ඉස්කෝලේ යන කාලේදී අපිට හම්බවෙන සමහර යාලුවෝ ඉන්නවා ටීචර් ප්‍රශ්නයක් ඇහුවම අපෙන් උත්තරේ අහගෙන පන්තියේ නැගිටලා උත්තරේ දීලා පොර වෙන. ඒ වගේම තමයි අපේ දේශපාලන වේදිකාවලදිත් ඇහෙනවා මේ ගොල්ලෝ මේ සංවර්ධන යෝජනා ක්‍රමය කළා කිව්වට අපි තමයි ඕක යෝජනා කළේ වගේ කතා. ඒ නිසා අදහස් හොරා කෑම කියන දේ අපිට බොහොම හුරු පුරුදු දෙයක්. ඒ නිසා අපි හිතුවා අද ඒ වගේ ලෝක මට්ටමෙන් අදහස් හොරා කාපු අවස්ථා කීපයක් ගැන කතා කරන්න. හැබැයි මේ කියන කතා සීයට සීයක් ඇත්තද බොරුද කියලා නම් අපි දන්නේ නෑ ඕං. අරහෙම කියනවා වගේ මෙන්න මෙහෙමත් කියනවා.
1. Moonwalk
Moonwalk එකයි මයිකල් ජැක්සනුයි කියන්නේ වෙන් කරන්න බැරි නම් දෙකක්නේ. ඒ ස්ටයිල් එක ලෝකෙට හඳුන්වලා දුන්නේ මයිකල් ජැක්සන් කියලා තමයි අපි දන්නේ. ඒත් මේ ගැන හොයලා බලපු අය නම් කියන්නේ වෙනමම කතාවක්. එයාලා කියන විදිහට බිල් බේලි (Bill Bailey) කියන ටැප් නර්තන ශිල්පියා 1955 දී Moonwalk එක සිදු කරන ආකාරය පෙන්වන පැරණි වීඩියෝ දර්ශන තියෙනවලු. නමුත් සමහරු කියන්නේ 1955 වීඩියෝ දර්ශන තිබ්බට ඊටත් කලින් විවිධ අය Moonwalk ස්ටයිල් එකෙන් නටලා තියනවා කියලා. ඒ වගේම මයිකල් ජැක්සන් කිසිම අවස්ථාවක Moonwalk කියන්නේ තමන්ගේ නිර්මාණයක් කියලා පිළි අරගෙන නෑ කියන කතාවත් මේ කියන දේට එක සාක්කියක්. හැබැයි මයිකල් ජැක්සන් එහෙම නෑ කියන්නත් උත්සාහ කරලා නෑ.
2. සූර්ය කේන්ද්‍රතාවාදය
බොහෝම ඉස්සර විශේෂයෙන් යුරෝපයේ මිනිස්සු හිතන් හිටියේ ලෝකය රොටියක් වගේ පැතලිය, ලෝකය වටේ ඉරයි අනෙක් ග්‍රහ වස්තුයි කැරකි කැරකි ඉන්නවයි කියලායි (කොච්චර මෝඩද නේහ්?). මේ මතවාදෙට කට්ටිය කිව්වේ පෘථිවි කේන්ද්‍රතාවාදය කියලා. පස්සේ නිකලස් කොපර්නිකස් සාධක සහිතව පෙන්නනවා මේ කියන කතාව සම්පූර්ණයෙන් වැරදියි, ලෝකය කියන්නේ ගෝලාකාර වස්තුවක්ය. පෘථිවිය කියන්නේ ඉර වටා යන තවත් ග්‍රහලෝකයක් විතරක්ය කියලා. මේ මතවාදෙට කියන්නේ සූර්ය කේන්ද්‍රතාවාදය කියලා. මේ නිසා කොපර්නිකස් ලෝකයේ චින්තනය වෙනස් කරපු කෙනෙක් විදිහට ගරු බුහුමන් ලබනවා. ඒත් අපේ අල්ලපු රටේ, ඒ කිව්වේ ඉන්දියාවේ අය නම් ඔය කතාව පිළිගන්නේ නෑ. ඒ අයගේ පෙළපොත්වල සූර්ය කේන්ද්‍රතාවාදය හොයා ගත්ත කෙනා විදිහට සඳහන් වෙන්නේ “ආර්යභට” කියන කෙනාගේ නම. ඒ අය කියන විදිහට ආර්යභටගේ කෘතිය වුණු ආර්යභටීය ග්‍රන්ථයෙන් සූර්යයා කේන්ද්‍ර කරගත්ත ආකෘතියක් ඉදිරිපත් කරලා තියෙනවලු. මේ ගැන ඉතා උණුසුම් වාද විවාද පවා ඇති වෙලා තියෙනවා. සමහරු තර්ක කරන්නේ ආර්යභටීය ග්‍රන්ථයේ පරිවර්තනයක් අරාබි වෙළෙන්ඳන්ගේ මාර්ගයෙන් කොපර්නිකස්ට ලැබුණා කියලයි.
3. ඇමරිකාව
ඇමරිකාව සොයා ගත්තේ කවුද කියලා අහන ප්‍රශ්නෙට සෙනිකව ලැබෙන උත්තරේ තමයි ක්‍රිස්ටෝපර් කොලොම්බස්. ඒත් මේ කතාවට සමහරු දැඩි විරෝධයක් එල්ල කරනවා. කොලොම්බස්ට හොයාගන්න ඇමරිකාව නැති වෙලා තිබුන්නෑ කියලා කියන්නේ ඒ වගේ අය. ඒ අයගෙන් එක කොටසක් කියන විදිහට ලිෆ් එරික්සන් කියන වයිකිං පවුලකින් පැවතගෙන ආපු පුද්ගලයා ඇමරිකා මහද්වීපයට පය තියලා තියෙනවා. ඒ වගේම චීනය පැත්තෙන් ඇහෙන්නේ ඊට වඩා වෙනස්ම කතාවක්. එයාලා කියන විදිහට චෙන් හෝ කියන චීන අද්මිරාල්වරයා ලෝකය වටා ගිය ගමනකදි ඇමරිකා මහද්වීපයට ඇවිත් තියෙනවා. ඒකට සාධක විදිහට පැරණි සිතියම් පවා ඉදිරිපත් කරනවා. හැබැයි ඇමරිකන් ඉතිහාසඥයන් නම් මේ කතාවට එච්චර මනාපයක් නෑ. එහෙම වුණොත් ඇමරිකාවත් “මේඩ් ඉන් චයිනා” වෙනවනේ.
4. ගුවන් විදුලිය
ගුග්ලි එල්මෝ මාර්කෝනි. ඒ තමයි ගුවන් විදුලියේ පියා. හැබැයි එයා ඇත්ත තාත්තා නෙමෙයි කියලා කට කතා තියනවා. ඒ අය කියන විදිහට ඇත්ත තාත්තා අසල්වැසි ඉන්දියානුවෙක්. නම ජගදීස් චන්ද්‍ර බෝස්. මේ බෝස් මහත්තයා අමුතුම අදහස් තිබ්බ කෙනෙක්. තමන්ගේ කිසිම නිර්මාණයකට පේටන්ට් බලපත්‍ර ලබා ගන්න එතුමා උත්සාහ කරලා නෑ. තමන්ගේ නිර්මාණවලින් මානව සංහතියටම සෙතක් වේවා කියන අදහස තමයි එතුමාට තිබිලා තියෙන්නේ. මාකෝනිට යාළුවෙක්ගේ මාර්ගෙන් මේ තොරතුරු ලැබිලා, ඒ අදහස් හොරාගෙන ගුවන් විදුලිය නිර්මාණය කළා කියලයි කට්ටිය කියන්නේ.
5. සිටුවර මොන්තක්‍රිස්තෝ
සිටුවර මොන්තක්‍රිස්තෝ විදේශීය නිර්මාණයක් වුණත්, කේ. ජී කරුණාතිලක සූරීන්ගේ විශිෂ්ට පරිවර්තනයක් විදිහටත්, ටයිටස් තොටවත්තයන්ගේ අධීක්ෂණයෙන් හඬ කැවුණු කෙටි චිත්‍රපටියක් විදිහටත් අපි අසාවෙන් රස විඳපු කතාවක්. මේ නිර්මාණයේ මුල් අයිතිකාරයා විදිහට අපි අහලා තියෙන්නේ සහ කියවලා තියෙන්නේ ඇලෙක්සැන්ඩර් ඩූමා. ඒත් ඩූමාගේ ලිපි ලේඛන සහ නිර්මාණ පර්යේෂණයට ලක් කරපු අයගේ නිගමනය වුණේ මේ නිර්මාණවල මුල් අදහසේ අයිතිකාරයා Auguste Jules Maquet කියන පුද්ගලයා කියන එක. ඩූමා ඔහුට ඉහළ මිලක් ගෙවලා අදහස මිලට අරගෙන නිර්මාණය සිද්ධ කළා කියන එක. ඔගස්ටේ සහ ඩූමා අතර සම්බන්ධය ගැන ප්‍රංශය තුළ චිත්‍රපටි පවා හැදිලා තියෙනවා.
6. Monopoly
Monopoly කියන ගේම් එක නිර්මාණය වීම පිටිපස්සේ දුන්න ලොකු ගේමක් ගැන කියවෙනවා. ඒ කතාවේ හැටියට Lizzie Magie කියන පුද්ගලයා තමයි මේ ගේම් එක නිර්මාණය කරන්නේ. නමුත් ඔහු මේ ගේම් එකේ තියෙන මූල්‍යමය වටිනාකම වටහාගන්නේ නෑ. ඒ නිසා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නත් ඔහු උත්සාහ කරන්නෙ නෑ. Clarence B. Darrow කියන පුද්ගලයා මේ ගැන විමසිලිමත් වෙලා මොනොපොලි වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නවා විතරක් නෙමෙයි, විශාල මුදලකට වෙළඳ සමාගමකට විකුණා දැමීමත් කරනවා.
7. Facebook
ඇස් දෙක උඩ ගියා නේහ්, මේ කතාවෙත් ඉතින් ඇත්ත බොරුව දන්නේ අපේ මාක් අයියම තමයි. ConnectU ගැන ඔයා අහලා තියෙනවද? නැත්තන් පොඩ්ඩක් සර්ච් පාරක් දාන්න. ConnectU කියන්නෙත් Facebook වගේම සෝෂල් මීඩියා පැල්ට්ෆෝම් එකක්. Cameron Winklevoss, Tyler Winklevoss සහ Divya Narendra කියන තුන් දෙනා තමයි මේ ප්ලැට්ෆෝම් එක හදන්නේ. මේ අය Facebook එකට සහ මාර්ක් සකර්බර්ග්ට විරුද්ධව නඩු දානවා තමන්ගේ අදහස සොරාගෙන Facebook එක හැදුවා කියලා. පස්සේ මේ නඩුව සමථයකට පත් කරගන්නවා (ඒ කියන්නේ මොකක් හරි කොනක් ඇති නේහ්?)
එහෙනම් සුපුරුදු විදිහට මේ ආටිකල් ගැන අදහස් උදහස් කැමති විදිහට දාගෙන යන්න. ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply