කෝච්චියේ වැඩට යෑම කොහොමද? මතක් වෙද්දිත් පොඩ්ඩක් අප්සට් වගේ හිතුනට ඉතින් කෝච්චියේ යන අය තමුන්ගේ වාහන වලින් එන අයට සහ බස් වලින් එන අයට වඩා කලට වෙලාවට වැඩට එනවා. කෝච්චි නැතිවුනොත්, ස්ට්‍රයික් කළොත් කෝච්චියේ එන්න ලැබෙන් නැහැ. එහෙම නැති ගොඩක් දවසට කිසි අවුලක් නැතුව කෝච්චිය අපේ වැඩට යෑම්, ඊම් ක්ලියර් කරලා දෙනවා. මේ කියන්න යන්නේ ලංකාවෙ ඔෆිස් ප්‍රජාව අතර ජනප්‍රියම ලංකාවේ කෝච්චි සේවාවන් කීපයක් ගැන.
1. කැළණිවැලි ෆෑන්ස්
දුම්රියවල ගමන් කරන පිරිස අතුරින් සෑම දිනකම, සෑම දුම්රියක්ම පාහේ හොඳින් සැමන් පැක් වී යන දුම්රිය ලෙස කැළණිවැලි දුම්රිය දක්වන්න පුළුවන්. ගොඩක් දිග පෙට්ටි තියෙන කෝච්චි කැළණිවැලියේ දුවන්න බැහැ. ඒ නිසා කොටට ඩිසයින් කරපු පෙට්ටි ජාතියක් කැළණිවැලි පාරේ යනවා. වෙන පාරවල් වල වගේ සෙනග වැඩි නිසා කියලා ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන එකත් කැළණිවැලියේදී මරුවා සමග ගෙනියන සටනක්. මොකද පාර දෙපැත්තේ තියෙන පෙට්ටි ගෙවල් වල වහලවල් ෆුට් බෝඩ් ගියොත් ඇඟේ වදිනවා. කැළණිවැලි පාරෙන් මහරගම, නුගේගොඩ, නාරහේන්පිට, මරදාන, බේස්ලයින් වගේ තැන්වල ජනයා ප්‍රවාහන පහසුව සලසාගන්නවා. ඒ වගේම පාදුක්ක, අවිස්සාවේල්ල, පනාගොඩ වගේ දුර බැහැර ඉඳලාත් කැළණිවැලි පාරේ ජනයා කොළඹ වැඩට එනවා. සාපේක්ෂව තරමක් හොඳට ඇඳපැළඳගත් ඩීසන්ට් සෙට් එකක් තමයි කැළණිවැලි පාරේ වැඩට යන්නේ…
2. රාගම ගම්පහ ස්ලෝ ට්‍රේන් ෆෑන්ස්ලා
කොළඹ වැඩට එන අයට අඩුවට නවාතැන් දෙමටගොඩ සිට ගම්පහ දක්වා තියෙන දුම්රිය ස්ථාන අවටින් සොයාගන්න පුළුවන්. ඒ නිසාම රාජ්‍ය සේවයේ රාජකාරි කරන ගොඩක් අය මේ කුඩා දුම්රිය ස්ථාන අවට නවාතැන් අරගෙන ඉන්නවා. මේ අයට කොටුවට, මරදානට, දෙමටගොඩට එන්නට තියෙන්නේ ස්ලෝ කෝච්චි. ස්ලෝ එකක නැගලා වැනි වැනි එන මේ අය සමහර විට කෝච්චියේ ඉන්නවාට වඩා වැඩි වෙලාවක් කෝච්චියක් එනකල් ස්ටේශන් එකේ ඉන්නවා. දුර ඉඳන් එන දුම්රිය පිඹගෙන, මල් වට්ටි වගේ ෆුට්බෝඩ් වල සෙනග පුරවන් යද්දි මේ ජනයා හැමතැනම කොට කොට යන අපේ දුම්රිය එනකල් සෝකාකූලව ස්ටේශන් එකට වෙලා බලාගෙන ඉන්නවා.
3. බංගදෙණිය හලාවත ෆෑන්ස්ලා
රේල්වේ මගීන් එකතු වෙලා සයිබර් එකේත් සංගම් හදාගෙන තියෙනවා. ෆේස්බුක් එකේ තියෙන රජයේ දුම්රිය මගීන්ගේ නිල සමූහය කියන සමූහයේ වැඩිපුරම පෝස්ට් පළවෙන්නේ මේ හලාවත බංගදෙනිය කළාපයේ උදවියගෙන්. අනෙක් පැතිවල අය දන්නෙත් නැහැ මේ බංගේ එහෙම නැත්නම් බංගදෙණිය තියෙන්නේ කොහෙද කියලාවත්. මේන් ලයින් එක රාගමින් කැඩිලා තමයි ජා ඇල හරහා මීගමුව, හලාවත, පුත්තලම දක්වා කෝච්චි යන්නේ. මේ කළාපයේ සිටින අයට හයිවේ එකේ එනවාටත් වඩා ඉක්මනින් උදේට වැඩට එන්න ලැබෙනවා දුම්රිය නිසා.
4. සමුද්‍රදේවියන්ස්
සමුද්‍රදේවී, සාගරිකා, නයනා කුමාරි කියන්නේ සදර්න් එහෙම නැත්නම් දකුණු වෙරළබඩ පැත්තේ ඉඳලා උදේට කොළඹට එන දුම්රිය කිහිපයක්. මේ දුම්රිය දකුණු කළුතර, පානදුර වගේ තැන්වලින් නගින ජනයාගෙන් පිරී එනවා. මේ දකුණු පැත්තේ ජනයා ටිකක් සැර පරුෂයි. දුම්රියත් ඒ වගේ. කාර්යාල දුම්රිය තුළ ආධිපත්‍යය පතුරුවාගෙන, ඒ තුළ සෙල්ලම් කරමින් යන මේ අය වෙනත් අය ගැන එතරම්ම සැලකිල්ලක් නැහැය කියලා තමයි දුම්රියේ යන එන අය කියන්නේ. වෙරළබඩ කළාපයේ හුළඟ එක්ක ආවත් මේ දුම්රිය වල සෙනග පිරුණාම ඇත්තටම ඇතුළේ යන්න බොහොම අමාරුයි. දාඩියයි. ඒ නිසාමදෝ මේ දුම්රිය වලත් බොහෝවිට පාපුවරු වල සෙනග පිරිලා ඉන්නවා.
5. නුවර මහව
නුවරට බස් එකේ යනවට වඩා කලින් කෝච්චියේ යන්න පුළුවන්. ගොඩක් දුර යන හිතවතුන් මේ කැන්ඩි සහ මහව දුම්රිය වල යනවා. ඒවා ගමන් කරන දුර වැඩි නිසා පැයක් දෙකක් යන දුම්රිය ගමන් වලදී කාර්යාල සේවකයින් එකිනෙකා හොඳින් හඳුනනවා… ඔවුන් කුඩා සංගම් හදාගෙන තේ බොනවා, පාන් කනවා, කාඩ් ගහනවා, උපන්දින සමරනවා. දුම්රියේ හදිසියේ ගමනක් යන අයෙක්ටනම් මේ දුම්රිය පාටි තත්ත්වය කරදරයක් වෙන්නට පුළුවන්. ඒත් හැමදාම දුම්රියේ පැයක් දෙකක් ගතකරන අයට මේ සංගම් සිතට බොහොම සැනසීමක්…
6. රෑ කුමාරයෝ
මාතර දුම්රිය මාර්ගය වේගවත් කිරීම එක්ක පාන්දරින්ම නැගිටලා කට්ටිය දුම්රියේ කොළඹ වැඩට එන්න ගත්තා. පිරිසක් ගාල්ල මාතර ඉඳලාම. කුරුණෑගල නුවර වගේ දුර පැති වලිනුත් ඒ වගේ පාන්දරම නැගිටලා දිගු නින්දක් දාගෙන වැඩට එන අය ඉන්නවා. මාරු වීම් හදාගන්න බැරි වීම, කුඩා දරුවන් සිටීම සහ එයටම හුරු වීම නිසා එහෙම දුම්රියේ කිලෝමීටර සීයකටත් එහා දුරක් ගෙවාගෙන යන අය ඉන්නවා. මේ අය ගොඩක් වෙලාවට නිදන්න රුසියෝ. පාන්දරින් ඇහැරිලා, සුපුරුදු පරිදි ඇඳගෙන, මල්ලත් අරගෙන කෝච්චියට ආ ගමන් නිදි… ආයෙම මගදි සෙට් එක හමුවුනොත් විතරක් ටිකක් ඇහැරිලා යනවා… රුහුණු කුමාරි, සාගරිකා වගේ දුම්රිය වල එහෙම පාන්දර ගාල්ල මාතර දිහා ඉඳන් කොළඹ වැඩට එන සෙට් ඉන්නවා.
7. වීකෙන්ඩ් ස්පෙශලිස්ට්
කොළඹ කොහේ හරි කැම්පස් එකක ඉගෙනගන්න අය නැත්නම් අලුත් තැනකට වැඩට ආපු අය හැම වීකෙන්ඩ් එකකම ගෙදර යනවා. මේ ගෙදර යන වෙලාවට කදේ දාගෙන යන්න සෙට් එකක් ඉන්නවා. පොඩි මැණිකේ, යාල්දේවී, උත්තර දේවී, රුහුණු කුමාරි වගේ සීඝ්‍රගාමී දුම්රිය වලින් ගමන් පහසුව සලසාගන්නා මොවුන්ට වීකෙන්ඩ් කියලා ස්පෙශල් දුම්රිය අඩු නිසා අමාරුවෙන් තමයි යන්න වෙන්නේ. ඉතිං එක්කෙනෙක් යාන්තම් සීට් එකක් දෙකක් අල්ලාගත්තම අනික් අය මාරුවෙන් මාරුවට වාඩිවෙලා ෆන් එකේ කයියක් ගහගෙන මේ වීකෙන්ඩ් ස්පෙශල් සෙට් එක කෝච්චියේ යනවා.
දුම්රිය සේවය කියන්නේ බස් රිය වලට වඩා ටිකක් වෙනස්. නිදහස, ඉඩකඩ වැඩියි. පර්ස් එකටත් වාසියි. තව පැයට කිලෝමීටර 20කින් දුම්රියට වේගය වැඩිකරගන්න හැකි වුනොත් කොළඹ සිට බස් එකෙන් ගමන් යනවාට වඩා අඩු කාලෙකින් දුම්රියෙන් ඕනි තැනක යන්නට අපිට අවස්ථාව ලැබෙනවා. දුම්රියට මේ දේ එකතුවෙන්නට ඕනි, මේ දේ වෙනස් වන්නට ඕනි කියලා කියන්න ඕනි කෙනෙක්ට පුළුවනි. එහෙත් දුම්රිය සේවය තුළ තියෙන දේවල් එහෙම ලේසියෙන් වෙනස් කරන්න බැහැ. නිසි අයුරින් අධ්‍යයනය කරලා දුම්රිය මීට වඩා දුම්රිය මගීන්ගේ පැත්තෙන් හිතන සේවයක් වුනොත් හොඳයි. එතකොට තවත් මගීන් ගොඩකට පහසුවෙන් වැඩට යන්න දුම්රිය යොදාගන්නට පුළුවන්කම ලැබෙනවා.
Leave a Reply