දහසකුත් මිත්‍යා මත පතුරුවා ඇති රජගල ගැන හරියට දැනගනිමු

කාලෙකට කලින් බුදු රජාණන් වහන්සේ ඉපදුණේ ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ කියලා මතයක් එහෙන් මෙ​හෙන් ඇහෙන්න ගත්තා. අද වෙන කොට මේ මතය පිස්සුවක් තරම් වර්ධනය වෙලා තියෙනවා. සමහර භික්ෂු ප්‍රතිරූපකයෝ කරන දේශනාත් මේකට එක හේතුවක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ කියලා අපි හිතනවා.ඒ අය නිතරම කතා කරන තැනක් තමයි රජගල. මේ නිසා අපි අද හිතුවා රජගල ගැන පුරාවිද්‍යාත්මක ව හොයාගෙන තියෙන දේවල් ගැන ඔබව දැනුවත් කරන්න.

 

1. රජගල විහාර සංකීර්ණයේ ආරම්භය  

රජගල විහාර​ය ආරම්භ කරල තියෙන්​නේ දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා වුණු සද්ධාතිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයා වුණු රාජ්‍ය ලජ්ජිතිස්ස කුමාරයා විසින්. මහාවංශයේ සහ දීපවංශයේ රජගල විහාර සංකීර්ණය සඳහා භාවිතා කරලා තියෙන වචනය වෙන්නේ “ගිරිකුම්භීල විහාරය”. මහා වංශයේ සඳහන් වන ආකාරයට සද්ධාතිස්ස රජතුමා අනුරාධපුරේ රජකම් කරද්දී රුහුණේ කටයුතුවලට නායකත්වය ලබා දීපු ලජ්ජතිස්ස කුමාරයා ඒ ජනතාවගේ ආර්ථික සහ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කටයුතු රාශියක් සිද්ධ කරනවා. ඒ යටතේ සිදුවන එක ක්‍රියාදාමයක් තමයි ගිරිකුම්භීල විහාරය එහෙම නැතිනම් රජගල විහාරය ගොඩ නැගීම.

“සද්ධාතිස්ස මහාරාජෙ වසන්තේ දීඝවාපියං ලජ්ජිතිස්සෝ ජෙට්ඨසුතො ගිරිකුම්භීලනාමකං”    

මහාවංශයේ සඳහන් වෙන්නෙ ඔන්න ඔය විදියට.

ලජ්ජතිස්ස කුමාරයා සද්ධාතිස්ස රජු ගෙන් පස්සේ රජ වුණු  තමන්ගේ කනිෂ්ඨ සොහොයුරා(ථුල්ලත්තන) මරලා රජ බවට පත් වෙනවා. රජ වීමෙන් පස්සෙත් ඔහු රජ ගල විහාරය අමතක කරන්නේ නෑ. මහාවංශයේ සඳහන් වන විදිහට සැට දහසක් භික්ෂූන්වහන්සේලාට ගීරිකුම්භීල විහාරයේ දී එතුමා සිවුරු පූජා කරනවා.

 

2. මහාවංසේ විතරද ලජ්ජිතිස්ස රජ්ජුරුවෝ ගැන කියන්නෙ ?

දැන් මේ ලිපිය කියවන අයට ඇතිවන ප්‍රශ්නයක් තමයි.මහාවංසයේ කියලා තියෙන දේ විතරක් අපි කොහොමද විශ්වාස කරන්නේ කියන එක. නැහැ, මහාවංශය කියන දේ සීයට සීයක් සනාථ කරන්න රජගලින් හම්බවෙන සෙල් ලිපි සමත් වෙනවා. බොහොමයක් සෙල්ලිපිවල හම්බවෙන පාඨයක් වෙන්නේ “දෙවනපිය මහරජඣහ ගමණි තිශහ පුතහ තිශ අයහ” යන්නයි.

මේ සෙල්ලිපි පාඨය කියවද්දී පැහැදිලි වෙන්නේ තිස්ස නම් රජ කෙනෙක් ගේ පුත්‍රයා වුණු තිස්ස කියල කෙනෙක්ගේ ආධාර උපකාර ලබලා මේ ලෙන් සංවර්ධනය වුණා කියන එක. මේ කියන කාලේ තමන්ගේ නමට තිස්ස කියන උප පදය යොදාගත්ත පිය පුතු දෙදෙනා වෙන්නේ සද්ධාතිස්ස සහ ලජ්ජිතිස්ස රජවරු පමණයි. 

 

3. රජගල සඳහා යෙදුණු තවත් නම් 

රජගල සඳහා වර්තමානයේ රජගල වගේම රාස්සහෙළ කිය​ලත් භාවිතා වෙනවා. නමුත් අතීතයේදී ප්‍රධාන වශයෙන් භාවිතා වෙලා තියෙන්නේ අපි කලින් සඳහන් කරපු ගිරිකුම්භීල විහාරය කියන නම. රජගල කඳුවැටිය වැතිරිලා ඉන්න කිඹුලෙකුගේ හැඩහුරුකම ගැනීම මේකට හේතුවක් වෙන්න පුළුවන් කියලා අනුමාන කරන්න පුළුවන්. ඊට අමතරව විවිධ සාහිත්‍ය මූලාශ්‍ර වල සහ සෙල්ලිපි වල කුම්භීලතිස්ස පබ්බත විහාරය, අරියාකර විහාරය, කුබිලපිතිසපවත විහාරය වගේ නම් භාවිතා කරලා තියෙනවා.

 

4. රජගල ගැන සඳහන් වන පරණ බණ කතා 

අටුවා පොත්වල රජ ගල විහාරය ගැන විවිධ කතා සඳහන් වෙනවා. මහා දත්ත නම් ස්වාමීන් වහන්සේ නමක් රුක් සෙවණක භාවනාවක යෙදී සිටියදී එක් රුක් දෙවියෙකු විසින් උන්වහන්සේ පලවා හැරීමට විවිධ උපක්‍රම යොදා තිබෙනවා. ඒ සියල්ල අසාර්ථක වූ පසුව උන් වහන්සේට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස කාරුණිකව ඉල්ලා තිබෙනවා. නමුත් තමන් වහන්සේව අමනුෂ්‍යයෙකු විසින් එලවා ගත්තා යැයි මිනිසුන් අතර කතාවක් ගොඩ නැගීමට හැකි නිසා එසේ ම උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

සද්ධර්මාලංකාරයේ එන තවත් කතාවකට අනුව රජගල විහාරයේ ගල්ලෙනක වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේ නමක් දිනපතා සතිපට්ඨාන සූත්‍රය දේශණා කරනු අසා කිරි වවුලන් 60ක් මිනිස් ආත්ම ලබා පසු ව මහ​ණව තිබෙනවා.

එසේ ම තවත් කතාවකට අනුව ධම්මා නම් තැනැත්තියක් තමන් දුකසේ උපයාගත් වැටුපින් ගත් වස්ත්‍රයක් භික්ෂූන් වහන්සේ වෙත පූජා කොට තිබෙනවා. ඒ  වස්ත්‍රය දැරූ පන්සියයක් භික්ෂූන් වහන්සේ නමවල් රහත් බවට පත් වූ බව අසා ලජ්ජිතිස්ස රජු විසින් ධම්මාට ගම්වරයක් පිරිනමා තිබෙනවා.

 

5. පසුකාලීන රජවරුන් විසින් කළ පූජා 

පළමු වන දප්පුල රජු විසින් ආරියාකර විහාරයේ පිළිම ගෙයක් කරවා ඊට ගම්වරයක් ද පිදූ බව සඳහන් වෙනවා. එසේම පළමු වන උදය රජු විසින් ආර්ය අරියාකර විහාරය ප්‍රතිසංස්කරණය කොට ලහබත් ගෙයක් ද තැනවූ බව මහාවංසය සඳහන් කරනවා. මීට අමතරව රජවරු සහ යු​ව රජවරු විවිධ අවස්ථාවලදී රජගල විහාරය වෙනුවෙන් විවිධ පූජා සිදු කොට තිබෙනවා. උදාහරණයක් ලෙස කූටකණ්ණතිස්ස රජු තමන්ගේ යුව රජු කාලයේ දී විහාරස්ථානය වෙනුවෙන් ගම් දෙකක් පූජා කොට තිබෙනවා. භාතිකාභය රජු විසින් බෝධිඝරයක් තනවා තිබෙනවා. අනුරාධපුර යුගයේ අගභාගයේ දී දෙවැනි මහින්ද රජු සමයේ ඈපා දළ්සිව නමැත්තෙක්ද ඉඩම් කීපයක් රජගල විහාරය වෙනුවෙන් පූජා කොට තිබෙනවා. 

 

6. රජගල පිහිටි මිහිඳු සෑය 

රජගල විහාරය තුළ ප්‍රධාන දාගැබ් දෙකක් පුරා විද්‍යාත්මක කැණීම් මගින් තහවුරු කොට තිබෙනවා. ඊට අමතරව කුඩා පරිමාණයේ දාගැබක් රජගල භූමිය තුළ පිහිටා තිබෙනවා. එය සාමාන්‍ය ව්‍යවහාරයේ දී මිහිඳු සෑය ලෙස හඳුන්වනු ලබනවා. ඊට හේතුව වී ඇත්තේ ඒ අසලින් හමු ව ඇති ශිලා ලිපියක “යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙර තුබෙ”  යැයි සඳහන් වීමයි. එහි තේරුම වන්නේ මෙම දිවයිනේ සමෘද්ධිය පතා වැඩම කළ ඉත්තිය තෙරුන්ගේ සහ මහින්ද තෙරුන් ගේ රූපය යන්නයි. ඇතැම් ඉතිහාසඥයන් මෙහි සඳහන් ‘ඉදිය’ යන වචනය ඍද්ධියෙන් ලෙස ද අර්ථ නිරූපණය කරනවා. මේ දාගැබ දැඩි ලෙස නිදන් හොරුන්ගෙන් හානියට පත් වූ දාගැබක්.

 

7. රජගල ගැන අපිට කරන්න පුළුවන් දේවල් 

රජගල විහාර සංකීර්ණය ලංකාවේ තියෙන සුවිශේෂම විහාර සංකීර්ණයක් කියන එකේ විවාදයක් නැහැ. මේ වෙනකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ දායකත්වයෙන් රජගල පුරාවිද්‍යාත්මක කැණීම් සිද්ධ කරලා එම විහාරස්ථානය තහවුරු කර ගැනීම සිද්ධ වෙනවා. නමුත් අවාසනාවකට වගේ අපි අර කලින් කියපු පිස්සු හැදිච්ච පිරිසක් රජගල ගැන විකාරරූපී රූපී මත සමාජගත කරන්න හදනවා. මේ හරහා සෘජුවම බුද්ධාගම විනාශ කරන සූක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැයි කියලා අපි හිතනවා. ඒ නිසා ඔබටත් හැකියාවක් තියෙනවා නම් රජගල විහාරය වෙත වන්දනා ගමනක යෙදෙන්න. එම ස්ථානයේ සේවය කරන පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් කරුණු විමසා ඔබම තීරණයකට එළඹෙන්න. රජගල ගැන තියෙන ජනකාන්ත මිත්‍යා මතවලට විරුද්ධව ඔබත් හඬ නගන්න.

 

ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේ ම ජම්බුදීපය කියන්නේ අපේ ලංකාවටයි කියන ඔබේ හය හතර නොදත් මිතුරාවවත් මේ ආර්ටිකල් එකට ටැග් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *