රසායනික පොහොර තහනම දුෂ්කර කාර්යයක් වන්නේ ඇයි?

රසායනික පොහොර තහනම මෑතකාලයේ කතාබහට ලක් වූ මාතෘකාවක්. ඒ යෝජනාව තාවකාලිකව නැවතුනත් ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නට නියමිතයි. ඉතින් කාබනික වගාව ගැන ලොකු අවධානයක් තිබුණත් කාබනික වගාවන්ට අපේ ආහාර සැපයුම සම්පූර්ණයෙන් සපයන්න පුළුවන්ද කියන එක ගැටළුවක්. විශේෂඥ මත වල විදිහට අපිට ඒවාට සම්පූර්ණයෙන්ම මාරු වෙන්න අවුරුදු පහක් දහයක් විතර ලොකු කාලයක් යනවා. ඒ වුණත් අපි ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නට වෙනවා.

 

 

1. ආර්ථික බෝග වගාව

පෝර තහනම එළවළු, පළතුරු සහ ධාන්‍ය වලට බල පැවැත්වුනොත් ඒ අවාසි සහ බලපෑම් එල්ල වෙන්නේ බොහෝවිට ලාංකිකයින්ට විතරයි. ඒත් තේ, පොල්, රබර්, කුරුඳු වගේ අපනයන බෝග වලට පොහොර නැතිවුනොත් එහි බලපෑම සෘජුවම ආර්ථිකයට බලපානවා. ඇඟළුම් සහ විදෙස් රැකියා වලින් ලොකු බලපෑමක් ආර්ථිකයට ලැබුණත් තවමත් තේ, පොල්, රබර් සහ අපනයන බෝග කියන්නේ රටට ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතින් පෝර සැපයුම නැවතුනොත් එය තේ දළු, රබර් කිරි වගේම පොල් ගෙඩි අස්වැන්නත් දීර්ඝකාලීනව අඩු වෙන්නට බලපාන්න පුළුවන්. ඒහෙම වුණොත් දැනට අමාරුවෙන් දුවන තේ කර්මාන්තය තවත් අගාධයකට යන්නත් ඉඩ තියෙනවා.

 

 

2. අපි හුරු වී ඇති ක්‍රමය

දැනට වපුරපු දින සිට වල් මර්දන තෙල් ගහන්න, බන්ඩි පෝර ගහන්න, අමතර පෝර කෘමිනාශක ආදිය යොදන්න මිනිස්සු හුරු වෙලා ඉන්නවා. එළවළුත් එහෙමයි. ගොවීන් ඒ ඒ කාලයට රසායනික පෝර එකතු කිරීමට දැන් කාලයක්, පරම්පරා ගාණක් තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ. මේ හුරු වී ඇති පුරුදු වෙනස් කරන එක අමාරු දෙයක්. තවමත් වී ගොවීන්ට පෝර වලට සහන යහමින් ලැබෙනවා. ඒ එක්ක ගොවීන් ඒ පොහොර යෙදීම කියන එක ගොවිතැනේ අනිවාර්යය අංගයක් විදිහට දැකලා ඉවරයි. ඒ තත්ත්වය කාබනික පොහොර වලට හැරවීම ලෙහෙසි නැහැ.

 

 

3. යායම හැරුනෙ නැතොත් වැඩක් වෙයිද?

කෘමිනාශක සහ පොහොර යෙදීම කියන්නේ පුළුල්ව සිදුවන දෙයක්. ඒ කියන්නේ වී නම් වපුරලා ඒ ඒ කාලෙන් පෝර සහ වල් නාශක ආදිය යෙදීම ඒ ඒ කාලයට කරන නිසා යායම එක ගාණකට ඒ දේට හුරු වෙනවා. ඒත් එක් ගොවියෙක් විතරක් හෝ ගොවීන් කීප දෙනෙක් පමණක් කාබනික වගාවන්ට යොමුවීම ප්‍රායෝගික නැහැ. යම් ගොවියෙක් යායෙන් එක කුඹුරක් විතරක් කාබනික ක්‍රමයට වගා කළත් ඔහුගේ වගාවට පෝෂණය අඩු නිසා සහ කෘමිනාශක යෙදීම අඩු නිසා ඒ වගාව බොහොම ඉක්මනින්ම රෝගවලට ගොදුරු වෙන්න ඉඩකඩ තියෙනවා. එළවළු වගාවත් එහෙමයි.

 

 

4. අවශ්‍ය කාබනික පොහොර තියෙනවද?

රසායනික පොහොර වලදී ඒ අදාළ මූලද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි විදිහට තමයි පොහොර නිපදවන්නේ. එතකොට බෝගයකට පෝර ස්වල්පයක් යෙදුවාම ඇති. රසායනික පොහොර යෙදීම පහසුයි. ඒත් කාබනික පොහොර හදන ද්‍රව්‍ය සහ ක්‍රමවේද අනුව සංයුතිය වෙනස් වෙනවා. ගොම, කුකුල් පෝර වගේ පෝර වර්ග වල හොඳ සාන්ද්‍රණයක් තියෙනවා. ඒත් කොළ පොහොර වල ඊට සාපේක්ෂව ඇතුළත් වෙන පෝෂණ සංඝටක අඩුයි. ඉතින් මේ නිසා අපිට වැඩිපුර පොහොර යොදන්නට වෙනවා. සාමාන්‍යයෙන් රසායනික පොහොර මිටි දෙක තුනකින් අක්කරයක එළවළු වගාවකට පෝර දාන්න පුළුවන්. ඒත් කාබනික පොහොර විදිහට ගොම පෝර දානවා නම් ඒ සඳහා විශාල ට්‍රැක්ටරයක් පිරෙන්නට පොහොර අවශ්‍ය වෙනවා.

 

 

5. කාබනික මිල වැඩි වීම

කාබනික වගාවන් වලින් ලැබෙන එළවළු පළතුරු ලස්සන අඩුයි. ඒ මදිවට මිලත් වැඩියි. සාමාන්‍යයෙන් දැනට වුණත් ඇත්තටම කාබනික වගාවන් වල එළවළු තරමක් මිල අධිකයි. ඉතින් දීප ව්‍යාප්තව පොහොර තහනම ආවොත් රටට අවශ්‍ය ආහාර හිඟ වෙලා මිල කොහොමත් වැඩි වෙනවා. එතකොට ඒක අපේ රටේ දුප්පත් ජනයාට සෘජුවම බලපාන ගැටළුවක් වෙනවා. ගොවීන් වුණත් තමුන්ට ඕනි හැම දේම වවාගන්නා ගොවීන් ඉන්නේ ස්වල්පයක්. පොල් වවන අය හාල් සහ එළවළු පළතුරු ගන්නේ සල්ලි වලට. ඉතින් එතකොට පොල් මිල ඉහළ ගියත් ඔවුන්ට වෙනත් අවශ්‍යතා වලට වැඩිපුර ගෙවන්න වෙන නිසා පාරිභෝගික ජනතාවට ගෙවන්නට වෙන මිල වැඩිවූ පමණින් ගොවියාට නැගිටින්න ලැබෙන්නෙත් නැහැ.

 

 

6. වැඩිදියුණු කළ බීජ සහ කෘෂි රසායන

වම්බටු, තක්කාලි විතරක් නෙමෙයි, බණ්ඩක්කා, පිපිඤ්ඤා, කරවිල, පතෝල ආදී බොහෝ එළවළු පළතුරු බීජ එන්නේ රටින්. ඒවා දෙමහුම් තාක්ෂණය ඔස්සේ වැඩිදියුණු කරලා නිසා ඉක්මනින් ඵල දරනවා වගේම වාර්තාගත අස්වැන්නක් ලැබෙනවා. වැඩිපුර අස්වනු ලැබෙද්දි අපිට රසායනික පොහොර සහ කෘෂි රසායන ඉහින්නට වෙනවා. මෘදු පෘෂ්ඨයක් තිබෙන බටු, වම්බටු වැනි බෝග ඉතා ඉක්මනින් පණුවන්ට ගොදුරු වෙනවා. මහා පරිමාණ වගාවකදි කෘෂි රසායන නැතිව වම්බටු වගා කරන්නේ කොහොමද කියන එක ගොවියාට හිතන්නට පුළුවන් මට්ටමට එහා ගිය ප්‍රශ්නයක්.

 

 

7. දැනුම බෙදා ගැනීම

දැනට ගොවිතැනට එන ලාංකිකයින් බොහෝවිට උගත් අය නෙමෙයි. විභාග අසමත් බොහෝ දෙනෙක් අවසාන තේරීම විදිහට ගොවිතැන තෝරාගන්නවා. ඔවුන් ගොවිතැන් කටයුතු වලදී උපදෙස් ගන්නේ කෘෂි රසායන අලෙවිසැල් වලින් නැතිනම් මිතුරු ගොවියෙකුගෙන්. රජය මගින් නඩත්තු කරන ගොවිජන සේවා මධ්‍යස්ථාන රැසක් තිබුණත් ඇත්ත ගොවියා සහ ඔවුන් අතර තියෙන්නේ දුරස්ථ බැඳීමක්. ඉතින් මේ තත්ත්වය යටතේ දැන් ඉන්න ගොවියාට නිසි වෙලාවට පෝර ටික නොලැබුනොත් ඔහු අන්ද මන්ද වෙනවා. ඒ තත්ත්වය පෝර හිඟවීම එක්ක පළවූ පුවත් හරහා අපිට දකින්නට තිබුණා. ඉතින් යම් පුළුල් වැඩපිළිවෙළක් ගොවීන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීම පැත්තෙන් එනතෙක් සම්පූර්ණයෙන් කාබනික වීම ප්‍රායෝගික නැහැ.

 

කෘෂි රසායන සහ බීජ වලට විශාල මුදලක් අපේ රටින් පිටරටට ඇදෙනවා. එය සත්‍යයක්. ඒත් එය වෙනස් කරන්නට එකවර තීරණ ගතහොත් ගොවිතැන් අස්වනු විතරක් නෙමෙයි ලාංකික ජනයාගේ ආහාර සම්බන්ධ ගැටළුවකුත් ඉස්සරහට එන්න පුළුවන්. ඒ නිසා පොහොර තහනමට රූපවාහිනී සහ සමාජ මාධ්‍යයෙන් වගේම ඇත්තටම ගොවීනුත් පෙළගස්වන්නට අවශ්‍ය වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *