ප්‍රංශ රාජ සභාවේ අමුතු චාරිත්‍ර

යුරෝපයේ සංස්කෘතීන් අතර උසස්තම සංස්කෘතිය විදිහට ප්‍රංශ සංස්කෘතියට සුවිශේෂී පිළිගැනීමක් ලැබෙනවා. සඳහා කාලයක් යුරෝපයේ බලවත් රටක් විදිහට ප්‍රංශය පැවතීමත් එක හේතුවක්. ඊට අමතරව ප්‍රංශය තුළින් බිහි වුණු දාර්ශනිකයන්, කලාකාරයන් ප්‍රමාණය වගේම යුරෝපය පුරා ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ගෙන යාමට පුරෝගාමී වූ ප්‍රංශ විප්ලවයද  බලපෑම් කළා.

ප්‍රංශ විප්ලවයට පෙර ප්‍රංශයේ පැවති රාජාණ්ඩුව යුරෝපයේ පැවති හැම රටකම වගේ ආදර්ශයට ගත්තා. බොහෝ යුරෝපා රටවල රාජසභා තම ආකෘතිය හැඩ ගසා ගත්තේ ප්‍රංශ රාජ සභාව අනුකරණය කරමින්. අපි අද කතා කරන්න යන්නේ  එවකට වර්සායි මාළිගයේ තිබුණු ප්‍රංශ රාජ සභාවේ පැවති අමුතු අමුතු චාරිත්‍ර කීපයක් පිළිබඳව.

 

 

1. දොර හූරනවා

වර්සායි රාජ මාළිගය තුළ දොරට තට්ටු කිරීම සැලකුණේ කාමරයේ සිටින පුද්ගලයන්ට කරන නිග්‍රහයක් විදිහට. මේ නිසා වර්සායි මාළිගයේ කුටියක් වෙත යද්දී රාජ සභාවේ සාමාජිකයන්ට සහ සේවකයන්ට දොරේ ඇති ලීස්තර  ඇඟිලිවලින් සූරමින් ශබ්ද ඇති කිරීමට සිද්ධ වුණා. මේ නිසා එවකට  බොහෝ ප්‍රංශ ප්‍රභූවරුන්ගේ ඇඟිලි තුඩු ගෙවිලා තිබුණු බව කියවෙනවා.

 

 

2. ඇඳුම් අන්දන චාරිත්‍ර 

රජතුමාව සහ රජ බිසවව දෛනිකව වස්ත්‍රාභරණයෙන් සැරසීම උත්සවාකාරයෙන්  මාළිගය තුළ සිද්ධ වුණා. මෙහිදී ඇඳුම් සහ පළඳනා පැළඳවීම සිය සමාජ තත්ත්වය අනුව ප්‍රභූවරුන්ට නියම වුණා. රජතුමාගේ නිරුවත් සිරුර සම්පූර්ණයෙන්ම දැකීමට හැකි වුණේ රාජ සභාවේ හෝ එම අවස්ථාවේ අදාළ කුටියේ සිටි උසස්තම රදළයාටයි.

 

3. ඉඳගන්නෙත් තමන්ගේ තත්ත්වයට

ඇඳි සහිත පුටු භාවිතා කරන්න අවසර ලැබුණේ රජතුමාට සහ රජ බිසවට පමණයි. ඊට අමතරව ප්‍රංශ රාජ සභාව වෙත පැමිණෙන වෙනත් රාජවංශවල සාමාජිකයන්ටත් එම අවස්ථාව ලැබුණා. මීට අමතරව ඇඳි රහිත පුටු වෙන් වුණේ ප්‍රංශ රජ පවුලේ රජ කුමර කුමරියන්ටයි. අනෙකුත් සාමාන්‍ය රදළයන් සඳහා  කුඩා බංකු ලබාදී තිබුණා.

 

4. රතු අඩි උස සපත්තු 

අද වෙනකොට අඩි උස සපත්තු පැළඳීම කාන්තාවන්ට පමණක් වෙන් වෙලා තිබ්බත් කාලයේදී ප්‍රංශයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව අඩි උස සපත්තු පැළඳුවා. නමුත් එතනදිත් තමන්ගේ සමාජ තත්ත්වය අනුව යම් වෙනසක් තිබ්බා. සපත්තුවේ උස් අඩිය රතු පැහැයෙන් වර්ණ ගැන්වීම සිදුකළ හැකිව තිබුණේ රජුට පමණයි. මීට අමතරව රජු විසින් අවසර ලබා දුන් ප්‍රභූවරුන් සීමිත පිරිසකට පමණක් ආකාරයටම තමන්ගේ උස අඩි වර්ණ ගැන්වීමට අවස්ථාව ලැබුණා.

 

 

5. ඇඳුම් අඳින්නත් පුරුදු පුහුණු වෙන්න ඕන 

රාජ සභාව තුළ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් සඳහා නිශ්චිත නීති රීති මාලාවක් පැවතුණා. මේ නිසා ඇඳුම් අති දැවැන්ත ස්වභාවයක් ගනු ලැබුවා. විවිධාකාරයේ ලේස් සහ වටිනා විල්ලුද වලින් සරසනු ලැබූ මේ ඇඳුම් සියල්ලම පාහේ බරැති ඒවා වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ ඇඳුම් අඳින කෙනාට මේ ඇඳුම් කිසිසේත්ම පහසු නොවීම. ඊටත් වඩා අපහසුම කාරණය වුණේ මේ ඇඳුම ඇඳගෙන සාම්ප්‍රදායිකව රජුට සහ රැජනට කරන ආචාරය පළ කිරීමට සිද්ධ වීමයි. මේ නිසා බොහෝ කාන්තාවන් මෙම ඇඳුම් ඇඳීමට විශේෂ පුහුණුවක් ලබා ගත් අතර සඳහා  ආචාර කිරීමේදී නොපෙරළී සිටීමත් ඇතුළත් වුණා.

 

6. ඇඳේ ඉඳන් අමුත්තන් මුණගැසීම 

වර්සායි රාජ මාළිගයේ උසස්තම ප්‍රභූවරුන් තමන්ට වඩා පහළ ප්‍රභූවරුන් මුණගැසීම සිද්ධ කරේ තම ඇඳ මත සිටියදීමයි. බොහෝ වෙලාවට ඔවුන් එවැන්නන් සමඟ කතා කරද්දී සිය ඇඳෙන් මදක් හෝ නැගී සිටීමට වත් උත්සාහ කළේ නැහැ. මේ නිසා ඇතැම් අවස්ථාවල ප්‍රභූවරුන්ගේ ඇඳන් සේවකයන්ට පෙරහැරක් ආකාරයෙන් ඔසවාගෙන යන්න සිද්ධ වුණා.

 

7. අපිරිසිදුකම

 

මේ ආකාරයට කොතරම් උසස් ප්‍රභූ තත්ත්වයක්  පවත්වා ගැනීමට ප්‍රංශ රාජ සභාව උත්සාහ කළත් ඔවුන්ගේ වැසිකිළි සහ කැසිකිළි භාවිතය අතිශයින් අපිරිසිදු සහ පිළිකුල් සහගත වුණා. ප්‍රභූවරුන්ට තමන්ට ඕනෑම තැනක මළ මුත්‍රා කිරීමට අවස්ථාව සැලසුණු අතර සඳහා  පරිවාර සේවකයන් වැසිකිළි පෝච්චි රැගෙන පසුපසින් ආවා. නමුත් ඇතැම් ප්‍රභූ කාන්තාවන් නම් එවැන්නක් සඳහා වත් උනන්දු වුණේ නැහැ. ඔවුන් මාළිගයේ කොරිඩෝර තුළ අදාළ කටයුතු සිදු කළ අතර ඒවා පිරිසිදු කිරීම ඔවුන්ට වඩා සමාජ තත්ත්වයෙන් පහළ සේවකයන් වෙත පැවරුණා.

 

එහෙමනම් ඉතින් මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *