යූටියුබර් කෙනෙක්ට ඕන කරන උපකරණ මේවා තමයි!

දැන් කාලේ කවුද යූටියුබර් කෙනෙක් නොවෙන්නේ කියලා අහන එක වඩා ලේසියි, යූටියුබ් එකේ ඉන්නෙ කවුද කියලා අහනවට වඩා කියලා කවුද කියනවා ඇහුණා දවසක්. දැන් වෙනකොට සෑහෙන්න යූටියුබ් එකේ වීඩියෝස් කරනවා තමයි. හැබැයි ඉතින් තාමත් එහෙම බර ගාණක් යූටියුබර්ස්ලා නෙවෙයි. හරි, ඒ කොහොම වුණත්, කවුද යූටියුබ් නොබලන්නේ කියලා ඇහුවොත් නං උත්තර හොයාගන්න අමාරු වෙයි. ඒ තරමට යූටියුබ් එක අපිට සමීපයි.

 

දැන් හිතලා බලනකොට  කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන්ටත් යූටියුබ් චැනල් එකක් පටන් ගන්න බැරිද කියලා. ඇත්තටම බැරිකමක් නෑ. විශේෂයෙන්ම තමන්ට හොඳ කොලිටි කන්ටෙන්ට් එකක් නිර්මාණය කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම යූටියුබ් චැනල් එකක් පටන් ගන්න එක බොහොම හොඳ අදහසක්. හැබැයි එහෙම අදහස තිබ්බට කොහොමද වැඩේ පටන් ගන්නේ? මොනවද ඕන කරන්නේ? ආන්න ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ නිසා, අපි හිතුවා යූටියුබර් කෙනෙක්ට අවශ්‍ය වෙන උපාංග උපකරණ ලිස්ට් එකක් හදලා බලන්න කියලා.

 

1. කැමරා

යූටියුබ් එකට වීඩියෝ කරන්න ලක්ෂ ගණන් වටින කැමරා නම් අවශ්‍ය වෙන්නේ නෑ. අපි කියන්නේ කැමරා ගන්න හැකියාවක් නැති නම් හොඳ වෙබ් කැම් එකක් වුණත්, ස්මාට්ෆෝන් කැමරා එක වුණත් ප්‍රමාණවත්.

 

හැබැයි කැමරාවක් ගන්නවා නම් වීඩියෝ බ්ලොගින් වලට ගැළපෙන හොඳ කැමරාවක් ගන්න පුළුවන්. එතනදී වැදගත් වෙන්නේ ලොකු ප්‍රමාණයේ ඉමේජ් සෙන්සරයක් තියෙන කැමරාවක් කියන එක. අවශ්‍ය නම් DSLR කැමරාවකින් වැඩේ ගොඩදාගන්න පුළුවන්. එහෙම නැතිනම් සිස්ටම් කැමරා එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ ලෙන්ස් මාරු කරන්න පුළුවන්, හැබැයි මිරර්ලස් කැමරාවක්. ඒ ඇරෙන්න ඉතින් ගෙදරින් එළියට බහින්න වෙන යූටියුබර් කෙනෙක්ට නම් ගෝප්‍රෝ එකක් එහෙමත් සෑහෙන ප්‍රයෝජනවත් වෙයි.

 

2. කම්පියුටරයක්

කම්පියුටර් එකක් ඉතින් තියෙන එක හොඳයි ප්‍රොෆෙෂනල් වීඩියෝ වැඩකටයුතු කරනකොට. ඒකට හේතුව ප්‍රොෆෙෂනල් යූටියුබ් වීඩියෝස් එඩිට් කරන්න අවශ්‍ය වෙන නිසා. එතනදී කෙනෙක් අහන්න පුළුවන් ඇයි ස්මාට්ෆෝන් එකෙන්ම ඒකත් කරගන්න බැරිද කියලා. ඇත්තම කිවුවොත් බැරි නැහැ. හොඳ කැමරා එකක් තියෙන ස්මාට්ෆෝන් එකකින් වීඩියෝ ෂූට් කරලා, ඊට පස්සේ වීඩියෝ එඩිටින් ඇප් එකකින් සංස්කරණය කරලා එහෙමම ස්මාට්ෆෝන් එකෙන්ම යූටියුබ් එකට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒකට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන වගේම ස්මාට්ෆෝන් එක හොඳ එකක් වෙන්නත් ඕන. කොහොම වුණත් එතනදී ස්මාට්ෆෝන් එකත් කම්පියුටර් එකක් විදියටනේ වැඩ කරන්නේ.

 

ඒ ඇරෙන්න ඉතින් වීඩියෝ එඩිට් කරන්න නම් හොඳ කම්පියුටර් එකක් අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වගේම ඒකේ හොඳ ග්‍රැෆික් කාඩ් එකක් තියෙන එකත් අත්‍යාවශ්‍ය වෙනවා.

 

3. එඩිටින් සොෆ්ට්වෙයාර්

ඇත්තටම පටන් ගැන්මට නම් ඉතින් ඔය ෆ්‍රී ලබාගන්න පුළුවන් වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් ටිකක් එක්ක වුණත් ගේම ගහන්න පුළුවන්. Blender, Lightworks, DaVinci Resolve, Avidemux, iMovie, VSDC Free Video Editor වගේ ෆ්‍රී වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර්ස් ගණනාවක් හොයාගන්න පුළුවන් පොඩ්ඩක් ගූග්ල් පැත්තේ ගියත්. හැබැයි ඉතින් යූටියුබ් වැඩේ ටික ටික ඇඩ්වාන්ස් වෙලා, සල්ලි හොයන පැත්තට එනකොට, වඩාත් වැඩි හැකියාවන් සහ පහසුකම් දෙන ඇඩ්වාන්ස් වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් ගැන හිතන එක හොඳයි. ඒ කියන්නේ Adobe Premiere, Final Cut Pro X, Corel VideoStudio Ultimate, Pinnacle Studio වගේ එව්වා. හොරට බාන්නත් තිබුණත්, සල්ලි දීලා ගන්න පුළුවන් නම් වැඩේ සාර්ථකයි. හැබැයි ඉතින් එහෙම ආයෝජනයක් කරන්න නම්, ඒක ගොඩ යන වැඩක් වෙන්න ඕන.

 

4. ට්‍රයිපොඩ්

මුල් කාලේ ස්මාට්ෆෝන් එක අතේ තියාගෙන, එහෙම නැතිනම් පොත් ගොඩක් උඩ තියලා පාවිච්චි කරන්න පුළුවන්. ඊලඟට කැමරාවක් ගත්තත් ඒක ගාණට සෙට් වෙන්න මේසයක් උඩ තියලා හරි කාටහරි ෂූට් කරන්න කියලා දීලා හරි වැඩේ ගොඩදාගන්න පුළුවන්. හැබැයි ඕක හැමදාම කරන්න බැහැනේ. ආන්න ඒ නිසා තමයි ප්‍රොෆෙෂනල් යූටියුබර් කෙනෙක් අනිවාර්යයෙන්ම ට්‍රයිපොඩ් එකකට ආයෝජනය කරන්නේ. ට්‍රයිපොඩ් එකේ කැමරාව ගාණට සෙට් කරලා, අවශ්‍ය දර්ශනය කැප්චර් වෙන විදියට සීරු මාරු කළාට පස්සේ ආයි කවුරුවත් ඕන නෑ අමුතුවෙන්.

 

මෙතනදී ඔය මේසයක් උඩ තියන්න පුළුවන් මිනි-ට්‍රයිපොඩ් වල ඉඳලා නියම සයිස් එකේ ප්‍රොෆෙෂනල් ට්‍රයිපොඩ් දක්වා උපකරණ පරාසයක්ම තියෙනවා තෝරාගන්න. සමහර ට්‍රයිපොඩ් වල ගිම්බල් එහෙමත් තියෙනවා. ගිම්බල් එකක් කියන්නේ හෙලවීම් අනං මනං එක්ක වීඩියෝ එක හෙලවීම අවම කරන ගැජට් එකක්. ඉතින් තමන්ට ඕන ට්‍රයිපොඩ් එක තෝරගන්න ඕන තමන්ගේ අවශ්‍යතාවය සහ බජට් එක අනුව තමයි.

 

5. ලයිට්ස්

ඇත්තටම වීඩියෝ වැඩවලදී ලයිට්ස් කියන දේ අපිට කිසිසේත්ම නොසලකා හරින්න බෑ. මුල් කාලේ ස්මාට්ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරනකොට නම් කරන්න වෙන්නේ, ආලෝකය හොඳ තැනකට ගිහින් වීඩියෝ ගන්න එක තමයි. හැබැයි වැඩේ ටිකක් දියුණු වෙනකොට හොඳ ලයිට්ස් වලට එහෙම ආයෝජනය කරන එක හොඳයි. හොඳ ලයිට්ස් තියෙනකොට වීඩියෝ එකේ එන නොයිස් එක අඩුවෙනවා සැලකිය යුතු විදියට.

 

මේ දවස් වල නම් යූටියුබ් චැනල්ස් කරන අයට වගේම ටික්ටොක් කරන අයටත් ගැලපෙන්න කියලා සෑහෙන්න විකුණන්නේ අර රින්ග් ලයිට්ස් කියන එක. ඒක බියුටි රින්ග් කියලා තමයි හැඳින්වෙන්නේ. ඒක කැමරාව වටේට හයි වෙන ලයිට් වළල්ලක් වගේ. ඒක හරි විදියට පාවිච්චි කළොත් ඒකෙන් හරිම ස්මූත්, ග්ලැමරස් ඉෆෙක්ට් එකක් ලැබෙනවා.

 

ඒ ඇරෙන්න එල්ඊඩී පැනල් ලයිට්ස් සහ සොෆ්ට් බොක්ස් එහෙමත් වීඩියෝ ප්‍රඩක්ෂන් කරනකොට වැදගත්. හැබැයි ඉතින් මේ මොන ලයිට්ස් ගත්තත්, ඒවා හරි විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියන දැනුම අවශ්‍ය වෙනවා. 

 

6. මයික්‍රෆෝන්

යූටියුබ් චැනල් එකක තියෙන්නේ ගොඩක් වෙලාවට වීඩියෝ විතරක් නෙවෙයිනේ. ඕඩියෝත් තියෙනවා. සමහර යූටියුබ් චැනල් වල වීඩියෝ නැතත් ඕඩියෝ තියෙනවා. ඉතින් ඒක නිසා හොඳ ඕඩියෝ ඉන්පුට් එකක් ගන්න හොඳ මයික්‍රෆෝන් එකක් තියෙන එක හොඳයි. ඕන නම් lapel mic නැතිනම් lavalier මයික් කියලා කියන, ක්ලිප් එකකින් ෂර්ට් එකට හයි කරලා කතාකරන්න පුළුවන් මයික් එකක් පාවිච්චි කරන්න පුලුවන්. නැත්නම් කන්ඩෙන්සර් මයික් එකක් ගත්තහමත් වැඩේ කරදරයක් නැතුව ගොඩදාගන්න පුළුවන්.

 

වැඩේ නැගලා යනකොට ටිකක් ලස්සන, ප්‍රොෆෙෂනල් කොලිටි තියෙන මයික් එහෙම තෝරගන්න පුළුවන්. ඒවෑයින් ඕඩියෝ කොලිටි එකටත් හොඳ සේවයක් ලැබෙනවා, ඒ වගේම වීඩියෝ පෙනුමටත් කොලිටියි.  

 

7. සෙටප් එකක්

ඇත්තටම සෙටප් එක කියන්නේ උපාංගයක් හෝ උපකරණයක් නෙවෙයි. ඒ වෙනුවට අපි යූටියුබ් චැනල් එකට ෂූටින්ග් කරන පසුතලය තමයි මෙතනදී සැලකෙන්නේ. හැබැයි ඒක ඉතින් යූටියුබ් චැනල් එකේ අන්තර්ගතය අනුව වෙනස් වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. උදාහරණයක් විදියට ගත්තොත්, ඔය කඩදාසි මල් හදන විදිය එහෙම කියලා දෙන යූටියුබර් කෙනෙක්ට තමන් ඉස්සරහා මේසයක් තියෙන එක තමයි පහසු. ප්‍රඩක්ට් රිවීවර් කෙනෙක්ටත් එහෙමයි. එහෙම නැතිනම් ඔය මොනවා හරි කියලා දෙන කෙනෙක්ට නම් හොඳ පසුතලයක් තියෙන්න ඕන. එතකොට ට්‍රැවල් යූටියුබර් කෙනෙක්ට ඔය මොකුත් අවශ්‍ය නෑ.

 

ඇත්තටම හොඳ පසුතලයක් සහිත සෙටප් එකක් හදාගන්න ලොකු සල්ලි අවශ්‍ය නැහැ. තමන් දෙයක් ඉදිරිපත් කරන්නේ කොතන ඉඳන්ද කියලා තීරණය කරගත්තට පස්සේ, එතන කැමරාවට අහුවෙන පසුතලය ඇහැට ප්‍රිය උපදවන විදියට හදාගන්නයි ඕන.

 

ඒ එක්කම තව දෙයක් ඉතාම පැහැදිලිව කියන්න ඕන. හොඳ උපාංග උපකරණ තියෙනවා නම් හොඳ ඕඩියෝ වීඩියෝ කොලිටි එකක් එක්ක දෙයක් යූටියුබ් එකට දාන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් තමන් නිර්මාණය කරන කන්ටෙන්ට් එක කොලිටි නැතිනම්, නිර්මාණය කරන පසුබිම කොලිටියක් නැතිනම්, තමන්ට නිර්මාණශීලීත්වයක් නැති නම් ලක්ෂ ගණන් වියදම් කරලා උපාංග උපකරණ ගත්තත් වැඩක් නෑ. හැබැයි උඩ කියපු විදියට නිර්මාණශීලීව හොඳ කොලිටියක කන්ටෙන්ට් ලබාදෙන්න පුළුවන් නම් පටන් ගැන්මට ස්මාට්ෆෝන් කැමරාවෙන් යූටියුබ් වීඩියෝ පටන් ගත්තත් කමක් නෑ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *