනියේ පුරවැසියෙක් බවට පත් වනවා. ඒ වගේම ජර්මනියේ පාලකයා බවට පත්වෙලා තමන්ගේ උපන් බිම වන ඔස්ට්‍රියාව ජර්මනියේ කොටසක් බවට පත් කර ගන්නත් ඔහු සමත් වෙනවා.
2. කලාකාමී හිට්ලර්
තරුණ කාලේ හිට්ලර්ගේ එකම බලාපොරොත්තුව වුණේ වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් බවට පත්වීම. ඒ සඳහා ඔහු දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වුණා. නමුත් අවාසනාවකට වගේ එවකට වියානාවේ පැවැති කලා ඇකඩමියට ප්‍රවේශ වීමේ විභාගයෙන් හිට්ලර් දෙවරක් අසමත් වුණා. මේ නිසා චිත්‍ර ශිල්පය ගැන හිට්ලර්ගේ බලාපොරොත්තු කඩ වුණා. යම් කිසි විදිහකින් එදා හිට්ලර් එම ප්‍රවේශ විභාගයෙන් සමත් වුණා නම් ලෝකය මොන තරම් වෙනස් වෙන්න ඉඩ කඩක් තිබ්බද? කොහොම වුණත් මේ විභාගයෙන් අසමත් වුණාට හිට්ලර් කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් කියන එකනම් අවිවාදිතයි.
3. හිසට වහලක් නැතුව හිටපු හිට්ලර්
අර අපි කියපු ප්‍රවේශ විභාගය අසමත් වෙනවා එක්කම හිට්ලර්ගේ ලෝකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මේ කාලය ඔහු තමන්ගේ මව සහ පියා සමගත් එච්චර හිත හොඳින් ගත කරපු නැති කාලයක්. මේ නිසා අතේ සතේ නැති නැතුව හිටපු හිට්ලර් වියානාවේ මුඩුක්කුවල සහ අගුපිල්වල නිදා ගන්නවා. ඇත්තටම කිව්වොත් ඔහු ඒ කාලය තුළ ගත කරන්නේ හිඟන්නෙකුට සමාන ජීවිතයක්. නමුත් මේ කාලය දීර්ඝ කාල පරිච්ඡේදයක් නම් නෙමෙයි. මොකද පියාගේ මරණයත් සමග සැලකිය යුතු දේපළක් ලැබීම නිසා හිට්ලර් මියුනික් නගරයට පදිංචියට යනවා.
4. ඡන්ද දින්නේ නැති හිට්ලර්
ගොඩක් දෙනෙක් හිතන්නේ හිට්ලර් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට පත්වෙච්ච ඒකාධිපතියෙක් කියලා. හැබැයි ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්තක් නෙමෙයි. හිට්ලර් කියන්නේ කවදාවත් ඡන්දයකින් දින්න මනුස්සයෙක් නෙමෙයි. 1932 වර්ෂයේදී ඔහු ජර්මනියේ ජනාධිපති ධුරය සඳහා තරග වදිනවා. නමුත් ඔහුට අත් වෙන්නේ පරාජය. ඔහු නියෝජනය කරපු නාසි පක්ෂය පාර්ලිමේන්තු මහ මැතිවරණය හරහා එවකට ජර්මනියේ පාර්ලිමේන්තුව වුණු රයිෂ්ටැගයේ විශාලම පක්ෂය බවට පත් වනවා. මේ නිසා හිට්ලර්ව පරාජය කරපු ජනාධිපති හින්ඩන්බර්ග්ට හිට්ලර්ව ජර්මනියේ දෙවන ප්‍රබල තනතුර වන චාන්සලර් ධූරය සඳහා පත් කරන්න සිද්ධ වෙනවා.
5. සත්ව හිංසාවට විරුද්ධව වුණු හිට්ලර්
යුරෝපයේ සත්ව හිංසාවට එරෙහිව නීති සම්මත කරපු මුල්ම රටක් විදිහට ජර්මනිය ඉතිහාස ගත වෙනවා. හැබැයි එහෙම නීති සම්පාදනය සිද්ධ වුණේ හිට්ලර්ගේ නායකත්වය යටතේ කිව්වොත් ඔබ විශ්වාස කරයිද? හිට්ලර් සාමාන්‍ය ජීවිතය තුළ දැඩි ලෙස සතුන්ට ආදරය කළ සහ අනුකම්පාවක් දැක්වූ පුද්ගලයෙක් වුණා. මේ නිසාම සත්ව සුබසාධනය සඳහා නාසි ජර්මනිය තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙන්ම නීති සම්පාදනය කිරීමත් හිට්ලර්ග මගපෙන්වීම යටතේ සිද්ධ වුණා. නමුත් සතුන් කෙරෙහි මෙතරම් දැඩි අනුකම්පාවක් දැක්වූ පුද්ගලයා රැඳවුම් කඳවුරු හරහා යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට තැත් කිරීම දෛවයේ සරදමක් විදිහට හඳුන්වන්න පුළුවන්.
6. කථිකත්වය
හිට්ලර් කියන්නේ ලෝකයෙන් බිහි වෙච්ච දක්ෂතම කථිකයෙක් කියන කතාව අවිවාදිතයි. ඔහු තමන්ගේ කථිකත්වය භාවිතා කළේ මිනිසා ගේ යහපත වෙනුවෙන් ද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට හිට්ලර් උපතින් ඉතාමත් ලැජ්ජාශීලී පුද්ගලයෙක් වුණා. පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඔහු දැඩි ලැජ්ජාශීලි බවක් දැක්වූවා. නමුත් නාසි පක්ෂය ආරම්භ කිරීමත් සමගම මෙම දුර්වලතාවය කෙසේ හෝ මඟහරවා ගැනීමට ඔහු අධිෂ්ඨාන කරගත්තා. ඔහු පැය ගණන් කතා සඳහා පුහුණු වුණා. එසේ ම ඡායාරූප ශිල්පීන් කැඳවා තමන් කතා කරන විට ඡායාරූප ගන්නා ලෙසත් එම ඡායාරූප අනුව තමන්ගේ අංගචලනවල කළ යුතු වෙනස්කම් පිළිබඳවත් ඔහු සිතා බැලූවා.
7. හිට්ලර්ට අනුව යුරෝපයේ භයානකම ගැහැණිය
දෙවෙනි ලෝක යුද්ධය කාලේදි හිට්ලර් එක්තරා කාන්තාවක් කෙරෙහි දැඩි භීතියෙන් පසුවුණා. නමුත් ඇය හමුදා නිලධාරිනියක් නම් නෙමෙයි. ඒ එවකට මහා බ්‍රිතාන්‍යයේ රැජින වූ එලිසබෙත් රැජන, වර්තමාන දෙවැනි එලිසබත් රැජනගේ මව. මහා බ්‍රිතාන්‍යයට දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල වෙද්දී පවා ඇය සහ රජු කිසි විටෙක ලන්ඩනය හැර ගියේ නැහැ. ඒ වෙද්දි ජර්මනියට යටත් වුණු ඕලන්දය, නෝර්වේ වගේ රටවල්වල රජ පවුල් ඒ රටවල් අතහැරලා ඇමරිකා එක්සත් ජනපදය වෙතට ගිහින් තිබ්බා. නමුත් බ්‍රිතාන්‍ය රජ පවුල දිගින් දිගටම තමන්ගේ රට තුළ රැඳී සිටිමින් ජනතාවගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට කටයුතු කළා.
මේ අපි හිට්ලර්ගෙ ජීවිතයට සම්බන්ධ කතා කීපයක් පමණයි සඳහන් කළේ. මේ ආටිකල්වලට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත මේ ආටිකල් එකේ තවත් කොටසක් ඉදිරියට අපි අතින් ලියවේවි. චොකලට් බෝම්බයක් මගින් හිට්ලර් මරන්න හැදුවේ කවුද කියන එක ගැන වගේම හිට්ලර් ආදරය කළ සහ ගෞරව කරපු යුදෙව්වෝ ගැනත් ලියැවේවි. එහෙමනම් ඉතින් ඔබේ අදහස් වලට වගේම ෂෙයාර් කිරීම් සඳහාත් මේ ආටිකල් එක ඔබට විවෘතයි.
Leave a Reply