අපේ දේශපාලනයේ පිය-පුතු උරුමය

ලංකාවේ වගේම බොහෝ රටවල දේශපාලනය කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සින්නක්කරව ලියා ගන්න දෙයක්. සමහර අය මේක ලංකාවේ විතරක් වෙනවා වගේ අදහස් පළ කරාට ලෝකය දිහා බැලුවොත් එහෙම ඒ කතාව බොරු කියලා ඔබටම වැටහේවි. උදාහරණයක් විදිහට කැනඩාවේ වර්තමාන අගමැති ජස්ටින් ටෲඩෝගේ පියාත් එරට අගමැතිවරයෙක්. අපි අද මේ ලිපිය තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෑත කාලයේදී දේශපාලනයට සම්බන්ධ වුණ පියවරු සහ පුත්තු පිළිබඳව.

 

1. රත්නසිරි වික්‍රමනායක, විදුර වික්‍රමනායක 

රත්නසිරි වික්‍රමනායක කියන්නේ අපේ රටේ බිහිවෙච්ච වෙනස්ම විදිහක අගමැතිවරයෙක්. හොරණ ප්‍රදේශය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වුණු ඔහු දේශපාලනය කළේ ඔහුටම ආවේණික අනන්‍යතාවයකට අනුව. විශේෂයෙන්ම තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ නායකයන් වුණත් වරදක් කරද්දී ඒවා විවේචනය කරන්න ඔහු දෙපාරක් හිතුවෙ නැහැ. ඔහුගේ අඩි පාරේ යමින් පාර්ලිමේන්තුවට පිවිසුණු විදුර වික්‍රමනායකත් පියා වගේම නිර්භයව අදහස් පළකරන පුද්ගලයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්.

 

2. දිමු ජයරත්න, කාංචන ජයරත්න 

මෑතකදී අපි අතරින් සමුගෙන ගිය දිමු ජයරත්න මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක්. බණ්ඩාරනායක පවුලේ ඇතැම් අය පවා පක්ෂයට ද්‍රෝහි වෙමින් පක්ෂය විනාශ කරන්නට කටයුතු කරද්දි පවා ඔහු පක්ෂය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කළා. ඇතැම් අය විවේචනය කළත් අම්බුලුවා ව්‍යාපෘතිය ඔහු අතින් සිද්ධ වුණු විශිෂ්ට මෙහෙවරක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු විසින් තමන්ගේ පුතා වුණු අනුරාධ ජයරත්නවත් දේශපාලනයට හඳුන්වා දුන්නා. අනුරාධ මේ වෙනකොට මධ්‍යම පළාත තුළ ජනප්‍රිය තරුණ නායකයෙක් බවට පත් වෙලා තියෙනවා.

 

3. සරත්චන්ද්‍ර රාජකරුණා, හර්ෂණ රාජකරුණා 

සරත්චන්ද්‍ර රාජකරුණා මහත්මයා ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නායකකාරකාදීන් පවා ඔහුට දැඩි ලෙස ගෞරව දැක්වුවා. නමුත් අවාසනාවකට වගේ එතුමාට එක්සත් ජාතික පක්ෂය ලැබූ පසු බෑමක් නිසා මන්ත්‍රී ධූරය අහිමි වුණා. ඉන් වසර කීපයකට පසුව එතුමා අපෙන් සමුගත්තා. ඉන් අනතුරුව දේශපාලන කරළියට පැමිණියේ ඔහුගේ පුත්‍රයා වුණු හර්ෂණ රාජකරුණා. තාත්තා වගේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ගෞරවය දිනා ගන්න ඔහු සමත් වෙලා තියෙනවා.

 

4. ජයලත් ජයවර්ධන, කාවින්ද ජයවර්ධන 

ජයලත් ජයවර්ධන කියන්නේ අපේ දේශපාලන ලෝකය තුළ ඉතා ආන්දෝලනාත්මක චරිතයක්. සාම ක්‍රියාවලියට ඔහු දැක්වූ දායකත්වය නිසා විවිධ චෝදනා ඔහුට එල්ල වුණා. නමුත් ඔහු බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා සම්බන්ධ වෙමින් සාර්ථක ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළා. නමුත් බලාපොරොත්තු නොවූ මොහොතක ඔහු ජීවිතයෙන් සමු ගැනීමෙන් පසුව එම දේශපාලන රික්තකය පිරවීමට ඔහුගේ පුතා වුණු  කාවින්ද ජයවර්ධන දේශපාලනයට පිවිසුණා. එක්සත් ජාතික පක්ෂය තුළ ඔහු ජනප්‍රිය නායකයෙක්.

 

5. වි.ජ.මු ලොකුබණ්ඩාර, උදිත ලොකු බණ්ඩාර 

වි.ජ.මු ලොකුබණ්ඩාර කියන්නේ අපේ දේශපාලන ලෝකයේ වෙනස්ම විදිහේ චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඌව පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණ මේ සරල ගැමියා, අවසානයේදී කථානායක ධුරය දක්වා පැමිණියා. ඉන් පසුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ඔහුට ආණ්ඩුකාර ධූරයක් පිරිනැමෙනවා. ඊට එක් හේතුවක් වූයේ ඔහුගේ පුත්‍රයා වූ උදිත ලොකුබණ්ඩාර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජය ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කිරීමයි. ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නම් උදිතට ජය ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

 

6. බර්ටි ප්‍රේමලාල් දිසානායක, දුමින්ද දිසානායක 

තමන්ට පාර්ලිමේන්තුව ජයගැනීමට ඕනෙතරම් අවස්ථාව තිබියදී පළාත් සභාවේ නැවතුණු කාර්ය ශූර දේශපාලකයෙක් විදිහට බර්ටි ප්‍රේමලාල් දිසානායකව හඳුන්වන්න පුළුවන්. ඔහු වසර ගණනාවක් උතුරු මැද පළාත් මහ ඇමැති ධුරයේ කටයුතු කළා. අවසානයේදී මහින්ද රාජපක්ෂ රජය ඔහුට එම ධූරය අහිමි කළා. කොහොම වුණත් ඔහුගේ පුතා වුණු දුමින්ද දිසානායක තම පියාට සිදු කළ දේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරේ මෛත්‍රීපාල සිරිසේනව දිනවීමට ක්‍රියා කිරීමෙන්. පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා බවටත් පත්වුණා.

 

7. මහින්ද විජේසේකර, කාංචන විජේසේකර 

මහින්ද විජේසේකර  කියන්නේ මොන පක්ෂය නියෝජනය කළත් දක්ෂ අයුරින් කටයුතු කළ අමාත්‍යවරයෙක්. ඒ බව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අවස්ථාවලදී ක්‍රියාවෙන්ම ඔහු ඔප්පු කරනු ලැබුවා. නමුත් එල්ටීටීඊ සංවිධානයේ බෝම්බ ප්‍රහාරයක් නිසා ඔහුට සිය සේවය සක්‍රීයව කර ගෙන යෑමේ හැකියාව අහිමි වුණා. ඉන්පසුව සිය පියාට මගහැරී ගිය මහජන සේවය කිරීමේ වගකීම බාර ගත්තේ ඔහුගේ පුතා වුණු කාංචන විජේසේකරයි.

 

එහෙමනම් ඉතිං වෙනදා  වගේම මේ ආටිකල් එක පිළිබඳව ඔබේ අදහස් සඳහා කමෙන්ට් සෙක්ෂන් එක විවෘත වෙලා තියෙනවා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *