සැබෑ යහළුවෙක් වෙන්නේ මෙහෙමයි…

අපි හැමෝටම යාලුවෝ ඉන්නවනේ. ඒ වගේම අපි හැමෝම කාගේ හරි යාලුවෙක්නේ. ඒත් අපි ඇත්තටම ඇත්ත, හොඳ යාලුවෙක්ද? ආන්න ඒක අපි කවදාවත් අපෙන් අහලා නැති ප්‍රශ්නයක් නේ? ඇත්තටම යාලුකම කියන්නේ මොකද්ද කියන එක ගැනවත් අපි හිතන්න වද වෙලා නෑනේ. ඔන්න අපිට කවුරුහරි මුණගැහෙනවා. ඒ කෙනාට අපිත් කැමති වෙනවා. ඒ කෙනත් අපිට කැමති වෙනවා. ඉතින් අපි යාලුවෝ වෙනවා. ඔච්චරයිනේ කතාව. 

හැබැයි සැබෑ යාලුවෙක් වෙන එකත් එච්චරද? ඊට එහා හිතනන දෙයක් තියෙනවද? ඇත්තටම කෙනෙක් සැබෑ යාලුවෙක්ද එහෙම නැතිනම් මිත්‍ර ප්‍රතිරූපකයෙක්ද කියන එක තීරණය වෙන්නේ ඒ කෙනාගේ සැබෑ ගතිගුණ මත කියලා තමයි අපි හිතන්නේ. ඒ කියන්නේ ඔයාට මනුස්සයෙක් විදියට හොඳ ගතිගුණ තියෙනවා නම්, ඇත්තටම හොඳ යාලුවෙක් වෙන එක ඒ තරම් අසීරු දෙයක් නෙවෙයි.

 

1. ඇත්ත තමන් වෙන්න

අපි අවට ඉන්න ගොඩක් මිනිස්සු සෑහෙන්න දුරට රඟනවා කියල හිතිලා නැද්ද? ඒ කියන්නේ ගොඩක් දෙනෙක් නිතරම උත්සාහ කරන්නේ ඇත්තටම තමන් නොවෙන වෙනත් කෙනෙක් විදියට ඉන්න. ඒ කියන්නේ තමන්ගේ ඇත්තම ඇත්ත කිසිසේත්ම එළියට පේන්න නොදී, වෙනත් ප්‍රතිරූපයක් රඟදක්වන එක තමයි කරන්නේ. සමහර වෙලාවට අපිත් එහෙම වෙන්න පුළුවන්.

ඒත් අපිට කම්ෆර්ටබ්ල් කෙනෙක් එක්ක අපි එහෙම රංගනය කරන්නෙ නෑ නේද? ගොඩක් වෙලාවට ඒ කම්‍ෆර්ටබ්ල් කෙනා වෙන්නේ අපේ යාලුවා. මොකද, අපේ ඇත්ත කෙනා කොයි විදිය වුණත්, යාලුකම ඇතිවෙලා තියෙන්නේ ඒ ඇත්ත කෙනා එක්ක නිසා. වෙන්න ඕනත් ඒකයි. අන්න ඒ නිසා, හොඳ යාලුවෙක් වෙන්න නම් මුලින්ම තමන් ඇත්ත තමන් විදියට පවතින්න. 

 

2. අවංක වෙන්න, විශ්වාස කටයුතු වෙන්න

යාලුකමක් හොඳින් පවතින්න වගේම තමන් හොඳ යාලුවෙක් වෙන්නත් අවංක කම ගොඩක් දුරට බලපානවා. ඒ කියන්නේ තමන් යාලුවා එක්ක අවංක වීම සහ තමන් මත විශ්වාසය තියන්න පුළුවන් වීම. තවත් සරලව කිවුවොත්, අපි යාලුවාට කිසිවිටකත් බොරුවක් කියන්නෙ නෑ කියන විශ්වාසය ඉතාම වැදගත්. අපි යාලුවාට පොරොන්දුවක් දුන්නොත් ඒක අනිවා ඉෂ්ට කරනවා කියන හැඟීම බොහොම වැදගත්. අපි කවදාවත් යාලුවාට කරන්න බැරි දේවල් පොරොන්දු වෙන්නේ නෑ කියලා දැනගෙන ඉන්න එකත් ඒ වගේම වැදගත්. 

සමහර වෙලාවට මේ අවංක භාවය නිසා යාලුවෝ නැතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අවංක යාලුවෙක්ගෙන් අපිට අපි අහන්න ආස උත්තර ලැබෙන්නෙ නෑ. අපිට ලැබෙන්නේ ඇත්ත උත්තර. එතකොට ඒ ඇත්ත තිත්ත වුණොත්, ඒක දරන්න බැරි කෙනෙක් යාලුකම් අත්හරින්න පුළුවන්. කමක් නෑ. යාලුවාව තියාගන්න බොරු කියනවා වෙනුවට, යාලුවා වෙනුවෙන් ඇත්ත කියන එක වටිනවා.

 

3. ඇජෙන්ඩා තියාගන්න එපා

මෙතනදී ඇත්තටම වැදගත් වෙන්නේ අපි කෙනෙක් එක්ක යාලුවෙක් වෙන්නේ ඇයි කියන හේතුව. අපි සමහරුන්ට ආස නිසා ඒ කෙනාගේ යාලුවෙක් වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ යාලුවෙක් වුණහම අපි ආසයි එයා අපේ යාලුවා කියලා ලෝකෙට පෙන්නන්න. ඒක ඇත්ත යාලුකමක්ද? ඒක තීරණය වෙන්නේ අපි ඇත්තටම එයා එක්ක ඉන්නේ එයාගේ ලොකුකම, ප්‍රසිද්ධිය වගේ දේවල් නිසාද කියන එක මත. ඒ දේවල් නිසා අපි එයා එක්ක ඉන්නවා නම්, අපි හොඳ තියා කොහොමටවත් යාලුවෙක් නෙවෙයි. හැබැයි අපි එහෙම හේතුවකින් යාලු වුණත්, යාලුකම පවත්වා ගන්නේ ඒ කෙනාට තියෙන සැබෑ ලෙංගතුකම නිසා, කැමැත්ත නිසා නම් අන්න ඒක හොඳ යාලුකමක්. අපි ඇත්තටම එතකොට යාලුකම් පවත්වන්නේ ලෝකේ දකින ප්‍රසිද්ධ කෙනා එක්ක නෙවෙයි, එතන ඉන්න ඇත්ත මනුස්සයා එක්ක.

 

4. යූස් කරන්න එපා

මෙන්න මේක ඇත්තටම අපි කලින් කියපු කාරණාවත් එක්කත් අතිනත් බැඳගෙන යන කරුණක්. සැබෑ යාලුවෙක් තව යාලුවෙක්ව තමන්ගේ වාසියට හරි වෙන කෙනෙක්ගේ වාසියකට හරි යූස් කරන්නෙ නෑ. උදාහරණ ගමු. ඔන්න අපිට සල්ලි හදිසියක් වෙනවා. අපිට වෙන කියන්න කෙනෙක් නෑ. ඉතින් අපි අපේ යාලුවාට කතා කරනවා. ඇත්තටම ඒක යූස් කිරීමක් නෙවෙයි, විශ්වාසය මත පදනම් වෙච්ච ඉල්ලීමක්. යාලුවාට ඒ මොහොතේදී අපිට උපකාර කරන්න අමාරු තැනක හිටියත් අපි ඒක ගැටළුවක් කරගන්නෙ නෑ. හැබැයි යාලුවා ඒ වෙලාවේ එයාට දෙන්න විදියක් නැති නිසා සල්ලි දුන්නෙ නෑ කියලා අපේ හිතේ කහටක් හිටිනවා නම්, හොඳට මතක තියාගන්න අපි හොඳ යාලුවෙක් නෙවෙයි කියලා. ඒ වගේම තමයි, අපි එයත් එක්ක ඉන්නේ සල්ලි ඉල්ලාගන්න පරමාර්ථයෙන් විතරක් නම්, ඒ කියන්නෙත් අපි අවංක නියම යාලුවෙක් නෙවෙයි කියන එක.

මේක සල්ලි ගැන විතරක් නෙවෙයි අදාළ වෙන්නේ. හිතන්න අපි කෙනෙක් එක්ක යාලුකම් පවත්වන්නේ අර උඩ කියපු විදියට ඒ කෙනාගේ ප්‍රසිද්ධිය නිසා කියලා. ඒ ප්‍රසිද්ධියෙන් අපිත් කැපී පේන්න ආස නිසා කියලා. එහෙනම් අපි හොඳ යාලුවෙක් නෙවෙයි. අපි කෙනෙක් එක්ක යාලුකම් පවත්වන්නේ අපිට දුක හිතෙන වෙලාවක දුක කියන්න හොඳම කෙනා එයා නිසා නම්, හැබැයි අපිට එයා වෙනුවෙන් කවදාවත් දෙයක් කරන්න කාලයක් නැති නම්, එතනදීත් අපි හොඳ යාලුවෙක් නෙවෙයි.

 

5. ප්‍රමුඛතාවයන් හරියට හරිගස්වා ගන්න

තමන්ගේ ප්‍රමුඛතාවයන් හරියට තියාගැනීම අද කාලේ ගොඩක් දෙනෙක්ට අමාරු වැඩක්. දැන් කාලේ මිනිස්සුන්ට කොයි තරම් යාලුවෝ ඉන්නවද? ෆේස්බුක් එක ගත්තහම කෙලින්ම යාලුවෝ දාහකට එහාපැත්තේ ඉන්නවා. අපි ඒක බොහොම ආඩම්බරෙන් කියනවත් එක්ක. හැබැයි ඒ දාහම ඇත්තම ඇත්ත යාලුවොද? ඒක දැනගන්න පුළුවන් තමන්ට කරදරයක් එහෙම වුණු වෙලාවක. අපි දාන හැම පෝස්ට් එකටම හාට් රියැක්ෂන් දාන හැමෝම, මහපොළවේ උදවුවක් ඕන වුණු වෙලාවට එන්නෙ නෑ බ්‍රෝ. අන්න ඒක තමයි ඇත්ත.

ඇත්ත ඒක නම්, අපිටත් නියම යාලුවෙක් විදියට අපේ ප්‍රමුඛතාවයන් පිළිවෙලක් කරගන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට යාලුවෙක්ට කතා කරන්න, ඒ යාලුවා ගැන හොයාබලන්න වෙලාවක් නැත්නම්, ඇත්තටම එතන යාලුකමක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒත් එපා, අපිට යාලුවාට ප්‍රශ්නයක් වුණු වෙලාවක ඒ වෙනුවෙන් අපේ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට ගිහින් උදවු වෙන්න බැරි නම්, ඒක හරි යාලුකමක්ද කියන එක ප්‍රශ්නයක්.

 

6. රහස් රකින්න

මෙන්න මේක නම් සමහරුන්ට අමාරු වැඩක් වෙන්න පුළුවන්. සමහරු ආසයි ගොසිප් කතා කරන්න. සමහරු ආසයි අනික් අය ගැන විවේචනය කරන්න, සාකච්ඡා කරන්න. මෙහෙම කෙනෙක්ට තමන්ගේ හොඳම යාලුවා තමන්ට විශ්වාසය තියලා කියපු රහසක් වුණත් තව කෙනෙක්ට කියන්න හිතෙන්න පුළුවන්. එහෙමනම් ආයෙ යන්න අංක දෙකට. අවංක වීම සහ විශ්වාස කටයුතු වීම කියන්නේම යාලුවෙක්ට තමන් මත විශ්වාසය තියලා ඕනම රහසක් කියන්න පුළුවන් වීම. ඒ රහස සමාජෙට හෝ ලෝකෙට දැඩි අයහපතක් ගේන දෙයක් නෙවෙයි නම්, ඒක එළිදරවු කිරීම සාධාරණීකරණය කරන්න බෑ. 

ඒ වගේම තමන්ට හොඳම යාලුවෝ දෙන්නෙක් ඉන්නවා නම්, අපි ඒ දෙන්නට අපේ ඕනෑම දෙයක් කියනවා නම්, එක්කෙනෙක් අපිට එයාගේ රහසක් කිව්වහම ඒක අනික් යාලුවට කියන එකේ අවුලක් නැද්ද? අවුලක් තියෙනවා. රහසක් කියන්නේ රහසක්. අනික් යාලුවාට ඔයා හැමදේම කියනවා වුණත්, අනුන් ඔයා මත විශ්වාසය තියලා කියපු රහසක් කියන්න ඔයාට අයිතියක් නෑ!

 

7. යාලුවාට යහපත් උත්තේජනයක් වෙන්න

මේක ටිකක් පරිස්සමෙන් තේරුම් ගන්න ඕන දෙයක්. හැබැයි සරලව කියන්න පුළුවන් දෙයක්. අපේ හොඳ යාලුවෙක් කියන්නේ අවංකවම අපේ යහපත ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ, අපිට නරක දෙයක් කිසිවිටකත් කරන්න කියන්නේ නැති, අපි නරක දෙයක් කරන්න ගියත් අපිව වළක්වන කෙනෙක් වෙන්න ඕන. අන්න ඒක තමයි යහපත් උත්තේජනයක් කියන්නේ. අපි හැම දේකම නරක දකින නියම චව් චව් ටයිප් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි අවංකවම යාලුවාට හොඳ දෙයක් කියලා දකින දෙයක් එයා කරන්න යනකොටත් උදැල්ල දානවා නං, අපි හොඳ යාලුවෙක් නෙවෙයි.

 

ඒ වගේම තව දෙයක්: හොඳ යාලුවෙක් කවදාවත් තමන්ගේ යාලුවෙක්ව නරකට පොළඹවන්නෙ නෑ. තමන් නරක තැනක හිටියත් යාලුවාව ඒ නරක තැනට ඇදලා ගන්නෙත් නෑ. අන්න ඒකත් මතක තියාගන්න ඕන. 

 

ඉතින් මේ දේවල් ඔයාටත් තියෙනවද? ඔයත් මේ විදියේ යාලුවෙක්ද? මේ විදියේ යාලුවෙක් ඔයාටත් ඉන්නවද? ඉඳලා තියෙනවද? අපිට ඒ ගැන කියන්න, කමෙන්ට් එකකින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *