“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියල බොහෝම පැරණි කියමනක් තියෙනවනෙ. ඕක කියල තියෙන්නේ ෆ්‍රැන්සිස් බේකන් කියන ඉංග්‍රීසි ජාතික දාර්ශනිකය. අපි ඔය එහෙට මෙහෙට කරගෙන කිව්වට ඇත්තටම කිව්වොත් කියල තියෙන්නේ “කියවීම සම්පූර්ණ මිනිසෙක් බිහිකරයි – Reading maketh a Full Man” කියලයි.
ඔය කොයි විදිහට කිව්වත් ඇත්තටම කියවීම කියන්නේ ජීවිතේට හුඟක් දේවල් එකතු කරන හොඳ පුරුද්දක්. ඇබ්බැහි උණත් නරකක් නොවෙන පුරුද්දක්. ඔන්න ඔය හේතුව නිසාම කියවන නොකියවන කොයි අම්ම තාත්තත් කැමතියි තමන්ගේ පුංචි පැටවුන්ට පොත පත කියවන්න හුරු කරවන්න. ඒ කිව්වෙ අකුරු කියවන්න පුරුදු කරන එක නෙමෙයි. පුරුද්දක් විදිහට පොත පත කියවන්න, ඒවගෙන් දැනුම ලබාගන්න හුරුකරවන්න. මේක සමහර දරුවො එක්ක ලේසි පහසු කාරණයක් උණාට සමහර දරුවො එක්කනම් යුද්ධයක් දිනන තරම් අමාරු වැඩක්. අන්න ඒ යුද්ධෙ දිනන එක පහසු කරගන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් තමයි මේ කියන්න යන්නෙ.
1. රෝල් මොඩ්ල් එකක් වෙන්න
පොත පත කියවන දෙමව්පියෝ ඉන්න එක පොඩ්ඩොන්ගෙ කියවීමට තියෙන උනන්දුව වැඩි කරන ලොකුම හේතුවක්. දරුවො අවවාද වලට වඩා පිළිපදින්නෙ ආදර්ශ. ඉතින් පුංචි කාලෙ ඉඳන්ම අම්ම තාත්ත කියවන දිහා බලන් ඉඳල ලොකුවෙන දරුවො මේ පුරුද්ද ඇතිකරගන්න තියෙන ඉඩ හුඟාක් වැඩී. අනිත් කාරණේ තමයි අළුත්ම සොයාගැනීම් අනුව ගර්හණී සමයේ අන්තිම කාලෙදි ඉඳන්ම දරුවො අම්මට පිටතින් ඇහෙන, දැනෙන දේවල් වලට සවන්දීල දේවල් ඉගෙන ගන්නව කියන එක. ඉතින් පොඩ්ඩ ඉපදෙන්නත් කලින් ඉඳන්ම අම්මටයි තාත්තටයි පුළුවන් පොඩි වෙලාවක් වෙන්කරගෙන පොත් කියවන්න.
2. පුංචිම කාලෙ ඉඳන් කියවන්න
ඊළඟ කාරණේ තමයි පොඩිම කාලෙ ඉඳන්ම අපි එයාලට ඇහෙන්න කියවන එක. ඒකට අකුරු කියවන්න පුළුවන් වෙන වයස හරි තේරුම් ගන්න පුළුවන් වෙන වයස හරි එනකම් ඉන්න ඕනෙ නෑ. එතකොට පරක්කු වැඩියි ඉතින්. යන්තම් පොඩ්ඩ ඔළුව උස්සල හිනාවෙන කාලේ ඉඳන්ම ඇහැට පේන්න පොත් තියන්න. චූටිම බබාල වෙනුවෙන් හදපු ලස්සන රෙදි පින්තූර පොත් වගේ දේවල්. පොත් කියන සංකල්පයට පොඩ්ඩ හුරුකරවන එක තමයි මේකෙන් වෙන්නෙ. බබා ටික ටික ලොකු වෙනකොට ඇහැට පේන හැම තැනකම පොත් තිබුනොතින් ඒක එයාගෙ ජීවිතේ වැදගත් දෙයක් වෙනවා නොදැනීම.
ඊළඟට බබාව ළඟින් තියාගෙන කියවන්න. ලස්සන කතන්දර පොඩ්ඩට ආස හිතෙන විදිහට හඬවල් අනුකරණය කර කර කියවන්න. කියවන අතරතුර “ඊළඟට මොකක් වෙයිද..?” වගේ ප්‍රශ්න අහල කුතුහලය ඇති කරන්න. කතා කියවන එක එපා කරපු වැඩක් නොවී පොඩ්ඩ ආසම වැඩක් වෙන්නේ එතකොටයි. කියවන අතරෙදි බබාව අම්මගෙ තාත්තගෙ ළඟට තුරුල් කරගෙන කියවන එකත් තව ට්‍රික් එකක්. ඒ ආදරේට ආස නිසාත් පොඩ්ඩො කියවන වෙලාවට කැමති වෙනව.
3. පොත පත ගැන කතා කරන්න
බබාට තේරෙන වයසට ආවම කියවන පොත් ගැන එයත් එක්ක කතා කරන්න. ප්‍රශ්න අහන්න. පවුලේ කීපදෙනෙක් ඉන්නවනම් සාකච්ඡා වටයක් තියන්න පුළුවන් කට්ටියම කියවපු පොත් ගැන. ඒව හැබෑ ජීවිතේට සම්බන්ධ කරල පාඩම් එහෙමත් කියල දෙන්න පුළුවන්. කියවන්න උනන්දු කරන්න පොඩි පොඩි තෑගි දෙන්නත් පුළුවන්. ඔක්කෝටම වඩා දරුවා කියවන දේ ගැන අම්ම තාත්ත දැනුවත් වෙන එකත් මෙතැනදි වෙනව.
4. පොත පත තෑගි දෙන්න
උපන්දිනේකට, පොඩි පොඩි ජයග්‍රහණ වලට වගේ ඕනෙම හේතුවකට පොතක් තෑගි දෙන්න පුළුවන්නෙ. පොතක් තරම් වටිනා තෑග්ගක් නැති බව කියවන්නෝ දනී තමයි ඉතින්. අම්මගෙනුයි තාත්තගෙනුයි පැටියට පුංචි ආදරණීය විශ් එකක් ලියල ආසම පොතක් තෑගි දුන්නම පොඩ්ඩ ජීවිත කාලෙම පරිස්සම් කරයි ඒක. වෙන තෑගි වලට වඩා කොච්චර වටිනවද ඉතින්.
5. ගෙදර ඇතුළේ පුංචි පොත් මුල්ලක්
ඒ විදිහට තෑගි වලට හම්බවෙන පොත් පත් තියාගන්න ගේ ඇතුළේ, එක්කෝ දරුවගෙ කාමරේ ඇතුළෙම ලස්සන පොත් මුල්ලක් හදල දෙන්න. ඒ කිව්වේ ඉඩ තියෙන විදිහට පොඩි රක්කයක් තියල, ලස්සනට පොත් අහුරල. පොඩ්ඩට විතරක් නෙමෙයි ඕනෙම කෙනෙක්ට දැක්ක ගමන් ආස හිතෙන පුංචි පොත් මුල්ලක්. එතකොට කම්මැලි හිතුනම පොඩ්ඩ ඉස්සෙල්ලම දුවන්නෙ පොත් මුල්ලට.
6. පුස්තකාලයට හුරුකරවන්න
ඔන්න තව ටිකක් ලොකු උනාම අම්මලාට පුළුවන් බබාලවත් එක්කගෙන පුස්තකාලයකට යන්න. පොඩ්ඩව පුස්තකාලයට බන්ඳන්න. මොන්ටිසෝරියේ ඉඳන්ම කරන්න පුළුවන් වැඩක් මේක. ලංකාවේ හුඟාක් නගර වල හොඳ රජයේ පුස්තකාල තියෙනව. ලයිබ්රි එක ඇතුළෙ ඉඳගෙනම කියවන්න හරි, පොත් අරන් ඇවිත් කියවන්න හරි ඕන එකක් පුළුවන්නෙ. පුස්තකාලය කියන පරිසරයට පොඩ්ඩ හුරුවුණොත් ඔන්න ගලවගන්නවනම් බොරු.
7. තෝරන්න ඉඩදෙන්න
පුළුවන් හැම වෙලාවකම පොඩ්ඩ කියවන පොත් එයාටම තෝරන්න දෙන්න. ලයිබ්රි එකට ගියත්, පොත් කඩේකට ගියත් පොත් තෝරන නිදහස තියෙන්න ඕනේ. එහෙම නැතුව දරුව කියවන්න ඕන හැම පොතම අම්ම හෝ තාත්ත තීරණය කරන්න ගියොත් නම් වැඩි කල් නොගොහින් පොත් කියවිල්ල වහක් වෙන්න පුළුවන්. අවශ්‍ය අවස්ථාවලදී විතරක් “ඒක එපා පුතේ” කියල කියන්න පුළුවන් ගාණට කන්ට්‍රෝල් එකක් තියාගෙන දරුවට නිදහස දෙන්න එයා ආස දේ තෝරගෙන කියවන්න. කොහොමටත් යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එන කාලෙ ඉඳන් දාර්ශනික පොත පත කියවන්නේ නෑ කිසිම දරුවෙක්. එයාල ආස කාටුන් කතා, සුරංගනා කතා, රහස් පරීක්ෂක කතා වගේ ඒවට තමයි. ලොකු වෙනකොට දැනුම ලබාගන්න අවශ්‍ය පොත් කියවන්න පොඩ්ඩ ඉබේම හුරුවෙයි. එතකං බලපෑම් කරන්න එපා.
8. සීමිත තාක්ෂණික මෙවලම්
ඔය කොයි දහන් ගැටේ දැම්මත් වැඩක් නැහැ දරුවො අනවශ්‍ය විදිහට තාක්ෂණයට ඇබ්බැහි උණෝතින්නම්. අළුත් ඩිජිටල් මෙවලම් වල තියෙන ලස්සන, ලේසිය නිසා ලොකු පොඩි කවුරුත් මේවට ඇබ්බැහි වෙනවා. ස්වභාවයෙන්ම අළුත් පරම්පරාව මේවට ගිජුයි. මොළේටත් හරිම ලේසියි නෙ. පොතක් කියෙව්වම වගේ පරිකල්පනයට මහන්සි වෙන්න ඕනෙ නෑ. ඉතින් මොළේ උනත් සපෝර්ට් කරන්නේ නෑ කියවන්න. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම ෆෝන්, ටැබ්, ලැප්ටොප්, ටීවී වගේ දේවල් වලින් ඈත් කරන්න පොඩි දරුවන්ව. එපාම කියනව නෙමෙයි. තාක්ෂණයත් ඉගෙන ගන්න එපැයි ඉතින්. නැත්තම් කොහොමද අද ලෝකෙ ඉස්සරහට යන්නෙ. ඒත් ඇබ්බැහි නොවී ලිමිට් එකක් තියාගත්තම ඔය කෝකටත් හොඳයි.
Leave a Reply