කොරෝනා කාලේ ටොමියාගේ සතියක් ගෙවුණු හැටි

අලුත් වසංගතය අපිට නම් දැන් ඇතිවෙලා. ගෙදරට වෙලා ඉඳලාම සමහරුන්ට සික් එක වගෙත් ඇවිත්. ඒ වගේම ගෙවල් වල ඉන්න බල්ලන්ට බළලුන්ටත් මේ තත්ත්වය බලපාලා තියෙනවා. අපිට ලැබුන ආරංචි මාර්ග විදිහට මේ මිනිස්සු ගෙදරම ඉන්න එකෙන් බල්ලොත් දැඩි ලෙස අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ගම්වල ටොමියා, ටාසන්, රොබින් කියලා මේ බල්ලෝ හඳුන්වනවා. නගරබද නම් පැටියෝ, පණ, වස්තු කැටේ කියල බල්ලෝ වඩාගෙන ඇතිකරන තැනුත් තියෙනවා. ඒ කොයිහැටි වුනත් මිනිස්සු ගෙදර ඉන්න එකෙන් බල්ල මුහුණ පාලා  තියෙන අපහසුතා ගැන ලිපියක් අපිට ලැබිලා තිබුණා. අපි දැන් ඒ ගැන බලමු. 

 

1. ඉරිදා

බල්ල නාවන්න වගේ කියලා කතාවක් කියනවා ඉස්සර මට ඇහිල තියෙනවා. මොනවා වුනත් ටිකක් හඩු ගඳට ඉන්නකොට තියෙන ආතල් එක දන්නවද මේ මිනිස්සු?  නැහැ නේ. අවසානෙට දත් මදිනකොට ලෙඩ්ඩු හයයි කියලා ගෙදර ඉන්න 18 කෙල්ල කොල්ලට කියනවා ඇහුනා. එතකොට උදේම මැසිම වගේ බුරුසුව දත්වල උලනවා හැමදාම මම දකින්නේ. ඒ මොකද්ද ඒ? ඒවයින් වැඩන් නෑ. මුන් ටික නාලා මේ විපත් අවස්ථාවේ වතුර නාස්ති කරනවා. ඒ මදිවට මාවත් ඩේලි නාවනවා. නාල නාල දැන් මට හෙම්බිරිස්සාවත් වගේ. 

 

2. සඳුදා

හෙම්බිරිස්සා ගතියක් තිබුනට හචිමක් වත් අරින්න බයයි. මේ ගෙදරවල ආච්චිලා සීයලා වගේ වයසක අය ඉන්නේ වැඩිය සැප නැති කාමර වල. අපේ ලේන් එකේ අනෙක් ගෙවල් එහෙමයි අනික් යාළුවෝ කිව්ව විදිහට. ඉතින් මේ අපේ ගෙදර ඉන්න ආච්චි දැන් හචිමක් යවන්නෙත් බොහොම පරෙස්සමෙන්. මම නිතරම ඔය එක එකා අතපත ගාන හින්දා ඒ ආච්චිගේ කාමරේ පැත්තේ ගිහින් උන්නා. මේ දවස්වල හචිමක් ඇරලා සද්දෙන් කැස්සත් මුන් මාව ගෙනිහින් කොරෝන වාට්ටුවට දාල එන්න බැරි නැහැ. ඒ නිසා සද්ද නැතුව ඉන්න ඕනි කියලා ඒ මනුස්සයා මාත් එක්ක කිව්වා. මාත් එක්ක කිව්වා කිව්වට එයා කිව්වා, මම නැට්ට වන වන බිම වාඩිවෙල උන්නා. 

 

3. අඟහරුවාදා 

“මේව කාටද බොන්න හැක්කේ ඕයි. මගේ බල්ලවත් බොන්නැහැ” කියලා ගෙදර මහතැන බනිනවා. ඒ කිව්ව නිසාම මම පොඩ්ඩක් කට ගාලා බැලුවා. ඇත්තනේ. බොන්න බැහැ නේ. මට නෙමෙයි, අර හැම ගෙදරම ඉඳුල් ලෙවකන්න එන හොර පූස් නාම්බටත් මේවනම් බොන්න බැහැ. කොත්තමල්ලි ලු. අර ආයුරේද බේතලු. පස්පංගුවලු. ඒ මදිවට මොනවාද කැලෑ කොළ වගයකුත් ගෙනල්ල තැම්බුවා. ඒවා ගෙදර අය අමාරුවෙන් බොනවා. ගොන් පූස් තඩියගේ හිතේ ඒ මොනාහරි සුප් එකක් කියලා. මූ ඒකට ඉව අල්ලන්න ගිහින් මූටත් බොන්න දීලා. ඒ ගස් බල්ලටත් සෑහෙන කරදර මේ කොරෝනාවක් නිසා. නිතරම අර පොඩි උන් උගේ බඩෙන් අල්ලනවයි, කනෙන් අදිනවයි වල්ගේ දිග බලනවයි. පෞ… ලේනෙක්ට පැනලා, දෙමලිච්චෙක් පස්සෙන් ගිහින් ආතල් එකේ හිටපු පූස් තඩියා. 

 

4. බදාදා

මේ ගෙදර කට්ටිය වැඩට ඉස්කෝලට යන් නැහැ. අල්ලපු ගෙවල් වලත් එහෙමයි. මම උඩුබිරුම් පාරක් දාලා පොඩ්ඩක් විස්තර බැලුවා. වටේම ගෙවල් එහෙමයි. කවද ආයි යන්න වෙයිද මන්ද කියලා ටීවි එක බලන ගමන් කට්ටිය හූල්ලනවා. මොකක් නමුත් දරුණු එකක් පැතිරෙනවලු. අල්ලපු ගෙදර ඉන්න ලැයිකා කිව්ව විදිහට ලෙඩක් නම් ඉස්පිරිතාලෙ යන්න ඕනි නැත්තං මැරෙන්න ඕනි. ලැයික දන්න ලබ්බ. ලැයික ගේ ලව් එකනේ එපිටහ ගෙදර හිටිය දඩෝරියා. ඌ ලෙඩ වුණා, දොස්තර බලන්න ගියා, මළා. ඒ බැල්ලි ලෙඩගැන දන්නේ එච්චරයි. ඊට වඩා දරුනු සීනක් කියලා තමයි අනෙක් උන් කියන්නේ. කොහෙද ඉතින් විස්තරයක් දැනකියාගන්න පාරක නිදහසේ ඇවිදින්න පුළුවන්ද? බැහැ නෙ. 

 

5. බ්‍රහස්පතින්දා

බල්ලන්ගෙනුත් මොකද්ද බෝවෙනෝ කියලා පොඩි එකෙක් කෑ ගැහුවා. එදා නම් ටිකක් අත පත ගෑම් අඩු වුනා. එත් ඉතින් ඊළඟ දවසේ ආයේ පුරදු විදිහට පටන් ගන්නවා. ඒනිසාද කොහෙද දැන් එලියට බැස්සත් පාර මැද කක්ක ටික දාල එනකල් ගෙදර ලොකු තැන මගේ දිහා බලාන ඉන්නවා. හරියට බෙට්ට එක්ක මැණික් දානව කියල මුන් හිතනවද දන් නැහැ. වෙන බල්ලෙක් එක්ක ඩිංගක් කදේට යන්න ගියත් ඌව එලෝල දානවා. කොටින්ම දවසක් අල්ලපු ගෙදර ලැයිකට පොඩ්ඩක් පානිය දාන්න ගියාහම ඌවත් එලෝල දැම්ම. හරි වේදනයි මට.  මේක නම් ඇතිවෙල තියෙන්නේ අම්මප. වෙනදට එලියෙන් ගිහින් වීරයෝ වගේ ගේට්ටු අස්සේ ඉන්න එකෙක්ව අවුස්සලා ආතල් ගත්ත අපිට නේ මේ මෙහෙම වෙලා තියෙන්නේ කියල හිතනකොට වම් ඇහැට කදුළු එනවා.

