සූවස් ඇලේ නැවක් හිරවීම කියන්නේ මිනිසාගේ තාක්ෂණයට, විද්‍යාවට සිදුවුණු අවමානයක් විදිහට පිරිසක් සළකනවා. ඒත් මේ ඇල හැදුවේ කවුද? මිනිස්සු. නැව් ගමනාගමනය දියුණු කරලා ටොන් ලක්ෂ දෙකක් එකපාර නැව් වලින් ගෙනියන්න තරම් විශාල නැව් හැදුවේ කවුද? මිනිස්සු. දැන් ඒ නැව හිරවුණාට පස්සේ ඒක ගන්න හදන්නේ කවුද? ඒත් මිනිස්සුම තමයි. සූවස් ඇල කියන්නේ ඉන්ද්‍රජාල නිර්මාණයක් නෙමෙයි. අප්‍රිකාව වටා යාත්‍රා කිරීමෙන් සිදුවන කාල හානිය අවබෝධ කරගත් නූතන ඉංජිනේරු පිරිස් කාලය ගත කර ඉදිකළ මහා නිමැවුමක්. ඉතින් මේ වුණු සිදුවීම යම් විදිහක අභියෝගයක් වුණාට, විද්‍යාවේ තාක්ෂණයේ හිරවීමක් කියා මේ නැව හිරවීම දකින්නට බැහැ. ඉතින් අපි මේ සිදුවීම ගැන මදක් සොයා බලමු.
1. මොකක්ද සිද්ධිය?
තායිවානයට අයිති එවර්ගිවන් කියන නැව සූවස් ඇලේ හිර වීම තමයි සිද්ධිය. සූවස් ඇල හරහා යද්දි මේ නැවට කුණාටුවකට මූණ දෙන්න වුණා. මේ වගේ ලොකු නැවකට යන්න තියෙන උපරිම වේගය ඇල තුළදී නොට් 8යි. ඒත් හිරවූ නැව නොට් 13කින් ඒ වෙලාවේ යාත්‍රා කරලා තියෙනවා. නොට් 40ක වේගයෙන් හැමූ කුණාටුව නිසා නැව ඇලේ හිර වුණා. දින කිහිපයක් තිස්සේ උත්සාහ කළා නැවේ අවහිරය නැති කරන්න. ඉතින් මේ නිසා සූවස් ඇල පාවිච්චි කරන අනිත් නැව් වලටත් ලොකු කරදරයක් වුණා. හරියට සූවස් ඇල මැද කොට පාලමක් දැම්මා වගේ මුලු ඇලම ලොක් වුණා. ඒ වගේම ඇලට දාපු නැව් ඇල ඇතුළේ හිරවුණා. දෙපස ඇල පිවිසුම ගාවත් නැව් බර ගාණක් පාක් කරලා තියන හැටි නැව් සොයාගන්නා වෙබ් අඩවි හරහා දැකගන්නට පුළුවන් වුණා. ලෝකයේ නාවුක ගමන් වලින් 12%ක අගයක් සිද්ද වෙන මේ ඇල මාර්ග වැසීම ලෝක ආර්ථිකයට බලපාන සිදුවීමක්.
2. සූවස් ඇල ඔච්චර වටිනවාද?
සූවස් ඇල හැදුවේ 1900 ගණන් වල. ඊට කලින් සූවස් ඇල නැති කාලේ ආසියාවේ ඉඳලා යුරෝපයට යාත්‍රා ගියේ අප්‍රිකාව හරහා ගිහින්. මේ අප්‍රිකාව හරහා යන්න අමතර දවස් දහයක් නොකඩවා යාත්‍රා කරන්නට ඕනි. ඒ වගේම මේ සීමාවේ දැනට මූදු මංකොල්ලකාරයෝ ඉන්නවා. තව කුණාටු ආදියත් සැරටම හමනවා අප්‍රිකාව වටෙන් යද්දි. දින දහයක් වැඩි වෙනවා කියන්නේ ඉන්ධන මිලත් නැව් ගමනට සාමාන්‍ය වියදමට වඩා දෙගුණයකට වඩා වැඩි වෙනවා. ඒ නිසා සූවස් ඇල කියන එක බොහොම වටිනවා. සූවස් ඇල තුළ විවිධ නැව් ගියාට ඇලේ හිමිකම තියෙන්නේ ඊජිප්තුවට. ඊජිප්තු රටට තියෙන මූලික ආදායම් මඟක් තමයි මේ මහා සූවස් ඇල හරහා එන ආදායම.
3. සූවස් ඇල සහ විශාල නැව්
මේ නැව මීටර හාරසීයක් දිගයි. ටොන් ලක්ෂ දෙකක බරකුත් තියෙනවා. ඒ වගේම කන්ටේනර් ධාරිතාවය අනුවත් මහ විසාල නැවක්. මේ වගේ විශාල නැවු මගින් කන්ටේනර් ප්‍රවාහනය කළාම ප්‍රවාහන වියදම අඩු වෙන නිසා සමාගම් මේ වගේ සුවිසාල නැව් වල සේවය ගන්නට කටයුතු කරනවා. ඒත් තියෙන ප්‍රශ්නය තමයි මේ නැව් මීට කලකට පෙර සාමාන්‍ය ධාවනයේ තිබු නැව් වලට වඩා දෙගුණයක් විශාල වුණාට මේ නැව් වල තාක්ෂණය තියෙන්නේ තවමත් පරණ අවධියේ. ඒ කිව්වේ නැව විශාල වුණාට, දැවැන්ත වුණාට නැවේ කෲ එක හෙවත් සේවක මණ්ඩලය ලොකු නැහැ. ඒ වගේම තාක්ෂණික අතින් නැව ඒ සයිස් නැවකට ඔබින තරම් දියුණු වෙලාත් නැහැ. ඒ කරුණුත් මේ විශාල නැව පාලනය අපහසු වන්න හේතුවුණා කියල මත පළ වුණා.
4. නැව අදින්න බැරි ඇයි?
සූවස් ඇලෙත් ඉවුරු කොටස ගැඹුර අඩුයි. මැද නැව් ගමනාගමනයට තිබෙන කොටස ගැඹුර වැඩියි. එතකොට නැව් යාත්‍රා කරද්දි මේ මැද තිබෙන ජලය වැඩි කොටස ඉලක්ක කරගෙන තමයි ධාවනය කරන්නේ. ඒත් අනතුර නිසා නැව සම්පූර්ණයෙන් හැරවුණා. දැන් නැවේ ඉදිරිපස වගේම පිටුපසත් ඇල ඉවුරේ ඉඳන් අතින් අල්ලන්න පුළුවන් මට්ටමට ඇවිත්. නැවේ පහළ ඉදිරිපස තිබෙන කොටස සාමාන්‍යයෙන් නැවේ සිට මීටර පහළොවක්, විස්සක් ගැඹුරේ තමයි තියෙන්නේ. ඒත් එවර්ගිවන්ගේ ඒ මීටර 15ක් යට තියෙන්න ඕනි පතුලත් උඩටම ඇවිත් ඒ හරිය බුල්ඩෝසරයකින් හාරන පිංතුරත් සමාජ ජාලා වල ප්‍රසිද්ධ වුණා. ඒ කියන්නේ වැඩේ තරමක් සීරියස්.
5. ලෝඩ් එක බෑවනම් හරි නේද?
ලෝඩ් එක නැවට එක එක විදිහට බලපානවා. නැවේ කොහොමත් යට වතුර පුරවගෙන යනවා නැව සමබර වෙන්න. ඊට අමතරව නැවේ විශාල දැවිතෙල් ඉන්ධන තොගයකුත් තියෙනවා. මේ ඉන්ධන තොග එලියට අරං නැව සැහැල්ලු කරගන්න, නැව මුදාගන්න කණ්ඩායම් කටයුතු කරලා තිබුණා. ඒ වගේම නැව මත තිබෙන ටොන් ලක්ෂ දෙකක බර සැහැල්ලු කරගන්න එකත් තරමක් පමා වුණා. මොකද වරාය වලින් නැවකට බඩු පටවන අනුපිළිවෙළක් තියෙනවා. බඩු බාන වරාය වලින් බඩු බාන්නේ ඒ අනුපිළිවෙළ අනුව. ඒක ටිකක් සංකීර්ණ වැඩක්. ඉතින් මගීන් නැව් කන්ටේනර් ටික බෑවත් නැවත ඒවා පිළිවෙලට සකස් කිරීම වගේම නැවත ඒ අදාළ තැන් වලට කන්ටේනර් මහා තොගය ගෙන යෑමත් විශාල අභියෝගයක් වෙනවා. ඒ වගේම වරායක් නොවන තැනකදී මේ වගේ විශාල නැවකින් කන්ටේනර් 20,000කට වැඩි තොගයක් බෑම තාක්ෂණිකවත් ලොකු අභියෝගයක් වෙනවා.
6. ගොඩගන්න ක්‍රම
මේ නැව කොහොම හරි ගැඹුරු වතුර තියෙන ඇල සීමාවට ගැනීම තමයි ඒ නැව මුදාගැනීමේ කණ්ඩායම් වල අරමුණ වුණේ. ඔවුන් ඒ සඳහා නැව ටග් යොදලා ඇද්දා. ඒත් නැව ඇල පතුලට හිටලා නිසා පතුලෙන් එන ඝර්ෂණය එක්ක නැව හැරුණේ වත් නැහැ. ඒ ගමන නැව යට තිබෙන පතුල තවත් ගැඹුර කරන්න කටයුතු යෙදුනා. ඒකටත් මේ හරියේ තිබෙන තද පාෂාණ සහිත පස යම් බාධාවක් වෙලා තිබුණා. ඒ වගේම නැවේ ඇතුළේ තිබෙන වතුර සහ ඉන්ධන නිදහස් කරන්නත් කටයුතු කරලා තිබුණා. මේ සූවස් ඇලට හයි ටයිඩ් හෙවත් ඉහළ උදම් රළ එන වෙලාවට නැව ටිකක් උඩට පැමිණිලා, ඒ අනුව හරවන්න ලැබේවිය කියලා තමයි ඒ නැව නැවත ඇලට ගන්න කණ්ඩායම් වල මතය වුණේ.
7. අභියෝග
මේ නැව හිරවුණු නිසා ලෝකයටම අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙලා. විශාල නිෂ්පාදනාගාර වල වැඩකරන මෙහෙයුම් වලට අවශ්‍ය කරන බඩු බාහිරාදිය සැපයුම් මේ නැව් හිරවීම නිසා දැඩි අභියෝගවලට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අවහිරය මගහරින්නට තවත් ඉන්ධන ලීටර දහස් ගාණක් වියදම් කරලා අප්‍රිකාව වටේ යාත්‍රා කිරීම කාලය වගේම මුදලත් වැය වෙන වැඩක්. ඉතින් මේ නැව ගොඩගැනීමේදීත් ඒ වගේ අභියෝග තියෙනවා. කාලගුණය ආයෙත් අයහපත් වුණොත් කියන සැක නැව නැවත දියත් කිරීමේදී ඒ අංශ වලට තිබුණා. ඒ වගේම නැව එසවීම, හැරවීම ආදී කාර්යයන් කරන්නේ නැවේ බරත් එක්කම නිසා නැව් බඳ ඉරිතැලීම්, පළුදු වීම් වලට ලක් වෙලා නැව බිඳෙයිද කියන බයත් තිබුණා. ඒ වගේම නැව තනිකර පොළව උඩ තියෙන නිසා නැව පෙරළීම වළක්වාගෙන මේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නත් වෙනවා.
මේ නැව මුදාගැනීම කටයුතු වගේම විකල්ප නාවුක මාර්ග ගැනත් මේ කාලයේ මත පළවෙනවා. ඊශ්‍රායලය දෙසින් මධ්‍යධරණී මුහුදට තවත් නැව් පාරක් හදන කතාවකුත් ඒ එක්ක උඩ එනවා. ඒ වගේම නැව් ගමනාගමනයේදී නාවිකයන්ගේ අතින් වැරදි වුණාද කියලා හොයන්නත් කට්ටියක් උත්සාහ කරනවා. පිරිසක් නැව හිරවෙලා තියෙද්දි අප්‍රිකාව හරහා යාත්‍රා කරලා සිය ගමන් පහසුව සලසා ගත්තා. කොහොම වුණත් කොවිඩ් නිසා හිරවෙලා තිබුණ ලෝකයට මේ නැව නිසා තවත් දැඩි බලපෑමක් වුණා.
Leave a Reply