ඔබේ මොළයට ප්‍රබල ලෙස හානි කරන මෙම ආහාර පාන අදම අතහරින්න

ඔබේ මොළය ඔබේ ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියයි. තවත් ඉන්ද්‍රියන් කීපයක් තිබෙනවා අපිට ඒවා නොමැතිව ජීවත් විය නොහැකි. නමුත් මොළය තමයි ඒ සියල්ල පාලනය කරන්නේ. ඔබේ හදවත විසින් රුධිරය සපයා දෙන්නේ, ඔබේ පෙණහලු නිතරම හුස්ම ගන්නේ මොළයේ පාලනය යටතේයි. ඔබගේ සියලුම සිතුවිලි, හැඟීම් සහ මතකයන් ආරම්භ වන්නේ හෝ වාසය කරන්නේ මොළයේයි. මොළය කියන්නේ මේ සෑම දෙයකම ගබඩාවක්. නිසැකවම මෙම අතිශය වැදගත් ඉන්ද්‍රිය, සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම වැදගත්. ජීවිත කාලය පුරාම පුරුද්දක් ලෙස සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම තුලින් වයස්ගත වීම හා සම්බන්ධ සංජානන පරිහානිය මන්දගාමී කරවන අතර ඩිමෙන්ශියාව වර්ධනය වීමේ අවදානම ද අඩු කරනවා. අනෙක් අතට ඔබේ මොළයට සුදුසු නොවන ආහාර ද තිබෙනවා. අහිතකර ආහාර සෞඛ්‍ය සම්පන්න ආහාර වලට මාරු කිරීමෙන් ඔබේ මොළයේ සෞඛ්‍යය දිග කාලයක් ආරක්ෂා කරගන්න පුළුවන්.

1. ට්‍රාන්ස් මේදය

සෑම මේද වර්ගයක්ම ඔබට නරක නොවන බව ශුභාරංචියක්. කෙසේ වෙතත් ට්‍රාන්ස් මේදය (Trans fats) නම් විශේෂිත මේදය මොළයට අහිතකර ලෙස බලපානවා. සාමාන්‍යයෙන් ට්‍රාන්ස් මේදය ස්වාභාවිකවම මස් හා කිරි ඇතුළු සත්ත්ව නිෂ්පාදන වල දක්නට ලැබෙනවා. නමුත් මේවා කෘතිමව නිපදවන ට්‍රාන්ස් මේද තරම් ගැටලු සහගත නොවන අතර ඒවා බහුලව අඩංගු වෙන්නේ ඇසුරුම් කරන ලද ආහාර වල සහ සොසේජස් වැනි කෘතිම ආහාර වර්ග වලයි. හයිඩ්‍රජනීකෘත තෙල් ලෙස වෙනත් ආකාරයකින් හඳුන්වන මෙම අහිතකර මේද වර්ගය විශේෂයෙන්ම මාගරින්, වෙළඳපලෙන් මිල දී ගන්නා බේකරි නිෂ්පාදන, චිප්ස් සහ ක්‍රැකර්ස්, ශීත කළ හා ටින් කළ ආහාර, ක්‍රීම් සහිත පාන වර්ග (creamy beverages) වල අඩංගු වෙන නිසා ඒවා අධිකව පරිභෝජනයට එක් කර ගත්තොත් සංජානන පරිහානිය, මොළයේ පරිමාව අඩු වීම සහ මතකය දුර්වල වීම වැනි අර්බුදකාරී තත්ත්වයන් ඇති කිරීමට හේතු වන බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා.

 

2. සීනි සහිත පාන

සෝඩා, ක්‍රීඩා බීම, ශක්තිජනක බීම සහ පලතුරු යුෂ වැනි සීනි සහිත පානවල පෝෂණ ගුණයක් ඇත්තේ නෑ. සීනි සහිත බීම නිතිපතා පරිභෝජනය කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් සහ ඇල්සයිමර් රෝගය හෝ ඩිමෙන්ශියාව වැනි ශාරීරික සහ මානසික දුර්වලතා රාශියක් ඇති වෙන්න පුළුවන්. බොහෝ සීනි සහිත බීම වල දක්නට ලැබෙන අධි සාන්ද්‍රිත රසකාරකයක් වන ෆෘරක්ටෝස්( fructose) අන්තර්ගත නිසා ඒවා අධික ලෙස පානය කිරීමෙන් දරුවන්ගේ ඉගෙනීමේ හැකියාව, මතකය, සමස්ත මොළයේ ක්‍රියාකාරිත්වය සහ මොළයේ නව නියුරෝන සෑදීම අඩු කරන බව සනාථ වෙලා තිබෙනවා. එය මොළයේ ඉදිමුම වැඩි කිරීමට ද හේතු විය හැකි නිසා එය දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට පවා ඍණාත්මක ලෙස බලපානවා.

 

3. පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් ආහාර

පිරිපහදු කළ කාබෝහයිඩ්රේට් කියන්නේ සැකසූ ධාන්‍ය වලින් සාදන ලද නිෂ්පාදනයි. ඒවා අනිවාර්යයෙන්ම පැණිරස රස නොවිය හැකි නමුත් ඒවා ඉතා ඉක්මණින් ඔබේ ශරීරය තුළ සීනි බවට පරිවර්තනය වෙනවා. එයට හේතුව පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය මගින් සියළුම තන්තු හා පෝෂණ මුල් ධාන්‍ය වලින් ඉවත් කිරීමයි. පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් ආහාර වලින් කරන්නේ ඔබේ රුධිරයේ සීනි වැඩි කරන ග්ලයිසමික් මට්ටම ඉහළ දැමීමයි. ඒ වගේම පිරිපහදු කළ කාබෝහයිඩ්රේට් වලින් සිය දෛනික කැලරි ප්‍රමාණයෙන් 58% කට වඩා ලබා ගන්නා වයෝවෘද්ධ පුද්ගලයින්ට ධාන්‍ය වර්ග, පලතුරු සහ එළවළු වැඩිපුර ආහාරයට ගන්නා අයට වඩා මානසික ආබාධ හා ඩිමෙන්ශියාව වැනි අවදානම දෙගුණයකින් වැඩි බවත් අධිකව මෙම ආහාර ගන්නා දරුවන් බුද්ධි පරීක්ෂණ වලදී අඩු ලකුණු ලබා ගන්නා බවත් අනාවරණය වී තිබෙනවා.

 

4. සැකසූ හා ඇසුරුම් කළ ආහාර

සැකසූ හා ඇසුරුම් කළ ආහාර මොළයට අහිතකර වෙන්නේ එම ආහාර වල වැදගත් පෝෂණ කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට සීනි, මේදය හා ලුණු ආදේශ කර වෙළඳපොළට නිකුත් කරන නිසයි. ගෙදර හැදූ ආහාරවලට වඩා පහසුවෙන් සහ ක්ෂණිකව ලබා ගන්න පුළුවන් මේ වගේ ආහාර වලට අපි නිරායාසයෙන්ම හුරු වෙලයි ඉන්නේ. අපේ එදිනෙදා කාර්‍යබහුලතාවය නිසා ගෙදරදී හදාගෙන කන ආහාර ගොඩක් අපෙන් මඟ ඇරුණත් ඔබට හැකි සෑම විටම සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාර සමඟ ගෙදරදී ආහාර පිසීම සෞඛ්‍යයට ඉතාම වැදගත්. මෙය අනෙක් අතට මොළයේ පටක වලට වන හානිය හා මොළයේ පරිමාව අඩුවීම සමඟ සම්බන්ධයි. හානිකර ද්‍රව්‍ය වලින් මොළය ආරක්ෂා කිරීම සඳහා වගකියන පටල වලට පවා එමඟින් බාධා ඇති කළ හැකියි.

 

5. මත්පැන්

මත්පැන් මොළයට හානි කිරීම පුදුමයක් නොවේ කියලා ඔබ දන්නවා. නමුත් අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් එය නිසැකවම මොළයට හානිකරයි. නිතරම මත්පැන් පානය කිරීමෙන් මොළය හැකිලෙන අතර සන්නිවේදනය සඳහා ඔබේ මොළය භාවිතා කරන ස්නායු සම්ප්‍රේෂක කඩාකප්පල් වෙනවා. මත්පැන් පානය කරන්නන් බොහෝ විට විටමින් B1 ඌණතාවයෙන් පෙළෙනවා. එම සින්ඩ්‍රෝමය මතක ශක්තිය නැතිවීම, ව්‍යාකූලත්වය, අස්ථිරභාවය සහ වරින් වර ඇස් පෙනීම නැතිවීම වැනි දරුණු මොළයේ හානිවලට හේතු වෙනවා.

 

6. රසදිය අධික මාලු

මාළු වර්ග කියන්නේ පොදුවේ ඔබේ ආහාර වේලට සෞඛ්‍ය සම්පන්න එකතු කිරීමක් තමයි. ගොඩක් මාළු වර්ග වල සංතෘප්ත මේදය අඩු නමුත් සෞඛ්‍ය සම්පන්න ඔමේගා -3, මේද අම්ල මෙන්ම විටමින් බී 12, සින්ක්, යකඩ සහ මැග්නීසියම් අන්තර්ගත වීම ගුණදායකයි. කෙසේ වෙතත් සමහර මසුන් තුළ විශේෂයෙන් රසදිය ඉහළ මට්ටමක පවතිනවා. ඒ බැර ලෝහයක් වන රසදිය මාලුන්ගේ ස්නායු වලට එකතු වෙලා තිබීම නිසයි. සාමාන්‍යයෙන් රසදිය සත්ත්ව පටක වල (මිනිසුන් ද ඇතුළුව) දිගු කාලයක් රැඳී තිබෙනවා. දිගු කලක් ජීවත් වන හා කොල්ලකාරී මසුන් ඔවුන්ගේ මස්වල රසදිය වැඩිම සාන්ද්‍රණයක් අඩංගුයි. එයට හේතුව ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ඔවුන් රසදිය අඩු මට්ටම් ඇති වෙනත් මාළු පරිභෝජනය කිරීමයි. ජීවිත කාලය පුරාවටම මෙම මසුන්ට ඔවුන් පිහිනන ජලයේ සාන්ද්‍රණය මිලියනයක ගුණයක් රැස් කර ගත හැකියි. ඒ නිසා ඔබේ මොළයේ ස්නායු සම්ප්‍රේෂක කඩාකප්පල් කරන කෙලවල්ලන්, ටූනා, සැමන් හා මෝර මාලු, කිං මැකරල්, ටයිල්ෆිෂ් වැනි මාලු වර්ග පරිභෝජනය වළක්වා ගැනීම හෝ සීමා කිරීම වඩාත් සුදුසුයි.

 

7. Aspartame ආහාර

ඇත්තටම ආහාර වලට සීනි වෙනුවට පැණි රස ලබා ගැනීමට භාවිතා කරන කෘතිම රසකාරක ආදේශක වලින් අධික සීනි වලින් සිදු වන හානිය වළක්වා ගන්න බැහැ. අධ්‍යයන කිහිපයකින් මෙම ඇස්පාර්ටේම් ආහාර මොළයේ චර්යාත්මක හා සංජානන ගැටලු සමඟ සම්බන්ධ බව අනාවරණය කරගෙන තිබෙනවා. එක් අධ්‍යයනයක දී, දින 8 ක් තුල ඉහළ ඇස්පාර්ටේම් ආහාර ලබා ගත් දරුවන්ට මානසික පරීක්ෂණ වලදී අඩු ලකුණු ලබා ගැනීම, කෝපය සහ මානසික අවපීඩනය ඇති කිරීමටත් හේතු වී තිබෙනවා. තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ සීනි වෙනුවට කෘතිම රසකාරක ආදේශ කරන සිසිල් බීම වර්ග බොන අයට ඩිමෙන්ශියාව හෝ ආඝාතය ඇතිවීමේ අවදානම වැඩි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *