චිත්‍රපටි ලෝකේ හැඟීම් එක්කලා කරන ගනුදෙනුවල දී හින්දි චිත්‍රපටි කර්මාන්තේ තමයි ඉදිරියෙන් ම ඉන්නේ. ඒක සතුට සහ දුක කියන මේ දෙකට ම ඔට්ටුයි. ඒ අතරින් දුක කියන දේ අපිට දරාගන්න බැරි මට්ටමකට ළං කරවන අමුතු ම මැජික් එකක් හින්දි චිත්‍රපටවල තියෙනවා. මේ ඒ වගේ අපිව අඬවපු චිත්‍රපට ගොන්නක්.
අපව හඬවපු හින්දි චිත්‍රපට 2 වැනි කොටස මෙතනින් කියවන්න!
1. දේව්දාස්
බන්සාලිගේ විශිෂ්ටතම නිර්මාණය තමයි දේව්දාස්. එහෙම වෙන්නේ අර කියන හැඟීම් ගනුදෙනුව නිසාමයි. බොහොමයක් හින්දි චිත්‍රපටි අවසන් වෙන්නෙ හිනාවකින්. නමුත් දේව්දාස් තනිකර ම වේදනාවක්. දේව්දාස් සහ පාර්වතී කියන චරිත දෙකට ෂාරුක් ඛාන් සහ අයිෂ්වර්‍යා කියන දෙදෙනා ගත්තේ නැත්තම් සමහරවිට අපිට අර කියන හැඟීම් ගනුදෙනුව දකින්න වෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ගේ ආදරයට කුලය බාධාවක් වන හැටි සහ එය විඳවන හැටි කියාපාන හැටි හරිම අපූරුයි. අන්තිමේ තමන්ගේ ප්‍රේමියගේ මගුල් දෝලාවට දේව්දාස් කරගහනවා. තමන්ගේ ප්‍රේමවන්තයාට හිමි නොවී ඔහුගේ කරමතින් ම පාර්වතී මංගල ගමන යනවා. චිත්‍රපටිය පුරාවට දිවෙන ගීතවලත් මේ දුක් කතාව තියනවා. අපේ හැඟීම් පුපුරා යන තැන තමයි දේව්දාස් සදාකාලික නින්දට වැටෙන තැන. පාරෝ වගේ ම එතැන දී අපිත් අඬනවා. පාරෝගේ පහන නිවෙනවා.
2. තාරේ සමීන් පාර්
හින්දි සිනමාව ලව් කතාවලින් විතරක් ම අපිට කඳුළු දුන්නේ නෑ. වෙනස් ම විදියේ මානව සම්බන්ධතා එක්ක ඔවුන්ගේ සිනමාව ඉදිරියට ගියා. ගුරුවරයා – ශිෂ්‍යයා සහ දරුවා – පවුල කියන සම්බන්ධතා ගැන අතිසංවේදී කතාවක් තමයි මේ. මේකේ ඇස් දෙකට ම ඇඬෙන සීන් එක තමයි ළමයව බෝඩින් ස්කූල් එකක නතර කරලා අම්මලා ගෙදර එද්දී පසුබිමින් ‘මා’ සින්දුව යන හරිය. ඒ වගේ ම සංවේදී ගුරුවරයෙක් විදියට ආමීර් ඛාන්ගේ රංගනයේ හැම අංශුමාත්‍රයක් ම අපව හඬවන්න සමත් වුණා.
3. කල් හෝ නා හෝ
ආදරයක් නොතේරෙණම වයසක දී බැලුවත් ඇඬුණ චිත්‍රපටියක් තියේ නම් කල් හෝ නා හෝ තමයි. හිනා වෙවී අඬන්නයි, අඬ අඬා හිනා වෙන්නයි ඒක බලන අපිව අඬවන්නයි පුළුවන් ෂාරුක් ඛාන්ට විතරයි. ආදරය වෙනුවෙන් තමන්ගේ ආදරය කැප කරපු ඔහුගේ කතාව අදටත් මහා ලොකු වේදනාවක් ගෙනත් දෙන්නේ ඒක ඇත්ත ලෝකේ සිද්ධ වෙච්ච දෙයක් වගේමයි. මේ චිත්‍රපටයේ අයිකනික් සින්දුව ‘කල් හෝ නා හෝ’ සෝනු නිගම් කියන්නේ කාටවත් නෙවෙයි බලන් ඉන්න අපිටයි. ෂාරුක් එක්ක සායිෆ් සහ ප්‍රීතිගේ රංගනයෙන් හැඩ වුණ මේ චිත්‍රපටියේ අවසානය නම් දුක වැඩියි හැබැයි.
4. ෆනා
යුද්ධය සහ ත්‍රස්තවාදය කියන දේවල් භෞතිකව මිනිස්සුන්ව නැති කරවනවා තමයි. හැබැයි ඊටත් එහා මානසික විඳවිල්ලක් ඒ යුද්ධය ඉතිරි කරවනවා. ෆනා එහෙම වේදනාවක් චිත්‍රපටයකට නැගුණ අවස්ථාවක්. ආදරයක් ඇති වෙන්නේ හදවත් දෙකක විතරයි. වෙන කිසිම දෙයක් එයට බාධාවක් වෙන්නේ නෑ. හැබැයි ලෝකයා එහෙම කිව්වට ලෝකයා විසින් ම ඒක එහෙම නෙවෙයි කියලා බාධා පමුණුවනවා. රෙහාන් සහ සූනි අතර ඇති වුණේ එහෙම ආදරයක්. ඒ ආදරයේ අවසානය වේදනාවක්.
5. බොම්බේ
බොම්බේ චිත්‍රපටයත් හදවත් දෙකක් අතර ඇතිවන ආදරයකට ජාතිවාදී ගැටුම් වගේ අර්ථශුන්‍ය දේවල් මහා වේදනාවක් ගෙන දෙන විදියයි පෙන්නුම් කරේ. මෙතන දී රංගනයටත් වඩා අපව අඬවන්නේ චිත්‍රපටය පුරා දුවපු රහුමාන්ගේ සංගීතය. ‘තුහිරේ’ ගීතය අදටත් ඇහෙනකොට මහා ලොකු බරක් හිතට දැනෙනවා. මූද ළඟට වෙලා බලන් ඉන්න ශේකර්ව මැවිලා පේනවා. එතකොට අනෙක් පැත්තෙන් ශේකර්ගෙ ශයිලාව පේනවා.
6. හම් දිල් දේ චුකේ සනම්
ආදරයේ දී කවුරුත් වැරදී කියලා අපිට කියන්න පුළුවන් ද? ආදරයේ දී හැමෝම නිවැරදියි. අන්න ඒ නිසාම සමහර අයට වේදනාවත් එක්ක හැමදාම ජීවත් වෙන්න වෙනවා. සමීර්ට වුණෙත් ඒකයි. තමන්ගේ ගුරුතුමාගේ දියණිය වන නන්දනී සමඟ පෙමින් වෙළුණත් ඔහුට ඒ ප්‍රේමය පරිත්‍යාග කරන්න වුණා. නන්දනී වනරාජ් සමඟ විවාහ වුණත් සමීර් ගැන ම හිත හිතා උන්නා. අන්න ඒ නිසා වනරාජ් ඇය ව සමීර් ළඟට එක්කගෙන යනවා. නමුත් නන්දනී අන්තිමේ තමන්ගේ හදවත වනරාජ්ට දෙනවා. මේක එහෙම පේළි දෙක තුනකින් කියන්න බැරි වේදනාවක්. ඒකට ඒ චිත්‍රපටිය බලන්න ඕනි.
7. වීර් – සාරා
වීර්ට සාරාව මුණගැහෙන්නේ අහම්බෙන්. ප්‍රේමය එහෙම අහම්බයක් වෙන්න පුළුවන් අවස්ථා බොහොමයි. ඒත් වීර් – සාරා අපිට විශේෂ වන්නේ මේ අහම්බය අපිට දනවපු විදියෙනුයි. ප්‍රීති එක්ක ෂාරුක් මේ දේ කරන්නේ කල් හෝ නා හෝ එකේ දී වගේමයි. අවුරුදු ගාණක් වෙන් කරවපු දෙන්නා අවසානයේ එක් වන මොහොත සහ ඒ ආදරය අලුත් වෙන තැන කඳුළු විලයි.
Leave a Reply