තමන්ව බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරගන්න උපදෙස් කීපයක්!

දැන් අපි බ්‍රෑන්ඩ්ස් ගැන අහලා තියෙනවනේ. ඒ කියන්නේ අපි කඩේකට ගිහින් මොනව හරි ගන්නෙත් ගොඩක් දුරට හිතලා හෝ නොහිතා හෝ බ්‍රෑන්ඩ් එක ගැන හිතලා තමයි. එහෙම බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කිරීමේ ඉඳලා ඒක ප්‍රොමෝට් කිරීම දක්වා කාර්යය ඇතුළේ, ඒ සම්බන්ධයෙන් විශේෂීකරණය වුණු එක්ස්පර්ට්ලාගේ අදහස්, වැඩකටයුතු සංකීර්ණව තියෙනවා. එතකොට අපිට තේරෙන්න ඕන, බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි කියන එක.

 

එතකොට පර්සනල් බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරනකොටත් තත්වය ඒකමද? ඔව්. ඒකත් සංකීර්ණ, භාරදූර කටයුත්තක්. හැබැයි අපිට අපිවම බ්‍රෑන්ඩ් එකක් විදියට ප්‍රොමෝට් කරගන්න හිතනවා නම්, ඒකට කරන්න ඕන ආරම්භක වැඩකටයුතු ටික අපිටම කරගන්න පුලුවන්. ඇත්තටම හිතලා බලන්න ඕන කොතනින්ද පටන් ගන්නේ, මොනවද ආරම්භක පියවර වෙන්න ඕනේ කියන දේවල් තමයි. අන්න ඒ වෙනුවෙන්, අපි හිතුවා, තමන්ව බ්‍රෑන්ඩ් එකක් කරගන්න හිතන ඕනම කෙනෙක්ට වැදගත් කරුණු කීපයක් කියලා දෙන්න.

 

01. මොකක්ද බ්‍රෑන්ඩ් එක?

මුලින්ම හිතලා බලන්න ඕන කාරණාව තමයි මේක. ඇත්තටම බ්‍රෑන්ඩ් එක වෙන්න ඕන අපිද, එහෙම නැතිනම් අපි විකුණන්න හිතන දේද කියන එක. උදාහරණයක් ගමු. ඔන්න අපි පර්ෆියුම් එකක් එහෙම නැතිනම් සුවඳ විලවුන් වර්ගයක් නිර්මාණය කරනවා. දැන් අපි හිතනවා, මේක විකුණන්න ඕන කියලා. එතකොට මේක විකුණන්න ඕන අපේ නමින්ද, එහෙම නැතිනම් මේ පර්ෆියුම් එකටම විශේෂයෙන් හදපු නමකින්ද? ඒක ඇත්තටම තීරණය වෙන්නේ වෙනත් සාධක මත. උදාහරණයක් විදියට අපි කියමු, අපිව මිනිස්සු නමින් දන්නවා කියලා. ඒ කියන්නේ නළුවෙක්, නිළියක්, ගායකයෙක් වගේ කෙනෙක් කියලා. අන්න එතකොට, අලුතින්ම නිර්මාණය කරන පර්ෆියුම් නමකට වඩා, මිනිස්සු දන්නේ අපිව. එතකොට අපි තමයි බ්‍රෑන්ඩ් එක වෙන්න ඕන. අපි කියන බ්‍රෑන්ඩ් එක ඔස්සේ තමයි පර්ෆියුම් එක අලෙවි කරන්න ඕන. හැබැයි අපිට එහෙම හදාගත්තු නමක් නැති නම්, හොඳම දේ තමයි පර්ෆියුම් එක බ්‍රෑන්ඩ් එක විදියට පාවිච්චි කරන එක.

 

මෙතනදී කියන්නේ අපි තේරුම් ගන්න ඕන අපිට ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනෙද කියන එක. මොකද, බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන අපේ ලොකුකම පෙන්නන්න හරි නිකම්ම ප්‍රසිද්ධියක් ලබාගෙන සතුටු වෙන්න නෙවෙයි. ඒ වෙනුවට අපිට ඒකෙන් ආදායමක්, ආදායම් අවස්ථාවක්, හරි අන්න ඒ වගේ ප්‍රායෝගික වාසියක් තියෙන්න ඕන.

 

02. බ්‍රෑන්ඩ් එක විදියට ප්‍රොමෝට් කරන්නේ මොන ක්ෂේත්‍රයේද?

හරි, දැන් අපි කියමු කවුරුත් අපිව දන්නෙ නෑ ඒ තරම්. හැබැයි අපිට අනාගත අරමුණු සහිතව බ්‍රෑන්ඩ් එකක් වෙන්න වුවමනායි. දැන් අපි හිතලා බලන්න ඕන අපි බ්‍රැන්ඩ් එකක් විය යුත්තේ මොනවා සම්බන්ධයෙන්ද කියන එක. උදාහරණයක් විදියට, අපි කියමු ඔන්න ට්‍රැවල් ෆොටෝස්, තමන්ගේ ලස්සට සෙල්ෆීස් එහෙම දාලා, අපි ක්‍රමයෙන් ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් වල ලොකු ෆලෝවින් එකක් හදාගන්නවා. දැන් අපි තව ඉස්සරහට අපිවම බ්‍රෑන්ඩ් එකක් විදියට නිර්මාණය කරගන්න හිතලා, ඒකට වැඩ කරනවා නම්, අපි බ්‍රෑන්ඩ් එක වෙන්න ඕන මොන පැත්තෙන්ද කියලා අපිට අදහසක් තියෙන්න ඕන. එතනදී විශේෂයෙන් හිතන්න ඕන අනාගතේදී අපිට තියෙන අරමුණු ගැන. උදාහරණයක් විදියට, බ්‍රෑන්ඩ් එකක් ට්‍රැවලිනුත් කරන ගමන්, මොඩ්ලිනුත් කරන ගමන්, කෑමත් හදනවා නම්, ඒක බ්‍රෑන්ඩ් එකක් විදියට ෆේල් වෙන්න තියෙන ඉඩ වැඩියි.  මේකට ඇත්තටම කියන්නේ අපේ unique value proposition එක හොයාගන්නවා කියලා. එතනදී උදාහරණයක් විදියට, අපි බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ ට්‍රැවල් පර්සනැලිටි එකක් විදියට වෙන්න පුලුවන්. ඒක තමන් හොයාගන්න ඕන, තමන්ගේ හැකියාවන්, කැමති දේවල් සහ මාකට් එකේ ඒකට තියෙන අවස්ථාවන් එක්ක හිතලා බලලා.

 

03. බ්‍රෑන්ඩ් එකක් නම් එක්ස්පර්ට් වෙන්න ඕන

දැන් අපි අපේ unique value proposition එක හොයාගෙන, ඒකත් එක්ක ඉස්සරහට යන්න හිතනවා නම්, මුලින්ම තේරුම් ගන්න ඕන, මේක එක රැයකින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේක කැපවීමෙන් කරන්න ඕන වැඩක්. එතකොට අපි කරන්න ඕන එක දෙයක් තමයි, අපි තෝරගන්න ක්ෂේත්‍රයේ එක්ස්පර්ට් කෙනෙක් වෙන එක. උදාහරණයක් විදියට, අපි හිතමු අපි ට්‍රැවල් ඇන්ඩ් ෆුඩ් ක්‍රිටික් කෙනෙක් විදියට අපේ පර්සනල් බ්‍රෑන්ඩ් එක හදන්න හිතනවා කියලා. එතකොට අපි නිකම්ම කොහේ හරි ගිහින්, කෑමක් කාලා, ඒ කෑම එක ගැන විස්තර ටිකක් ලියලා ෆොටෝස් ටිකක් දාලා හරියන්නෙ නෑ. අපිට සූපශාස්ත්‍රය ගැන, ෆුඩ් ට්‍රෙන්ඩ්ස් ගැන ඉගෙනගන්න වෙනවා. කොටින්ම කිව්වොත්, අපිට කෑම ගැන චෙෆ් කෙනෙක්ට වගේම හොඳ දැනුමක් අවශ්‍ය වෙනවා. අන්න ඒ දැනුම ලබාගන්න වෙනවා. එහෙම කෑම බීම ගැන එක්ස්පර්ට් කෙනෙක් වුණොත් තමයි, අපිට හරියටම ෆුඩ් ක්‍රිටික් කෙනෙක් විදියට බ්‍රෑන්ඩ් එක හදාගන්න පුලුවන් වෙන්නේ. නැතිනම් අපි තව අවුරුදු පහක් ගියත් නිකම්ම නිකම් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් විතරයි.

 

04. බ්‍රෑන්ඩින් වල 3C

බ්‍රෑන්ඩින් ගැන කතා කරනකොට, 3C කියලා සංකල්පයක් තියෙනවා. Clarity, consistency, constancy. ඒ කියන්නේ, පැහැදිලි කම, සංගතභාවය සහ නියත බව. පළවෙනි එකේදී අපි තීරණය කරන්න ඕන අපි බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ මොකකින්ද කියන එක. ඒක තමයි කලින් කිව්වේ. හැබැයි එතනදී අපි බ්‍රෑන්ඩ් එකක් විදියට සුවිශේෂී වෙන්නේ කොහොමද, වෙනත් බ්‍රෑන්ඩ් එකකින් නොලැබෙන, ඒත් අපෙන් ලැබෙන දේ මොකක්ද කියන එකත් පැහැදිලිව කියන්න ඕන. ඊට පස්සේ consistency කියන්නේ බ්‍රෑන්ඩ් එකෙන් ලබාදෙන හැම දේකදීම තමන්ගේ ෆෝකස් එක වෙනස් නොකිරීම. උදාහරණයක් විදියට ගත්තොත්, අපි පර්ෆියුම් විකුණනවා නම්, ඒක විශේෂයෙන් කරන්න ඕන. එහෙම නැතුව පර්ෆියුම් විකුණන අතරෙම ටූත්පේස්ට්, ටොයිලට් ක්‍ලීනර් එහෙමත් අපේ බ්‍රෑන්ඩ් එකෙන් විකුණන්න ගියොත් වැඩේ අවුල්. අන්තිමට constancy, ඒ කියන්නේ නියත බව. එතනදී කියන්නේ මෙහෙම දෙයක්. දැන් ඔන්න අපි බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරගෙන කරගෙන යනවා. ඊට පස්සේ මාස ගාණකට අපෙන් සද්දයක්වත් නෑ. ඊට පස්සේ ආයෙමත් නින්දෙන් ඇහැරුණා වගේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් කරනවා. එහෙම හරියන්නෙ නෑ, බ්‍රෑන්ඩ් එක බොහොම ස්ථාවරයව, ස්ථායීව පවත්වාගන්න ඕන.

 

05. බ්‍රෑන්ඩ් එකෙන් දෙයක් කියන්න

අපි පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදනකොට, ඒ බ්‍රෑන්ඩ් එකෙන් කතාවක් කියවෙන්න ඕන. ඒ කියන්නේ නිකම්ම ෆේස්බුක් ලයිව් එකක් ඇවිල්ලා ‘යාලුවනේ මෙන්න මගේ නමෙන් එන අලුත්ම පර්ෆියුම් එක, මෙන්න මේක ගන්න’ කියලා කිව්වට ඒක කාටවත් දැනෙන්නේ නෑ. හැබැයි මිනිස්සුන්ට ගැඹුරට දැනෙන කතාන්තරයක් ඒ බ්‍රෑන්ඩ් එක සහ ප්‍රඩක්ට් එක වටා නිර්මාණය කරන්න පුලුවන් නම්, අන්න ඒකෙන් තමයි මිනිස්සුන්ට ප්‍රඩක්ට් එක වගේම බ්‍රෑන්ඩ් එකත් දැනෙන්නේ. එහෙම කතාවක් නිර්මාණය කරන්න අපිට ඔය ලියපු ස්ටේටස් අප්ඩේට් වගේම, වීඩියෝස් වගේ මාධ්‍යත් පාවිච්චි කරන්න පුලුවන්. ඒ කතාන්තරය බ්‍රෑන්ඩ් එකට පර්සනල් වෙන තරමට, ඒකේ බලපෑමත් වැඩියි. උදාහරණයක් විදියට, “මේ පර්ෆියුම් එක මම මගේ බ්‍රෑන්ඩ් එකෙන් කරන ප්‍රඩක්ට් එක විදියට තෝරගැනීම පිටිපස්සේ, මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අපි යාලුවෙච්ච මුල් කාලේ සල්ලි එකතුකරලා මට අරගෙන දීපු මගේ පළවෙනි සෙන්ට් එකේ මතකය තියෙනවා” කියනකොට, මිනිස්සුන්ට ඒක දැනෙනවා.

 

06. ඉන්නවා කියන එක පෙන්නන්නත් ඕන

අපි බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කළාට විතරක් වැඩක් නෑ. ඒක මිනිස්සු අතරට ගෙනියන්න ඕන. ඒකට ඉස්සරට වඩා ඉතාම පහසු ක්‍රම සහ විධි දැන් තියෙනවා ඩිජිටල් ලෝකය හරහා. ඒක පටන් ගන්න පුලුවන් සෝෂල් මීඩියා හරහා. සරලවම අපි බ්‍රෑන්ඩ් එක විදියට අපේ නමින් හදන ෆේස්බුක් පේජ් එකකට මේ බ්‍රෑන්ඩ් එක තියෙනවා කියන එක කියන්න පටන් ගන්න පුලුවන්. හැබැයි එතනින් නවතින්න බෑ. අපි ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ලින්ක්ඩ්ඉන්, ටික්ටොක් වගේ දැන් කාලේ ජනප්‍රිය සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හැම එකකින්ම අදාළ ඒවා නිර්මාණශීලී විදියට අපේ පර්සනල් බ්‍රෑන්ඩ් එක වේනුවෙන් පාවිච්චි කරන්න ඕන. ඒ වගේම, අපි බ්‍රෑන්ඩ් කරන්නේ අපිව නම්, අපේ නමින් වෙබ්සයිට් එකක් එහෙමත් තියෙන එක වටිනවා. ඊට පස්සේ අපේ නම ගූග්ල් කළහම, අපේ බ්‍රෑන්ඩ් එක පිළිබඳ තොරතුරු එන විදියට, අපේ ඩිජිටල් අඩි සලකුණු තියන්නත් ඕන. බ්ලොග්ස්, ආටිකල්ස් වගේ එව්වාත් ඒකට උදව් වෙනවා.

 

ඒ වගේම මතක තියාගන්න, නෙට්වර්කින් හරහා අපි brand awareness හදන්නත් ඕන. එතනදී තවත් අය සමග සමාජ ජාල ඔස්සේ එකතු වීම, අපේ බ්‍රෑන්ඩ් එක කැනිබලයිස් වෙන්නෙ නැති, ඒ කියන්නේ අපේ බ්‍රෑන්ඩ් එකෙන් කරන දේම කරන්නේ නැති අනික් බ්‍රෑන්ඩ්ස් එක්ක එකතු වීම වගේ සම්බන්ධතා හදාගැනීමත් මෙතනදී බොහොම වැදගත්.

 

07. ෆීඩ්බැක්

දැන් අපි බ්‍රෑන්ඩ් එකක් හැදුවට විතරක් මදි. ඒ බ්‍රෑන්ඩ් එක අපිට නම් මරු කියලා හිතෙන්න පුලුවන්. හැබැයි ඇත්තටම අනික් අයටත් මේ බ්‍රෑන්ඩ් එක මරු කියලා පේනවද? ආන්න ඒ ගැන තමයි හිතන්න ඕන. උදාහරණයක් විදියට කිව්වොත්, අපිට නොපෙනෙන අඩුපාඩුකම්, ගැටළු එහෙම බ්‍රෑන්ඩ් එක ගැන පේන්න පුලුවන් පිටින් ඉඳන් බලන අයට. අන්න ඒ නිසා, අපි ඒ අයගෙන් අදහස් උදහස්, ෆීඩ්බැක් ලබාගන්න ඕන. එතනදී අපිට පුලුවන් අපිත් එක්ක වැඩ කරන අයගෙන්, අපේ පවුලේ අයගෙන්, හිතමිත්‍රයන්ගෙන් එහෙම අදහස් උදහස් විමසන්න. අපිට සියේට සීයකට ආසන්න අපක්ෂපාතී ෆීඩ්බැක් එකක් ඕන නම්, එතනින් එහාට ගිහින් අපිව පුද්ගලිකව නොදන්න අයගෙන්, ඒ කියන්නේ මිතුරන්ගේ මිතුරන්ගෙන් වගේ එහෙම අදහස් උදහස් ලබාගන්නත් පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *