මොනවද මේ X,Y,Z පරම්පරා කියන්නේ? ඔබේ පරම්පරාව මෙතැනින් කුමක්ද?

which generation are you

“නොදකින් හැදෙන විදිය, අපේ කාලේ නම් අපි ඔහොම නෑ” වගේ කතන්දරයක් වැඩිමහල්ලෙක්ගෙන් ඇහෙනකොට අපිට හිතාගන්න පුලුවන්නේ සූදානම් වෙන්නේ ඒ කාලේ කොල්ලෝ මල් මසුරන් විදියට විනීතව හිටියේ මෙහෙමයි කියලා චේතිය පච අතාරින්න තමයි කියලා. එතකොට “අපේ කාලේ ඔය වගේ විච්චූරණ තිබ්බෙ නෑ” කියලා තොරණ හැඳින්වීමෙන් පටන් ගන්නෙත් ආන්න ඒ වගේම කලින් පරම්පරාවක ගුණ වරුණ වයන්න තමයි. ඇත්තට ඔය පරම්පරා ගැ‍ටුම කියලා හඳුන්වන සීන් එකට මේවත් අයිතියි.

ඇත්තටම මොනවද ඔය පරම්පරා? කොහොමද මේ පරම්පරා බෙදෙන්නේ? ඕන නම් ඉතින් අපිට සරලවම හඳුන්වන්න පුලුවන් අපේ පරම්පරාව, අපේ තාත්තලගේ පරම්පරාව, අපේ සීයලගේ පරම්පරාව කියලා. ඔය ජපානේ වගේ ආසියානු රටවල සහ සමහර යුරෝපීය රටවලත් මේ පරම්පරා බෙදා දක්වන තමන්ගේම විධි තියෙනවා. හැබැයි පොදුවේ බටහිර රටවල පරම්පරා බෙදෙන්නේ එක්ස් පරම්පරාව, වයි පරම්පරාව, සී පරම්පරාව විදියට තමයි. මේ විදියට පරම්පරා කාණ්ඩගත කරන්න ඒ අය විවිධ නිර්ණායකත් උපයෝගී කරගන්නවා, බලන්න අපි අයිති වෙන්නේ මොන පරම්පරාවටද කියලා හොයාගන්න පුලුවන්ද කියලා!

හැබැයි මතක තියාගන්න ඕන, මේ පරම්පරා පටන් ගන්න සහ අවසාන වෙන වර්ෂ පෙන්වලා තියෙන්නේ දළ වශයෙන් කියන එක. යම් යම් විදියට යම් යම් පුද්ගලයෝ උපන් වර්ෂය කුමක් වුනත් වෙනත් පරම්පරාවකට අයිති වෙන්නත් පුලුවන්!

 

1. The Silent Generation (1925 – 1945)

which generation are you

Source – pinterest.co.uk

මේ පරම්පරාවේ දරුවෝ ඉපදුනේ බටහිර රටවල මහා අවපාතය කියලා හඳුන්වපු ලෝක මට්ටමේ ආර්ථික අවපාතයක් තිබුණු කාලේ. මේ ආර්ථික අවපාතය ඇත්තටම පටන් ගත්තේ එක්සත් ජනපදයෙන්. මේ පරම්පරාවේ දරුවෝ ඉපදුනේම බොහොම අසීරු, දුෂ්කර ජීවිතයකට. බොහොම අසීරුවෙන් ජීවිතය පවත්වාගෙන යන්න පුහුණුවක් තිබීම මේ පරම්පරාවෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වුණු දෙයක්. හැබැයි මේ පරම්පරාව “නිහඬ පරම්පරාව” කියලා හඳුන්වන්නේ මේ අය පරම්පරාවක් විදියට බොහොම නිහඬ වුණු නිසා. විශේෂයෙන්ම විරෝධතා දැක්වීම් විතරක් නෙවෙයි, විශේෂයෙන් අදහස් දැක්වීම් පවා මේ පරම්පරාවේ දකින්නට ලැබුණේ නැහැ.

මේ නිහඬ පරම්පරාවේ දරුවන් බොහෝම විටක සාම්ප්‍රදායිකවාදීන් වුනා. සම්ප්‍රදායට ගරු කරන මේ අය බොහොම වෙහෙස මහන්සියෙන්, දැඩි කැපවීමෙන් වැඩ කරන්නන්. ඒ වගේම මේ අය තමන්ගේ රටවල තියෙන අධිකාරී බලයන්ට ගරු කරන, බොහොම පක්ෂපාතී සහ ලෙන්ගතු සේවකයින් විදියටත් දක්වන්න පුලුවන්. හැබැයි තාක්ෂණය එක්ක ලොකු දැනුමක් නම් මේ අයට තියෙන්න විදියක් නැහැ.

 

2. Baby Boomer Generation (1946 – 1964)

which generation are you

Source – bioedge.org

මහා ආර්ථික අවපාතයෙන් සහ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ එක පාරටම විශාල ජනගහණයක් ඇති කරපු පරම්පරාව තමයි මේ බේබි බූමර්ස් කියන්නේ. මේ අය තමන්ගේ දෙමාපියන් වගේ නෙවෙයි. මේ අය හැදී වැඩුනේ වඩාත් ස්වාධීනව. ඒ වගේම තමන්ගේ දෙමාපියන් වගේ සකසුරුවම් කම් නැති, ලෝස් නැතුව වියදම් කරන්න හුරුවුණු පරම්පරාවක් විදියටත් මේ අය ප්‍රසිද්ධයි. මේ අයගේ පරම්පරාවේදී ලෝකේ වඩාත් සමෘද්ධිමත් වීමත් ඒකට හේතුවක්. මේ අය දෙමාපියන්ට වඩා විවෘතව අදහස් පළ කරන අය වුනා. උදාහරණයක් විදියට සිවිල් අයිතිවාසිකම් වලට පක්ෂව වගේම වියට්නාම යුද්ධයට විරුද්ධවත් මේ පරම්පරාවෙන් මහා හඬක් නැඟුනා.

බේබි බූමර්ස් පරම්පරාවේ දරුවනුත් වැඩ කරන්න ගියහම බොහොම වැඩටම ඇලුණු, ඒත් ස්වාධීන, ඉලක්කයන් හඹා යන්නට හුරු වුණු. තරගකාරී පිරිසක් කියන්න පුලුවන්.

 

3. Generation X (1965 – 1979)

which generation are you

Source – vanityfair.com

ජෙනරේෂන් එක්ස් කියන්නේ සාමාන්‍යයෙන් සෑහෙන්න කථාබහේදී අහන්නට ලැබෙන පරම්පරාවක්. විශේෂයෙන්ම සාම්ප්‍රදායික සමාජය සහ සමාජ හරයන් වෙනස් වෙමින් තිබුණු යුගයක ඉපදුණු මේ දරුවෝ ගොඩක් වෙලාවට හැදී වැඩුනේ කලින් පරම්පරාවන්ට සාපේක්ෂව අඩු වැඩිහිටි අවධානයක් මැද්දේ. මේ අය තාක්ෂණය සහ සංස්කෘතිය අතර බැඳීම වඩාත් හොඳින් අත්දැකපු පරම්පරාව කියන්න පුලුවන්. උදාහරණයක් විදියට කිවුවොත් බටහිර රටවල හිටපු ජෙනරේෂන් එක්ස් අය තමයි මුලින්ම එම්.ටී.වී සහ මියුසික් වීඩියෝස් එක්ක හැදී වැඩුනේ. ඒ වගේම ඔය ග්‍රන්ජ් වගේ විකල්ප රොක් සංගීත ෂානර වලට වගකියන්න ඕනැත් එක්ස් පරපුර තමයි.

බොහොම වෙලාවට අම්මා සහ තාත්තා දෙන්නම ‍රැකියා කරන පසුබිමක ඉපදුණු එක්ස් පරම්පරාවේ දරුවන්ගේ දෙමාපියෝ වැඩි වැඩියෙන් දික්කසාද වෙන්නත් නැඹුරුවක් තිබුණා. කොහොම වුනත් ජෙනරේෂන් එක්ස් කියන්නේ බොහොම ස්වාධීන, උපාය දක්ෂ, අනුන්ගේ උදවුවක් අවශ්‍ය නොවෙන පිරිසක්. මේ අය ‍රැකියා කරනකොට වුනත් තමන්ගේ වගකීමත්, පුද්ගලික නිදහසත් ඉහළින්ම සැලකුවා. හැබැයි මේ අය තමන්ට ඉහළින් තියෙන අධිකාරීන්ට, ‍රැකියාවේ බොස්ලාට වැඳගෙන හිටපු පරම්පරාවක් නෙවෙයි. තමන් වැඩකරනකොට ඉතාම සුළු දෙයක් වුනත් බොස්ලා හසුරුවන්න එනවට මේ අය කැමති වුනේ නෑ.

 

4. Xennials (1975 – 1985)

which generation are you

Source – riveting.fm

මේ අය ඇත්තටම ප්‍රධාන පරම්පරා දෙකක මැද්දේ ඉපදුණු සුළු පරම්පරාවක් කියන්න පුලුවන්. මේ අය එක්ස් පරම්පරාව සහ වයි පරම්පරාව අතර ඉපදුණු අය. එහෙම වුනත් මේ අයගේ ගති ලක්ෂණයන් වඩාත්ම කිට්‍ටු වුනේ එක්ස් පරම්පරාවට තමයි. හැබැයි එක්ස් පරම්පරාවට වඩා මේ අය තාක්ෂණයට අනුහුරු වුනා කියලා කියන්නත් පුලුවන්. මේ අය තමයි ලෑන්ඩ්ලයින් ෆෝන් වලින් මල් කඩපු උදවිය!

 

5. Generation Y (1980 – 1994)

which generation are you

Source – expeditelearning.co.uk

මේක බොහොම වැදගත් පරම්පරාවක්. එහෙම කියන්නේ වර්තමානයේ ඉන්න වැඩිහිටි තරුණ පරම්පරාව සමන්විත වෙන්නේ මේ ජෙනෙරේෂන් වයි හෙවත් මිලේනියල්ස්ලා හෙවත් සහශ්‍රකයේ දරුවන්ගෙන් නිසා. මේ දරුවෝ ඉපදෙන කොට බොහෝමයක් විට ගෙදර ටීවී එකක් තිබුණා. ඉක්මනටම මේ දරුවන්ගේ ගෙවල් වලට පරිගණක සහ අන්තර්ජාලය ආවා. ඒ වගේම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වගේ පරිසර ගැටළු ගැන වඩාත් අවධානයක් යොමුවෙන්න පටන් ගත්තා. ඇත්තටම මේ පොත් පත් වලින් දැනුම හොයපු පරම්පරාවක් සහ තාක්ෂණයෙන්ම දැනුම හොයන පරම්පරාවක් අතර මැද තියෙන ප්‍රධාන පරම්පරාව. ඒ නිසාම මේ වයි පරම්පරාවේ දරුවෝ පොත් පත් එක්ක හැදී වැඩුනා වගේම, තාක්ෂණය එක්කත් හොඳ සම්බන්ධතාවයක් එක්ක තමයි උස්මහත් වුණේ. ඔය ‘කුරුම්බැට්ටි මැෂින් කරකවපු සුන්දර ළමා කාලයක් තිබුණු අන්තිම පරම්පරාව අපි නේද යාලුවනේ’ කියලා ස්මාට්ෆෝන් එකකින්, කම්පියුටර් එකකින් සෝෂල් මීඩියා වල පෝස්ට් දාන්නේ මේ පරම්පරාව තමයි.

‍රැකියා කරනකොට වුනත් මේ වයි පරම්පරාව වඩාත් හොඳින් තාක්ෂණයත් එක්ක අනුහුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ස්මාට්ෆෝන්, ලැප්ටොප් සහ අනෙක් ගැජට් බැජට් එක්ක හොඳින් වැඩ කරන්න වගේම, ඒවලින් ලැබෙන සහාය අගය කරන්නත් මේ අයට පුලුවන්. හැබැයි හැබැවින් සිද්ධ වෙන සමාජ සම්බන්ධතා අඩුවෙලා, සයිබර් සමාජ සම්බන්ධතා වලට යොමු වුණු පළමු පරම්පරාවත් මේ අය තමයි. මේ පරම්පරාවේ අයත් බොහොම ස්වාධීනයි. ඒ වගේම සාම්ප්‍රදායික අට-පහ ‍රැකියා වෙනස් කරන්න උත්සාහ ගන්නෙත් මේ පරම්පරාව තමයි.

 

6. Gen Z (1995 – 2012)

which generation are you

Source – mccrindle.com.au

තාමත් කුඩාම දරුවන්, පාසැල් යන දරුවන් සහ නව යෞවනයින් අයිති වෙන්නේ මේ ජෙනරේෂන් සී, Gen Z නැතිනම් iGen කියලා හඳුන්වන පරම්පරාවට තමයි. මේ පරම්පරාවේ වඩාත්ම වයස දරුවෝ මේ වෙනකොට එක්කෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්න ආසන්න වෙලා ඉන්නවා. එහෙම නැතිනම් අලුතෙන්ම ‍රැකියා කරන්න පටන් අරගෙන ඉන්නවා. සී පරම්පරාවේ දරුවෝ විවිධ සංස්කෘතීන්, විවිධ ලිංගික නැඹුරුතා, විවිධ ජාතීන් තිබීම ගැන ප්‍රශ්නයක් නැතිව ඉන්න පුරුදු වෙලා ඉන්නවා කියන්න පුලුවන්. හැබැයි මේ පරම්පරාවේම සුළුතරයක් -විශේෂයෙන්ම ලංකාව වගේ රටක- අතීතයේ සිද්ධ වුණු වාර්ගික අරගලයන් ගැන ලොකු අදහසක් නැතුව උපන්න නිසාම බොහොම පහසුවෙන් අන්තවාදී අදහස් වලට නැඹුරු කරවන්නත් පුලුවන්.

මේ පරම්පරාවේ අය අවදානම් ගන්නවට වඩා ප්‍රවේසම් සහිතව ජීවිතේ ගෙනියන්න හිතන අය. ඒ වගේම තාක්ෂණයත් එක්ක විශාල වශයෙන් සම්බන්ධ වෙලා ඉන්න මේ දරුවෝ පාසැල් කාලයේදීම ස්මාට්ෆෝන් වලට හුරුවුණු අය. එතකොට රජය, තමන්ට ඉහළින් තියෙන අධිකාරීන් ගැන කිසිම විශ්වාසයක් නැතිව ජීවත් වෙන පරම්පරාවක් වුණු මේ අයගෙන් වැඩිහරියක් “අයි හේට් පොලිටික්ස්” කියන අය.

හැබැයි මේ පරම්පරාව විශාල වශයෙන්ම අන්තර්ජාලය, ස්මාට්ෆෝන් සහ පොදුවේ තාක්ෂණය එක්ක සම්බන්ධ වෙලා හිඳීම නිසාම, මේ අය තාක්ෂණය ආශ්‍රයෙන් ලබාගන්නා විනෝදයට වැඩිබරක් දීලා තියෙන අය වෙන්න තියෙන ඉඩ වැඩියි.

 

7. Gen Alpha (2013 – 2025)

which generation are you

Source – mccrindle.com.au

මේ අලුත්ම පරම්පරාවක්. මේ අය තවමත් අතදරුවන් නැතිනම් පුංචි ළමයි. මේ අයගේ දෙමාපියන් තමයි වයි පරම්පරාවේ උදවිය නැතිනම් මිලේනියල්ස්ලා. අපිට හිතන්න පුලුවන් මේ දරුවනුත් ඊට කලින් පරම්පරාවල පරිභෝජනවාදී ජීවන රටාවන් තවත් ඉදිරියට ගෙනියන අය වෙයි කියලා. හැබැයි අනෙක් පරම්පරාවන්ට සාපේක්ෂව මේ දරුවන් තමන්ගේ දෙමාපියන්ගේ පූර්ණ අවධානය මැද්දේ හැදෙන්න වැඩෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි.

කොහොම වුනත් මේ දරුවෝ ගැන විස්තරාත්මක අදහස් පළ කරන්න දැන්ම වේලාසන වැඩියි!

 
Cover Image Source – fifteendesign.co.uk
 

Leave a Reply

Your email address will not be published.