 

6. සිකුරාදා

මහ තැන් දෙක තුන ටීවී එක ඉස්සරහ. ඒකේ කාටුන් යන වෙලාවට පොඩි උන් ඒක ඉස්සරහ. කෙල්ලයි කොල්ලයි නම් පෝන් එකේ. ඒක නෙමෙයි වැඩේ. මම පහුගිය දවසක සෑහෙන බයවුනා අපට හැදෙන පිස්සුබලු ලෙඩ යසට ඉන්න කෙල්ලටත් හැදිලාද කියලා. කෝක වුනත් කොරෝන නැති කාලේත්  මැක්කො හිටියත් මාව අතගගා සෙල්ෆි ගන්න කෙල්ල නේ. මාත් බැලුවා මොකෝ කියලා. පස්සේ මං වගේම ඒකිගේ අම්මත් බයවෙල ආවම කෙල්ල හිනාවෙල කිව්වා ඒ ටික් ටොක් වීඩියෝ එකක් කියලා. ඇත්තමයි ඒ ගැස්සෙන පැද්දෙන විදිහනම් හරිම මාන්දමිකයි. පේන තැනක හිටියොත් ඕකි මාවත් ඕවට ගන්නවා. එනිසා මම හිමීට මාරුවෙල ගේ පිටිපස්සට ගියා ඉන් පස්සේ. 

 

7. සෙනසුරාදා 

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපේ ලේන් එකේ ඉන්නවා සෙරප්පු, යට ඇඳුම්, බෙල්ට් වගේ ඒවා උස්සගෙන ගිහින් හපන බලු ඩෑල් එකක්. එයා කියන විදිහට ඒ පුරුද්ද පරම්පරාවෙන් ආපු මහ නම්බුකාර වැඩක්. ඒත් ඉතින් මම දන්න තරමින් බුවා හැම තැනින්ම ජංගි උස්සලා ගුටි කනවා. බලු බුවා පහුගිය දවසේ පරණ සෙරප්පු කෑල්ලක් උල උල යනවා දැක්කා. අලුතින් යට ඇඳුම් වැලවල එලියේ දාන්නේ නැති නිසා, සෙරප්පු සපත්තු එළියේ වේලෙන්න දාන් නැති නිසා බුවාට ඒවා නැතුව සාංකාව වගේ වෙලා. මම හිතන්නේ බ්‍රා, යට ඇඳුම්, බෙල්ට්, සපත්තු වගේ ඒවා මේ ලෙඩට හොඳ නැහැ. අපේ ගෙදරත් නාකිම එකේ සිට පොඩිම බුවා දක්වා යටට අඳින බවක් නම් පේන් නැහැ මේ දවස්වල. ඒවනම් ඉතින් වටින ලෙඩවල්. අපි වගේම හැමදාම ෆ්‍රී එකේ ඉදියනම් ඔය කිසි අවුලක් නැහැ නෙ

 

……………………….

 

කලාතුරකින් බල්ලෙක් දඩාවතේ ගියාට හැම බල්ලම එහෙම නරක නැහැ. කන්න බොන්න ටික දුන්නම ඉදලා හිටලා නැට්ට වනලා පාඩුවේ ගෙවල් වලට වෙලා ඉන්න තරම් හොඳ හැදියාවක් බල්ලන්ට තියෙනවා. ඒත් කෑම බීම ටික ගන්න නෙමෙයි, මේ වෙලාවේ වෙන වෙන මගුල් වලට රට වටේ ඇවිදින මිනිස්සු ජාතියකුත් ඉන්නවා. වැඩිපුරම ලෙඩේ බෝ කරන්න දායක වෙන මේ පිරිස බල්ලන්ගෙන් හරි ආදර්ශ ගන්නවා නම් හොඳයි. දඩාවතේ යන එකෙක්ට වුනත් එක්තරා සීමාවක් තියෙනවා. ඌ ඒ සීමාවෙන් පිට යන්නේ කලාතුරකින්. ඉතින් අපිත් අපේ සීමාවන්, ඒ කියන්නේ ගේ දොර වතුපිටි සීමාවෙන් එහාට නොගිහින් මේ ව්‍යසනයෙන් ආරක්ෂා වෙන්න හිතමු නේද?. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *