පිරිමි ගායනා කරන සිංහ​ල යුග ගීත 7ක්

සිංහල ගීත ක්ෂේත්‍රය ගත්තොත් වැඩි වශයෙන් අපිට ඇහෙන්නේ කේවල ගායනා. ඒ කිව්වේ තනියෙන් කියන ගීත. එහෙමත් නැත්නම් ගායිකාවක් සහ ගායකයකු විසින් කියන යුග ගීත. මීට අමතරව තවත් ගීත වර්ග දෙකක් තියෙනවා. ඒ පිරිමි දෙදෙනෙකු  විසින් ගායනා කරන යුග ගීත සහ කාන්තාවන් දෙදෙනෙකු විසින් ගායනා කරන යුග ගීත. අපි අද කතා කථා කරන්න යන්නේ මේ අතරින් ගායකයන් දෙදෙනෙකු විසින් ගායනා කරනු ලබන යුග ගීත පිළිබඳව.

 

1. පලංචියේ – එඩ්වඩ් ජයකොඩි සහ සුනිල් එදිරිසිං​හ

මේ ගීතය පිරිමි යුග ගීත අතරින් ජනප්‍රියතම යුග ගීතය විදිහට සැලකුවොත් වැරැද්දක් නැහැ. මේ ගීතයෙන් කතා කරන්නේ ගොඩක් වෙලාවට හොඳම යාළුවෝ දෙන්නෙක්ට මුහුණ දෙන්න වෙන පොදු අත්දැකීමක්. ඒ එකම තරුණියකට පෙම් කිරීම. ගොඩක් වෙලාවට  මේ වගේ අවස්ථා නිසා යාළුකම් බිඳෙන වෙලාවලුත් තියනවා. තමන් දෙදෙනා අතර එහෙම දෙයක් නොවේවා කියන එකයි මේ දෙන්නගෙම ප්‍රාර්ථනාව.

 

2. රැවක් ඇදෙනවා – ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ

ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ විසින් ගායනා කරපු මේ ගීතය සිංහල ගීත අතරින් වැඩිපුරම අසාධාරණයට ලක් වුණු ගීතයක්. මේකට හේතුව තමයි කවුරුන් හෝ පුද්ගලයෙක් මේ ගීතය මගින් කියවෙන්නේ පිරිමින් දෙදෙනෙකු අතර ඇතිවන සම ලිංගික ආදරයක් යැයි ප්‍රකාශ කිරීම නිසා. මේ අදහසට සමාජ ජාල මාධ්‍ය හරහා සුවිශාල ප්‍රචාරයක් ලැබුණා. නමුත් ඇත්ත වශයෙන්ම මේ ගීතයෙන් කියවෙන්නේ විරහා වේදනාවෙන් පෙළෙන තරුණයෙක් අවන්හලකට පැමිණ මධුවිත පානයට ලොල්වීම අධෛර්යයට පත් කරන්න උත්සාහ කරන තලතුනා පුද්ගලයෙක් පිළිබඳව.

 

3. මල සරසාගෙන – රනිල් මල්ලවාරච්චි සහ හර්ෂ බුලත්සිංහ​ල

රූපවාහිනී මාධ්‍යයෙන් පමණක් විකාශය වී ජනප්‍රියත්ව​යට පත් වුණු පළවෙනි ගීතය විදිහට මේ ගීතය හඳුන්වාදෙන්න පුළුවන්. මේ ගීතයේ ගී පද රචකයා වන ලූෂන් බුලත්සිංහල මහත්මයා කියන විදිහට ඔහු මේ ගීතය රචනා කරන්නෙ රූපවාහිනී ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගෙන. රනිල් මල්ලවආරච්චි සහ හර්ෂ බුලත්සිංහල එක රැයින් ජනප්‍රිය වීමට මේ ගීතය හේතු වුණා. නමුත් මේ සුසංයෝගය දිගුකාලීනව ක්ෂේත්‍රයේ රැඳුනේ නෑ. ඔවුන් දෙදෙනා පසුකාලයකදී වෙන වෙනම තමන්ගේ මාර්ග වල ගමන් කළා.

 

4. විරාග රාගය – අමල් පෙරේරා සහ අමරසිරි පීරිස්

බන්දුල නානායක්කාරවසම් රචනා කරපු මේ ගී පදවලට සත්සර මුසු කළේ සුරේෂ් මාලියද්ද. නමුත් මේ ගී පද වලට පණ දුන්නේ අමරසිරි පීරිස් සහ අමල් පෙරේරා. වැඩිමහල් පිරිමියෙකු සමග විවාහ ව සිටින තරුණ කාන්තාවක් කෙරෙහි බැඳුණු තරුණයෙකුගේ හැඟීම් සමුදාය මේ ගීතය තුළින් විස්තර කෙරෙනවා. 

මේ ගීතය වෙනුවෙන් අමරසිරි පීරිස් සහ අමල් පෙරේරා පාවිච්චි කරේ ඇයි කියන ප්‍රශ්නයට ජයන්ත චන්ද්‍රසිරි මෙන්න මෙහෙම උත්තර දෙනවා.

 

 

5. හිතින් යන අය – වික්ටර් රත්නායක සහ සංඛ දිනෙත්

ඩිල්ෂාන් පතිරත්න විසින් රචනා කරපු මේ ගීතය සඳහා පණ ලබා දෙන්නේ ලංකාවේ හඬ පෞර්ෂ දෙකක්. ඒ වික්ටර් රත්නායක සහ සංඛ දිනෙත්. වික්ටර් රත්නායක මහතා අතින් නිතර විවේචනයට ලක්වන රියැලිටි ටීවී තරගවලින් ජය ගෙන ක්ෂේත්‍රයට එන තරුණ තරුණියන් අතර කෙනෙකු වූ සංඛ දිනෙත් සමග වික්ටර් රත්නායක මහතා ගීතයක් ගායනා කිරීමට එකඟ වීමම ක්ෂේත්‍රයේ යම් කතාබහකට ලක් වුණා. ඒ වගේම මේ ගීතය තුළින් වික්ටර් රත්නායක මහතා සිය විවාහ ජීවිතයේ ආරම්භ කළ අලුත් ගමන ගැනත් යම් යම් ඉඟි සපයන බව ඇතැම් රසිකයන් ප්‍රකාශ කළා.

 

6. මගේ සුදු බෑනන්ඩිට – රෝහණ බැද්ද​ගේ සහ බන්දුල විජේවීර

රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර කියන සුසංයෝගය පිරිමි යුග ගායනාවල මතක හිටින​ම සුසංයෝගය කියලා කිව්වොත් වැරැද්දක් නැහැ.

පරම්පරා කීපයක අය දැන් මේ ගීතය දන්නවා. ඒ වගේම ඉතිං මාමලා සහ බෑනලා ට පොදු වූ ප්‍රශ්න තියෙන එකේ මේ ගීතය ජනප්‍රිය වුණු එකේ පුදුමයකුත් නැහැ.

 

7. හිස් ටින් එකක් වාගේ – එච්. ආර් ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ මොහිදීන් බෙග්

මේ ලිස්ට් එකට ඇතුලත් කරන එකම යුග ගීතයක් නොවන ගීතය තමයි මේ ගීතය. ඒකට හේතුව වෙන්නෙ මේ ගීතයට ගායකයෝ තුන් දෙනෙක් සහභාගී වීම. එච්. ආර් ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ මොහිදීන් බෙග් තමයි ඒ ගායකයෝ. ‘දැන් මතකද’ චිත්‍රපටය වෙනුවෙන් සිරිල් ඒ. සීලවිමල රචනා කරපු මේ ගීතයට සංගීතය සපයලා තියෙන්නේ පී. එල්. ඒ සෝමපාල මහත්තයා. නමුත් මේ ගීතය නැවත වරක් රසිකයන් අතර ජනප්‍රියත්වයට පත් වුණේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහනේ එම්. ජී ධනුෂ්කගේ ගායනයෙන් පස්සෙ කියන එකනම් අවිවාදයෙන් අපිට පිළිගන්න වෙනවා.

 

මීට අමතර ව පිරිමි ගායකයන් විසින් ගායනා කරපු යුග ගීත ගැන ඔබටත් මතක නම්, ඒ ගැන කියන්න අපේ කමෙන්ට්ස් සෙක්ෂන් එක විවෘත වෙලා තියෙනවා. වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් ඉතින් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *