ලෝකයේ සතුටින්ම ජීවත්වන මිනිසුන් ඉන්න රටවල්

දුක් සීන් එකේ ඉන්න එක තමයි දැන් ට්‍රෙන්ඩ් එක. කාලෙන් කාලෙට එන ට්‍රෙන්ඩ් හැම එකක් ම බදාගත්තම රටක් වශයෙන් කොහොමද අප්පා මූණ දෙන්නේ? සතුටින් ඉන්න ට්‍රෙන්ඩ් එකෙන් පිට පනින්නැතුව ප්‍රීති සුවේ හැම නිතරම විඳින ඈයෝ ඉන්න රටවලුත් තියනවා. අන්න ඒ විදියට නැව ගිලුනත් ගැට්ටේ බජව් දාන මිනිස්සු ගැන වාර්ෂිකව එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් කියවෙනවා. 2018 අවුරුද්දේ එයාලා කියන විදියට ලෝකේ සතුටින්ම ජීවත්වන මිනිස්සු ඉන්න රටවල් 7 තමයි මේ. අපේ රට තියා රට ළඟ ඉන්න රටකවත් නැහැ හැබැයි.

 

1. කැනඩාව

Image Source – vic.com

මේ ලැයිස්තුවේ හත්වෙනියට ඉන්න රට තමයි කැනඩාව. කැනඩාවට මේ වගේ ෆුල් හැපනින්ග් තත්ත්වයක් උදාවෙන්න කාරණා කීපයක් හේතු වෙලා තියනවා. එකක් තමයි සතුටුදායක ඒක පුද්ගල ආදායමක් තිබීම. සාමාන්‍යයෙන් ඒක ඩොලර් 45,000කට එහා. සල්ලි සතුට දෙන්නේ නැහැ කිව්වට ඔය දෙන්නේ. ඊට අමතරව 80කට එහා තියන දිගු ආයු අපේක්ෂාවත් හේතුවක්. ඊළඟට කැනඩාවේ පුද්ගලයන්ගේ  විශේෂ ලක්ෂණයක් තමයි සමාජ සම්බන්ධතා ශක්තිමත්ව පවත්වාගෙන යන එක. පවුලේ, ඔපීසියේ, යාළු මිත්‍රාදීන් අතර මේ සබඳතා පවත්වාගෙන යන්න නොකරන දෙයක් නැහැ. මීට අමතරව මානසික සහ ශාරීරික සුවතාවෙත් මේකට බලපාලා තියනවා. කැනඩාවේ ඉන්නේ පුල් පිට් කොල්ලෝ කෙල්ලෝ ටිකක්. හිම වැටෙන එකත් සතුට වැඩි කරනවාලු.

 

2. නෙදර්ලන්තය

Image Source – stuffdutchpeoplelike.com

එකදාස් බර ගණන්වල අපේ රටට ගොඩ බැහැලා අපේ ජීවිතවලට දුක් දුන්නට මොකෝ දැන් ලෝකයේ හයවෙනියට සතුටින් ම ඉන්න මිනිස්සු ඉන්නේ නෙදර්ලන්තයේ. මේ ලැයිස්තුවේ හැම රටක ම සතුට මනින්න ඒක පුද්ගල ආදායම, ආයු අපේක්ෂාව වගේ දේවල් හේතු වෙනවා. නෙදර්ලන්තයේ විශේෂතාවක් තමයි සංක්‍රමණිකයන් සඳහා තමන්ගේ දෑත් දිගු කරන එක. එතනින් සංස්කෘතික වශයෙන් ඇතිවන විවිධතාව එක්ක අමුතු සතුටක් ඇති වෙනවා. හැබැයි එහෙමයි කියලා මේ රටේ උපන්නන්ගේ සංස්කෘතියට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එක යායට විහිදෙන ටියුලිප් යායවල් මැදින් බයිසිකල් පදින නෙදර්ලන්ත උප සංස්කෘතියම ඇති ඒ රට සතුටින් තියන්න.

 

3. ස්විට්සර්ලන්තය

Image Source – isberne.ch

මේ ඉතින් ලෝකයේ හොඳම චොකලට් හැදෙන තැන. ඉතින් ඒ තැනේ මිනිස්සු සතුටින් නෙවෙයි නම් එතන ලොකු ප්‍රශ්නයක් තියනවා. 85ක විතර ආයු අපේක්ෂාවක් ඇත්තෙත් ඔය චොකලට් නිසා ම වෙන්න ඇති. ස්විස් ජාතිකයන්ගේ සතුටට ඔවුන් සතු වෙලාවට වැඩ කිරීමේ හැකියාව හොඳට ම බලපාලා තියනවා. ඒ වගේ ම සෑහෙන සෞඛ්‍යමත් වෙච්චි ජීවිතෙත් මෙතනට හේත්තු වෙනවා. කොච්චර පැණි රහ කෑම හදන දේශය වුණත් මේ රටේ තමයි BMI අගය ප්‍රශස්ත මට්ටමෙන් වැඩිම කාන්තාවන් හෙම ඉන්නේ. ඒ කියන්නේ ඉතින් මෙහෙ අය කාලා ඇඳලා ඉන්නේ “හොඳට”!

 

4. අයිස්ලන්තය

Image Source – rosarubicondior.blogspot.com

නම එහෙම වුණාට හදවතින් හරිම උණුසුම් ජාතියක් තමයි මේ. මේ අයට අපේ රටේ වගේ ම උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් නොමිලයේ ලැබෙනවා. ඊළඟට ආරක්ෂාව අතින් ගත්තත් මිනිස්සු ඉන්නේ එක පොදියක් වගේ එක රෑනට. අන්න ඒ නිසා මේ රටේ මිනීමැරුමක් තරම් දරුණු අපරාධයක් වෙන්නේ අවුරුද්දකට ම එක පාරක් වගෙයි. විරැකියාව අඩුයි. හැමෝම මොනවා හරි කරනවා. ඊළඟට සමරිසි ප්‍රජාව පිලිගන්නවා. මේ රටේ ජනතාවගෙන් 10%ක් ම තමන්ගේ ජීවිත කාලය ඇතුළත පොතක් ප්‍රකාශනයට පත් කරලා එළියට දානවා. ඒ අංශයෙන් එක. ඔය ඔක්කොටමත් වඩා මේ රටේ ලස්සන පරිසරය මේ සතුට රටවැසියන්ට ලබා දීලා තියනවා.

 

5. ඩෙන්මාර්කය

Image Source – hiveminercom

මේ රටේ නහුතෙට බදු ගහනවා. හැබැයි ඩෙන්මාර්ක් වැසියන්ගේ විශ්වාසයක් තියනවා ගෙවන බදුවලට සරිලන සේවයක් රජයෙන් සැලසෙයි කියලා. ඒක ඇත්තෙන් ම එහෙමයි. ඉතින් මෙයාලා බදු ගෙවන්නෙත් සතුටින්. දූෂණයෙන් අඩු මේ රටේ මිනිසුන්ට ඉතා ම ඉහළ සහ ගුණාත්මක සේවා සැපයෙනවා. රටක් වශයෙන් හ්යුග (Hygge) කියන සංකල්පය කරේ තියන් ඉන්න ජාතියක් තමයි මේ. ඒක තනිකර ම රැඳිලා තියෙන්නේ අනෙකා කෙරෙහි ඇති බැඳීම වෙනුවෙන්. හවසට මිතුරෙක් එක්ක පාක් එකකට වෙලා කෝපි කෝප්පයක් තොල ගාන්න යන්නේ මේ නිසයි.අනෙකා අගය කිරීමක් ඔහු හා අදහස් බෙදා ගැනීමක් මේ සංකල්පය හරහා සිද්ධ වෙනවා. මිනිසුන්ට තමන් ගැන මේ නිසා වටිනාකමක් දැනෙනවා.

 

6. නෝර්වේ

Image Source – ddnews.gov.in

මේ රටේ පුද්ගලයන්ට තමන්ගේ ආරක්ෂාව, සුබසාධනය, රටේ අස්ථාවරභාවය වගේ දේවල් ගැන බය වෙන්න දෙයක් නැහැ. මෙයාලා ළඟ කොහොමත් සුබසාධනය සඳහා වැඩපිළිවෙලක් තියෙනවා සියලුම වැසියන් බලාගන්න පුළුවන් වෙන ආකාරයේ. අනික මේ රටේ පාරිසරික තත්ත්වය ගත්තොත් පුදුමාකාර විදියට පිරිසිදුයි. ඒ වගේ ම රටේ පුදුමාකාර ලස්සනකින් යුතු පියෝඩ තියනවා. උතුරු දෙසේ ආලෝක ධාරා නෝර්වේ රටට ලස්සනට පේනවා. හිම වලස්සු සහ හිම එක්ක ඉන්න තවත් සත්ව විශේෂ රැසක් දැකගන්නත් පුළුවන්. ඉස්තරම් බියර් තොල ගාන්නත් පුළුවන් නේ.

 

7. ෆින්ලන්තය

Image Source – visitfinland.com

මෙන්න දැනට සතුටින්ම ඉන්න අය අතරෙන් ලෝකෙට ලොක්කා. බොහෝ සංක්‍රමණිකයන්ට නිවහන දැන් ෆින්ලන්තයයි. එයාලයි ෆින්ලන්ත වැසියන් අතරයි තියෙන්නේ ඉතාම හොඳ බැඳියාවක්. ඉතින් ඔන්න ඕක මේ තත්ත්වය මේ රටට උදා කර දෙන්න හේතු වෙලා තියනවා. දූෂණය නැති රටක්. ලෝකයේ හොඳ ම පොලිසිය සහ විශ්වාසවන්ත ම බැංකු සේවා. ස්ථාවර, ආරක්ෂාකාරී සහ හොඳ ම විදියට රාජ්‍ය පාලනය කරන ආණ්ඩුවක්. මේ මිනිස්සුන්ට දුකින් ඉන්න කිසිම හේතුවක් නැහැ. ෆින්ලන්තයටත් උත්තරාලෝකය පේනවා. මේ රටේ අධ්‍යාපනික ආයතන හදලා තියෙන්නේ තනිකර ම මහජනයාගේ හෙට දවස වෙනුවෙනුයි.

 

Cover Image Source – ahchealthenews.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *