අපේ කතා ඇතුළේ වැඩිපුරම තියෙන කුණු මොනවාද?

අපි කතා කරනකොට වැඩිපුරම පාවිච්චි කරන්නේ මොනවද කියන එක මත අපේ කොලිටි එක තීරණය වෙනවා. දේශපාලනයේදී, කලාවෙදි වුණත් කතාව කෙනෙක්ගේ චරිතය කෙරේ කෙලින්ම බලපානවා. ඇතැම් ජනප්‍රිය චරිත පවා කතා කරන්න ගිහින් නාගත්තු අවස්ථා එමටයි. අපි හැමෝටම ස්ටේජ් නැගලා කතාකරන්න ලැබෙන්නේ නැහැ. අපි හැමෝටම රූපවාහිනී වැඩසටහන් වල කතාකරන්නට ලැබෙන්නෙ නැහැ. ඒත් අපිට එකිනෙකා සමග ගනුදෙනු කරද්දි කතාබහ කරන්න වෙනවා. ගෙදර අය එක්ක කතා බහ කරන්න තියෙනවා. අවට වටේ පිටේ අය එක්ක කතා කරන්නට තියෙනවා.

 

1. පොරටෝක්

සංවාදයක් යන ලොකු පිරිසක් අතර මෙහෙම කිහිප දෙනෙක් බොහෝවිට ඉන්නවා. මේ අය අනික් අයට වඩා තමුන් උසස් කියන්න නොයෙක් අයුරින් උත්සාහ ගන්නවා. වැඩ කරන රැකියාව, යන එන කන බොන හැටි විතරක් නෙමෙයි, බොන මත්පැන් ප්‍රමාණය පවා මෙයාල පොරටෝක් දෙන්න යොදාගන්නවා. පොරටෝක් දෙන අය නොනවත්වාම කතාකරන්නත් දක්ෂයි. මොකද ඉතා සුළු කාරණයක් වුනත් එයාලට වාසි විදිහට නමාගෙන ලකුණු දාගන්න එයාලට පුළුවන්.

 

2. අනුන්ව ජජ් කිරීම් 

සෙට් එකක් කතා බහ කරනවා නම් බොහෝවිට සිදුවීමක් හෝ පුද්ගලයෙක් සම්බන්ධව කතාකරද්දි එතැන නැති කෙනෙක්ව ජජ් කරන්න අපි මාර කැමතියි. මොකද කෙනෙක් ඉන්න තැනකදි අපිට හිතේ හැටියට ජජ් කරගන්න බැහැ. ඒ කෙනා ඒ ගැන උත්තර දෙන්න ගන්නවා. මේ ජජ් කිරීම් වුණත් වැදගත්කමකුත් තියෙනවා. දැන් එකම සිදුවීමට සම්බන්ධ පුද්ගලයෙක් ගැන විවිධ අයට විවිධ අදහස් තියෙනවා. ඒ තුළින් අපිට ඒ ගැන විවිධ කෝණයෙන් බලන්නට හැකියාව ලැබෙනවා.

 

3. ඕපදූප සෙවීම්

අනචාර ලිංගික සම්බන්ධකම්, අසාර්ථක වුණු බිස්නස් ඩීල්, කරන්න ගිහින් අල වුණු වැඩ ආදිය තමයි ගොසිප් වලට ඇතුළත් වෙන්නේ. ඒ වගේම මේ කාලේ නම් දැනට ෆේස්බුක් එකේ එහෙම හිට් වෙන සිද්ධිත් ගොසිප් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ දේවල් ගැන සිදුවීම ළඟම හිටපු උදවිය වත් දන්නේ නැති තරම් දේවල් ගොසිප් විදිහට හොයාගෙන කට්ටිය ඉදිරිපත් කරනවා. උදාහරණ විදිහට දේශපාලනය කතා කරද්දි ඒ ඒ මන්දිර වල ඉතාම රහසිගතව කෙරෙන කතබහ, ගැටුම් ආදිය බලන් හිටියා වගේ ගොසිප් විදිහට ඉදිරිපත් කරන අය ඉන්නවා. ඒ වගේම ඒවා රසවිඳින අයත් ඉන්නවා.

 

4. ඇනුම්පද කියනවා

ගැහැණු අය කතා කරනකොට සාමාන්‍යයෙන් ඇනුම්පද ප්‍රමාණය වැඩියි. රට ගිය ළඟ ඥාතියෙක් අනෙක් අයට වටින තෑග්ගක් දීලා අපිට සවුත්තු එකක් දුන්නොත් කතාබහ අතරමගදි “අපි ඉතින් එයාල තරම් සුදු නැතුව ඇති නේහ්” ආදී වශයෙන් හෝ සඳහන් කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. ඒ විදිහට කෙලින්ම අදාළ බැනීම් ආදිය සිදු නොකර ව්‍යංගාර්ථයෙන්, ඒත් ඒකට අදාළව අදහස් කියන එක ඇනුම්පද වෙනවා. ඇනුම්පද කීම් වැදුණ අවස්ථාවල ටිකක් සැර වලි බර කාලගුණයකට වුණත් අපේ කතාබහ ඇදෙන්න ඉඩ තියෙනවා. 

 

5. දේශපාලන විචාර කරනවා

පිරිමි පාර්ශවය ආසම දෙයක් තමයි දේශපාලනය. එයාලට කෝච්චියේ ද? බස් එකේද? මග තොටද? ඕනි තැනක දේශපාලනය කතා කරන්න මාර හැකියාවක් තියෙන්නේ. රූපවාහිනී සාකච්ඡාවලින්, පත්තරවලින්, වෙබ් වලින් ඇහිඳ ගන්නා නිවුස් වලට තවත් විචාර, ඉතිහාස කතා ආදිය ඉදිරිපත් කරමින් සමහර අය වෘත්තීය දේශපාලකයින්ට වඩා හොඳට දේශපාලනය කතා කරන්න දක්ෂ වෙලා තියෙනවා.

 

6. අනාගත සැලසුම් ගහනවා 

“මට හැමදාම මෙහෙම ඉන්න හිතක් නෑ මචං… කවදහරි මාත් ඉන්නේ…” කියලා ලස්සන හීන තොගයක් අපි යාලුවෝ එක්ක ෂෙයාර් කරගන්නවා. ඉතින් යාලුවෝ ගොඩක් වෙලාවට ඒ ගැන උපදෙස් දෙනවා. උදාහරණයක් විදිහට අලුතින් රෝද හතරක් ගන්න ඉන්නවා නම් යාලුවෝ ඒ ගැන උපදෙස් දෙනවා. කාමරයක් දෙකක් හදාගන්න, පිළිවෙලක් වෙන්න ඉන්නවා නම් ඒකටත් යාලුවෝ උපදෙස් දෙනවා. අපිට කලින් අපි ගහන්න ඉන්න ෆියුචර් ප්ලෑන්ම ගහලා අල වෙච්චි අය තමුන්ගේ අත්දැකීම් බෙදාගන්නවා. ඉතින් ෆියුචර් ප්ලෑන් කියන්නේ නම් නරක දෙයක් නෙමෙයි, ඒත් අවුරුදු ගාණක් තිස්සේ එකම ප්ලෑන් එක තියාගෙන බොනකොට, කයියට විතරක් ප්ලෑන් එක දාන එකනම් ටිකක් බෝරින් වැඩක් අනෙක් අයගේ කණට.

 

7. ඉතිහාස කතා කියනවා

“මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටී… අපි කතා කළේ පණ ගැහි ගැහි දණින් වැටී… ” පාසැල් කාලේ සුද්දා කියලා හඳුන්වපු ගුරුවරයෙක් පන්තියටම ගහපු හැටි ගැන කියන එක අපේ ඉස්කෝලේ සෙට් එකටනම් මාර ආතල් වැඩක්. ලොකු උත්සවයකදි ඥාතියෙක් කරපු චාටර් වැඩක් සහ දැන් යන කතා බහේ වැදගත් ඉතිහාස පාට් එකක් ඉදිරිපත් කරන්න සමහර අය උත්සාහ ගන්නවා. නිතැතින්ම සමහරුන්ට ගෙවීයන ජීවන ඉතිහාසේ සමහර දේවල් මාර විදිහට මතකයි. කොටින්ම අපි කලින් සෙට් වුණ දවසේ මොනාද කතා කළේ කියලත් එයාලට මතකයි. ඒ යාලුවන්ගේ මතකයෙන්, එයාලගේ ඉතිහාස කතා වලිනුත් අපිට කොන්වර්සේෂන් එකට තල්ලුවක් ලැබෙනවා.

 

8. වර්ණනා කරනවා

සෙට් එකක නම් වැඩිපුරම වාසි යාලුවට නිතර මුහුණ දෙන්නට සිදුවෙන දෙයක් තමයි වර්ණනාව. ව්‍යාපාර පසුබිමින් යම් තැනකට ඇවිත් ටේබල් එකක කතාවට වැටුනහම ඔන්න ඉතින් ඒ මහත්තයාගේ යාලුවාගේ වරුණාව සහ හොඳ ගැන එළිපිටම කියන්න අය ඉන්නවා. දේශපාලනයේදීත් මේ වගේ වර්ණනා අවස්ථා එමටයි. ගෑණු අය නම් අලුත් ඇඳුමක්, ලස්සන ගෙයක්, අලුත් කාර් එකක් ගත්ත යාලුවාව වර්ණනා කරනවා ඉරිසියාව ලාවට හිතේ තිබුණා වුණත්…

 

 

අපි කතා කරන කන්ටෙන්ට් එකේ බහුල වෙන්නේ මොනාද කියන එක අපිට අද නම් ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා අහන්නත් පුළුවන්. ඉතින් යාලුවෝ හෝ ඥාති හෝ වෘත්තීය සගයින් හෝ කා එක්ක වුණත් කයියක් ගහද්දි මොනාද අපි කියන දේවල් කියන එක ගැන අපි නැවත හිතා බැලුවොත් වටිනවා නේද? එකපාර පාඩම් බලලා, පොත් බලලා අපේ කතා බහේ කොලිටි එක වැඩිකරගන්න අමාරුයි. ක්‍රම ක්‍රමයෙන් අනවශ්‍ය දේ ගැන කතා අඩු කරලා හොඳට ආකර්ෂණීයව කතා කළොත් ඒක හැම අතින්ම අපිට වැදගත් වෙයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *