සමපෝෂ වලින් හදන්න පුළුවන් කෑම වර්ග 7ක්

සමපෝෂ කියන්නෙ ගොඩක් ගුණදායක කෑමක් කියලා කවුරුත් දන්නවනේ. පොඩි අයට වගේම ලොකු අයත් ගොඩක් ආස සමපෝෂ, ත්‍රිපෝ​ෂ, සුපෝ​ෂ ඔය හැම නමින්ම එන්නෙ එකම විදියේ ධාන්‍ය මිශ්‍රණයක් තමයි. මේ නම් කිව්වම අපිට මතක් වෙන්නෙ අපි හැමදාම හදන අග්ගලාවනේ. ඒත් ඉතින් සමපෝෂ වලින් ඊටත් වඩා රස කෑම ගොඩක් හදාගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? හැමදාමත් ලයිෆි අපි අලුත් අලුත් දේවල් ගේන නිසා මේ සතියෙත් ඔන්න රසම රස සමපෝෂ රෙසිපි ටිකක් තමයි ගෙනාවේ.

 

1. සමපෝෂ මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රෑම් 200 සමපෝෂ පැකට් 1
  2. හාල්පිටි ග්‍රෑම් 100
  3. බටර් මේස හැඳි 2
  4. කඩල පිටි ටිකක්
  5. ලුණු
  6. මිරිස්කුඩු

 

  • මේ සියල්ලම ලා රස්නෙ වතුරෙන් අනලා අතේ නොඇලෙන පදමට ගන්න. 
  • දැන් මුරුක්කු වංගෙඩියෙන් හරි පයිපින් බෑග් එකකින් හරි  කෙලින්ම රත් වුන තෙලට වක්කරගෙන සාමාන්‍ය ගින්දරේ බැදගන්න.

 

2. සමපෝෂ කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සමපෝෂ ග්‍රෑම් 200
  2. සීනි ග්‍රෑම් 200
  3. ලුණු ස්වල්පයක් 
  4. බටර් ග්‍රෑම් 150
  5. බිත්තර 1
  6. චොක්ලට් චිප්ස්
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  8. බේකින් සෝඩා තේ හැඳි 1/4

 

  • මුලින්ම බටර් හා සීනි බීට් කරගන්න. මේකට බිත්තර​ය දාලා සීනි කැට දියවෙනකල් හොඳට බීට් කරගන්න.
  • දැන් සමපෝෂ වලට ලුණු, බේකින් පව්ඩර්, බේකින් සෝඩා එකතු කරල වෙනම බෝල් එකක මිශ්‍ර කරගන්න.
  • මේ ටික බටර් මිශ්‍රණයට දමා ලී හැන්දකින් කලවම් කරගන්න. දැන් මේ මිශ්‍රණයට චොක්ලට් චිප්ස් දාගන්න. 
  • අතේ නොඇලෙන ගාණට හදාගත්තු මේ මිශ්‍රණය තුනී කර කටර් එකකින් රවුම් කපාගන්න. බටර් ගාගත් ට්‍රේ එකක තබා සෙල්සියස් 180°ට විනාඩි 20ක් බේක් කරගන්න.

 

3. සමපෝෂ කප් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් ග්‍රෑම් 250
  2. සීනි ග්‍රෑම් 250
  3. බිත්තර 5
  4. කිරි කෝප්ප තුන් කාලක්
  5. වැනිලා
  6. බේකින් පව්ඩර් තේ හැඳි 2
  7. පාන්පිටි ග්‍රෑම් 50
  8. සමපෝෂ ග්‍රෑම් 200
  9. රටඉඳි
  10. කජු

 

  • මුලින්ම බටර් හා සීනි ක්‍රීම් වෙනකල් බීට් කරගන්න. සීනි හොඳින් දිය උනාම බිත්තර ටික කඩලා කහමද හා සුදු මද ටික වෙන් කරගෙන මේ මිශ්‍රණයට කහමද විතරක් එකතු කරන්න.
  • ඒ එක්කම වැනිලා හා කිරි එකතු කර බීට් කරගන්න.
  • සමපෝෂ වලට පාන්පිටි හා බේකින් පව්ඩර් එකතු කර වෙනම බෝල් එකක මිශ්‍ර කරගන්න.
  • බිත්තර සුදුමද ටික වෙනම බීට් කරගෙන එකතු කරගන්න. දැන් සමපෝෂ සහ පාන්පිටි මිශ්‍රණය එකතු කර ලී හැන්දකින් කලවම් කරගන්න. කජු හා කපාගත් රටඉඳි දමා කප් කේක් ට්‍රේ එකක අතුරා සෙල්සියස් 180°ට විනාඩි 20 -25ක් බේක් කරගන්න.

 

4. සමපෝෂ රොටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සමපෝෂ කෝප්ප 2
  2. පාන්පිටි කෝප්ප 1
  3. පොල්කිරි කෝප්ප 2
  4. බිත්තර 2
  5. ලුණු

 

  • ඉහත කී සියල්ලම බ්ලෙන්ඩ් කරලා උකු බැටර් එකක් හදාගන්න.
  • ගොඩාක්ම උකු වැඩි නම් වතුර ටිකක් එකතු කරලා බැටර් එක පැන්කේක් පදමට හදාගන්න. 
  • දැන් තෙල් ගාගත් නන්ස්ටික් පෑන් එකකට මිශ්‍රණයෙන් ටිකක් වක්කරලා රොටී හදාගෙන කැමති කරි එකක් එක්ක රස බලන්න. 

 

5. සමපෝෂ පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොඩි සමපෝෂ පැකට් 1
  2. ගාගත් පොල් කෝප්ප 1
  3. හාල්පිටි කෝප්ප 1
  4. ලුණු
  5. වතුර

 

  • හාල්පිටි, සමපෝෂ, ලුණු, ගාගත් පොල් ටික එකට දමා හොඳින් කලවම් කර වතුර ටික ටික ඉසිමින් කැට කරගන්න. (සාමාන්‍ය පිට්ටු හදන විදියටම) පිට්ටු බම්බුවට මේ මිශ්‍රණය දාලා පොල් පිට්ටු වගේම තම්බාගන්න.

 

 

6. සමපෝෂ මිල්ක් ශේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 2
  2. සීනි හැඳි 3
  3. සමපෝෂ මේස හැඳි 2

 

  • ඉහත සියල්ලම දමා බ්ලෙන්ඩ් කර වැනිලා අයිස්ක්‍රීම් උඩින් දමා පිළිගන්වන්න. 

 

7. සමපෝෂ කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සමපෝෂ ග්‍රෑම් 200 පැකට් 1
  2. පොල්කිරි කෝප්ප 2
  3. ඔට්ස් මේස හැඳි 2
  4. සීනි ටිකක්
  5. ලුණු

 

  • සමපෝෂ හා ඕට්ස් එකතු කරලා ඒකට ලා රස්නෙ වතුර ටිකක් දාලා හැඳි ගාන්න. දැන් මේ මිශ්‍රණය ලිපේ තියලා සීනි හා ලුණු දාලා හොඳට හැඳි ගාන්න.
  • රත්වේගෙන එනකොට පොල්කිරි දාලා හො​ඳට නටන්න දෙන්න.
  • ඊට පස්සෙ උඩින් ප්ලම්ස් හරි ආමන්ඩ් හරි ටිකක් දාලා පිළිගන්වන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *