පෘථිවි ගෝලය වෙනස් කළ පිනටුබෝ ගිනි කඳු පිපිරුම

අපිට 2004 සුනාමි එනකොට අපි ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. රිංග් ඔෆ් ෆයර්, එහෙම නැතිනම් ගිනි කඳු සහ භූමිකම්පා නිතර ඇතිවන සීමාවෙන් එපිට ලංකාවේ අපි ඉන්න නිසා ලොකු බලපෑමක් වේය කියලා බොහෝ අය හිතුවේ නැහැ. ඒත් සුනාමිය කඩා පහත් වෙලා අපේ රටේ මිනිස් ජීවිත තිස්දාහක් පැය කිහිපයක් ඇතුළත අපෙන් උදුරාගත්තා. ගිනිකඳු කියන්නෙත් හුදෙක් පිපිරීම සහ ලාවා ගලාගොස් හානි වීමට එහා ගිය වායුගෝලය, පෘථිවි ගෝලය වෙනස් කරන්න පුළුවන් සාධකයක්. ඉතින් එහෙම කරපු පිනටුබෝ ගිනිකඳු පිපිරීම ගැන අපි බලමු.

 

1. ඇයි මේ පිනටුබෝ එක වැදගත්? 

1991දි පිනටුබෝ ගිනිකන්ද පුපුරා ගිහින් දැන් අවුරුදු 29කට වැඩියි. ටිකක් පරණ සීන් එකක්. ඒත් පිනටුබෝ ගිනිකන්ද පිපිරුම අපිටත් වැදගත් වෙන සිද්ධියක්. මොකද පිනටුබෝ ගිනිකන්ද නිසා මුළු ලෝකයේම උෂ්ණත්වය අඩු වුණා. පිනටුබෝ ගිනිකන්දේ බලපෑම් යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ඇතුළු මුළු ලෝකයටම දේශගුණික වෙනස්කම් ගෙන දුන්නා. ඒ නිසා පිනටුබෝ ගිනිකන්ද හුදෙක් පිලිපීනයේ මැනිලා නුවර ආසන්නව සිදුවූ තවත් එක ගිනිකඳු පුපුරායාමක් කියලා අතෑරලා දාන්න අමාරුයි.

 

2. කවදද කොහේද ඕක වුණේ? 

උස මීටර 1460ක් වෙන මේ ගිනිකන්ද පිහිටලා තියෙන්නේ පිලිපීනයේ මැනිලා නුවර ඉඳලා කිලෝමීටර 90ක් විතර දුරින්. මේ ගිනිකන්ද ඊට කලින් එහෙමට වැඩ දාපු ගිනිකන්දක් නෙමෙයි. මීට කලින් පුපුරා ගියාය කියලා වාර්තා වෙලත් නැහැ. කොටින්ම ලැයිස්තු වල පුපුරා යන්නට නියමිත ගිනිකඳු අතර පිනටුබෝ ගිනිකන්ද තිබිලත් නැහැ. ඒත් ඉතින් ලෝකේ දෙවැනි විශාලතම ගිනිකඳු පිපිරීම විදිහට පිලිපීනයේ පිනටුබෝ ගිනිකන්ද 1991 ජුනි මාසේ 15 වෙනිදා මහ විසාලට පුපුරා ගියා. මේ ගිනිකන්ද විසිවන සියවසේ ලෝකේ සිද්ද වෙච්චි විශාලතම ගිනිකඳු පිපිරීම් අතර දෙවැනි තැන ගන්නවා.

 

3. පිපිරුමේ ප්‍රමාණය

පිනටුබෝ ගිනිකඳු විවරයෙන් විශාල වායු ප්‍රමාණයක්, දූවිලි ප්‍රමාණයක් අහසට නිකුත් වුණා. 1991 ජුනි 15-16 දෙදින තුළ ගිනිකන්දෙන් නැගුණ දූවිලි සහ දුම කිලෝමීටර 30ක් පමණ ඉහළ අහසට නැග්ගා. ඒ වගේම ගිනිකන්දේ අළු සහ පස් ගොඩවල් අහසට නැගලා අවට පරිසරයට කඩා වැටෙන්නට ගත්තා. මේ ගිනිකන්දෙන් ඝන කිලෝමීටර 5ක පමණ අළු සහ දුවිලි වායුගෝලයට නිකුත් වුණා. ඒ වගේම ඉන් පසුව හටගත් කුණාටු තත්ත්වය නිසා මේ දූවිලි සහ අහිතකර වායූන් තව තවත් වායුගෝලය හා මුහු වෙලා වැස්ස එක්ක එකතු වුණා. ඒ වැස්ස ඇද වැටුණාට පස්සෙ ගිනිකන්දට වර්ග කිලෝමීටර පනහකටත් එහා වපසරියක පොළවේ හැම තැනම තද ඝන තට්ටුවක අළු තැන්පත් වුණා. මේ ගිනි කන්දම නැවතත් 1992 වර්ෂයේ අගෝස්තු මාසයේ පුපුරා ගියා. එයිනුත් මිනිස්සු 72ක් මිය ගියා.

 

4. හානි

පිපිරීමට කලින්ම වායු නිකුත් වීමක් නිරීක්ෂණය කරන්නට පුළුවන් වුණා. ඉන් පස්සේ විද්‍යාඥයින්ගේ උපදෙස් අනුව අවට ජනතාව ඉවත් කරන්නට පටන් ගත්තා. ඒ නිසා ඒ අවට සිටි ජනතාව ලක්ෂයකට පමණ උන්හිටි තැන් අත ඇරලා පණ බේරගන්නට යන්න වුණා. ඒ ගියා වුණත් ගෙවල් වල වහලට මහා කුට්ටි කඩාගෙන වැටුණා. අළු ගොඩවල් අහසින් ඇවිත් වහලවල් උඩ පතිත වෙලා ඒවා බරවෙන්න ගත්තා. ඒ ආදී නොයෙකුත් හානි නිසා මිනිස්සු 300ක් පමණ මේ ගිනිකඳු පිපිරීම නිසා ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ ගිනිකන්ද පිපිරුණු සීමාවේ තිබුණා ක්ලාක් එයා ෆෝස් බේස් කියලා ඇමරිකානු යුධ කඳවුරක්. ඒ යුද කඳවුරත් සම්පූර්ණයෙන්ම මේ පිපිරුම් තත්ත්වය  නිසා අයින් කරගන්නට ඇමරිකාවට සිද්ද වුණා. 

 

5. ජනතාව ඉවත්කරගැනීමේ මෙහෙයුම

මේ ගිනිකඳු පිපිරීම කලින් හඳුනාගත්තේ ඇමරිකානු ජියෝලොජි සර්වේ ආයතනය (USGS). මුලින් පිටවෙන්න ගත්ත වායූන් සහ ඒ අවට කරපු අධ්‍යයන වලින් ගිනිකඳු පිපිරීමක් ආසන්න බව එයාලට තේරුණා. ඉන් පස්සේ ජනතාව අයින් කරන්න මෙහෙයුම පටන් ගත්තා. ජනතාව අයින් කරන්න හදනකොට ‘මේ ඇමරිකන්කාරයෝ අපේ ඉඩම් අල්ලගන්න අපිට යන්න කියනවා’ අදහසේ පිලිපීන ස්වදේශිකයෝ සහ ගෝත්‍රික ජනතාව හිටියා. ඒ විශ්වාසය බිඳින්න ලෝකයේ පතල ගිනිකඳු පිපිරීම් සහ ඒවායින් සිදුවෙලා තියෙන අනතුරු වීඩියෝ මාර්ගෙන් ජනතාවට පෙන්වන්නත් අමරිකානු සහන කණ්ඩායම් වලට සිද්ධ වුණා. කොහොම හරි අවසානයේ පිලිපීන ප්‍රාදේශීය නායකයින්ගේද සහාය අරගෙන මහජනතාව විපතට කලින් අයින් කරගන්න පුළුවන් වුණා.

 

6. ලෝක දේශගුණික වෙනස් වීම

මේ ගිනිකන්දෙන් දවසකට සල්ෆර් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 13,000ක් ගාණේ දවස් ගණනාවක් තිස්සේ ඉහළ වායුගෝලයට සල්ෆර් ඩයොක්සයිඩ් එකතු කළා. ඒ වගේම ජල වාෂ්ප සහ කාබන්ඩයොක්සයිඩ් වායුවත් මේ ගිනිකන්දෙන් තොග ගණන් ඉහළ අහසට එකතු වුණා. මේ අහසට නැගුණ සල්ෆර් ඩයොක්සයිඩ් සහ වායු පෘථිවිය වටේ ඕසෝන් වියනක් වගේ පැතිරුණා. ඒ නිසා පෘථිවියට එන හිරු කිරණ වලට බලපෑමක් වුණා. මුළු මහත් පෘථිවි ගෝලයේම උෂ්ණත්වය මේ ගිනිකඳු පිපිරීම නිසා 1992-93 අවුරුදු වල අංශක 0.5කින් අඩු වුණා. ඒ වගේම යුරෝපයේ, ඇමරිකාවේ ඒ 1991 අවුරුද්දේ ශීත කාලය වෙනදා තරම් ශීත වුණේ නැහැ. මේ ආකාරයෙන් දේශගුණික විපර්යාසයන් නිසා ලෝකයේ  සමහර කලාප වල බවබෝග විනාශ වෙලා ආහාර හිඟයක් පවා ඇතිවුණා.

 

7. විද්‍යාත්මක දායකත්වය

මේ පිනටුබෝ ගිනිකඳු පුපුරායාම නිසා විද්‍යඥයින්ට පැති කීපයකින්ම ගවේෂණ කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. මිනිසුන් ඉවත් කිරීමේදී ඔවුන් අලුත් අත්දැකීම් ලබාගත්තා. ඒ වගේම ගිනිකන්දෙන් නිකුත්වූ වායුන්ගේ බලපෑම නිසා පෘථිවි ගෝලයට අත් වූ වෙනස අලුත් මානයක් විවර කළා. ඒ අනුව ඉහළ වායුගෝලය යම් ආකාරයකින් වෙනස් කළොත් ඒ අනුව පෘථිවියේ දේශගුණය වෙනස් කරන්න පුළුවන් වෙයිද කියන අලුත් තාලේ පර්යේෂණ ආරම්භ වුණා. ඒ වගේම පෘථිවි ගෝලයේ පරිණාමයට ගිනිකඳු මගින් වෙන්න පුළුවන් බලපෑම් ගැනත් අලුත් මත පහල වෙන්නට ගත්තා.

 

සුනාමි සිදුවුණ, භූමිකම්පාව ඇතිවුණ සුමාත්‍රා දිවයිනට ලංකාවේ ඉඳලා තියෙන්නේ කිලෝමීටර එක්දාස් පන්සීයක් විතර. ඒ වගේම අපිට ඉහළින් ඉන්දියානු උප මහද්වීපයේ කෙළවර පිහිටි සක්‍රීය හිමාල ගිනිකඳු සීමාව පිහිටලා තියෙන්නේ ලංකාවට උතුරින් කිලෝමීටර 3000කින් විතර දුරින්. ඉතින් මේ කලාප දෙකට බොහෝ බොහෝ දුර වුවත් යම් විශාල ගිනිකඳු පිපිරීමකදි ඒ බලපෑම අපිටත් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම වෙන රටවල බව බෝග හානි ආදිය සිදු වුණොත් ඒවාත් අපේ රටට බලපානවා. ඉතින් ගිනිකඳු අපේ රටේ නැතත්, එයින් සිදුවන හානියකදී අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නැහැ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *