ලංකාවේ සිනමාවේ බිහි වුණු බොහෝ තරු දිහා බලද්දී තමන්ගේ දීර්ඝ කාලීන උත්සහයෙන් හා කැපවීමෙන් සිනමාවේ තැනක් හදාගත්ත විශිෂ්ට රංගන ශිල්පීන් හා ශිල්පිනියන් වගේම සිය මා පිය උරුමයෙන් සිනමාවට පැමිණි රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ප්‍රමාණයකුත් ඉන්නවා. ඒ තොරතුරු ගොඩක් දෙනෙක් අහලත් නැතුව ඇති. සාමාන්‍යයෙන් Nepotisam කියන සංකල්පය මත රංගනයට එකතු වීම සමහරු විවේචනය කළත්, සිය පාරම්පරික හා ලේ උරුමයෙන් ඔවුන් සිනමාවට පය තිබ්බත් ඒ තරු වල රංගනයේ ගුණාත්මක බවේ නම් කිසි අඩුවක් පෙනිලා නෑ. ඇත්තටම සැබෑ දක්ෂතාවයක් නැත්නම් කිසිම ක්ෂේත්රයක ස්ථාවර ගමනක් යන්න බෑනේ. සමහර තරු තමන්ගේ සීමාව හඳුනාගෙන සිනමාවෙන් ඉවත් වෙලත් තියෙනවා. මේ ඒ වගේ අපේ ලාංකික සිනමාවට සිය මා පිය උරුමයෙන් පෑයූ අතිශය ජනප්‍රිය වුණු තරු 7කගේ තොරතුරුයි.
1. නදීකා ගුණසේකර
වරෙක ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ආචාර්ය තිස්ස අබේසේකරයන් පැවසූවේ නදීකා දුටු විට හින්දි සිනමාවේ ශබානා ආස්මී සහ බටහිර සිනමාවේ ජේන් ෆොන්ඩා තමන්ට සිහිගැන්වෙන බවයි. ඈ වඩාත්ම ප්‍රේක්ෂකයන් අතරට ගියේ “චංචල රේඛා” චිත්‍රපටයෙනුයි. බැද්දේගම, යහලු යෙහෙළි, රිදී නිම්නය, යසෝමා ආදී චිත්‍රපට වලත් ඇගේ විශිෂ්ට රඟපෑම් ඇතුලත් වුණා. “හොඳින් නැත්නම් නරකින්” චිත්‍රපටය සඳහා ඇය සරසවි හොඳම නිලිය ලෙස නිර්දේශ වූ අතර ‘චායා’ වැනි වාණිජ චිත්‍රපට සඳහා හොඳම සහය නිලිය ලෙස සම්මාන ලැබුවා. ඇගේ රංගන දිවිය ආරම්භ කළේ මවගේ අභාෂයෙනුයි. ඇගේ මව තලතා ගුණසේකරත් සිනමා නිළියක් කියලා ගොඩක් දෙනෙක් දන්නේ නෑ. තලතා ගුණසේකර මහත්මිය මුල්කාලීනව පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කර ඇති අතර ඉන්පසුව සිනමාවට එක් වී පසුව අධ්‍යක්ෂකවරියක් ලෙසත් කටයුතු කර තිබෙනවා. එතුමිය ‘සැපත සොයා’, ‘අබිරහස’, ‘පොඩි මල්ලි‘ චිත්‍රපටි වල කැපී පෙනෙන චරිත නිරූපණයක් කළා…
2. වීනා ජයකොඩි
වීනා ජයකොඩි කියන්නෙත් මවු ආභාෂයෙන් සිනමාවට පැමිණි රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසකත් සිය දක්ෂතා ප්‍රදර්ශනය කර තිබෙනවා. 1982 වසරේදී “රෑ මනමාලී” චිත්‍රපටය වෙනුවෙන් ඇයට හොඳම නිලිය ලෙස ජනාධිපති සම්මාන හිමි වුනා. ඇය සිනමා ජීවිතය කුඩා වියේදීම ආරම්භ කළේ 1954 දී ඒ. බී. රාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයේ ඇගේ මව සමඟ කුඩා දැරියකගේ චරිතය නිරූපණය කරමිනුයි. 1968 දී වයස අවුරුදු 12ක්ව තිබියදී වීනා ජයකොඩි ඇගේ මව වන රෝහිණී ජයකොඩි මහත්මිය විසින් අධ්‍යක්ෂණය කරන ලද “හැංගි හොරා” චිත්‍රපටයේ නර්තන ශිල්පිනියක් ලෙස රඟපෑවා. විශේෂයෙන්ම ඇගේ මව රෝහිණී ජයකොඩි මහත්මිය ඒ කාලේ ජනප්‍රිය නිළියක් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරියක්.
3. සබීතා පෙරේරා
ජනප්‍රිය නළු හා අධ්‍යක්ෂක ඩබ්ලිව්. ඕ. එල්. ස්ටැන්ලි පෙරේරා සහ ජනප්‍රිය නිලි ගර්ලි ගුණවර්ධනගේ දියණියන් සිව් දෙනාගෙන් තුන්වැනි දියණිය ලෙස උපත ලැබුවේ සබීතා පෙරේරායි. විශේෂත්වය තමයි ඇයට මවු පිය දෙපාර්ශවයෙන්ම සිනමාවට පිවිසීම සඳහා වරම් ලැබීම. සබීතා සිය සිනමා දිවිය ආරම්භ කළේ වයස අවුරුදු 3 දී යි. ඒ, තම පියාගේ “ඉවසන දනා” චිත්‍රපටයේ දියණියගේ චරිතය රඟපාමින්. ඉන්පසු ඇය තම මවගේ දියණිය ලෙස “හතර කේන්දරය” චිත්‍රපටයේ රඟපෑවා. යසපාලිත නානායක්කාර මහතාගේ “රෝසි” චිත්‍රපටයේ චරිතයෙන් පසුව ඇය අති සාර්ථක රංගන ශිල්පිනියක් බවට පත් වෙමින් ‘Kabhi Alvida na Kehna’ චිත්‍රපටිය (සදාකල් රැඳේවා නමින් සිංහල සිනමාවේ ප්‍රදර්ශනය කරන ලදී) සමඟ පාකිස්තාන සිනමාවේ අතිශය ජනප්‍රිය ලාංකික නිලියක් වුණා. අවසානයේ උර්දු චිත්‍රපට 17ක් සඳහාද ඇය රංගනයෙන් දායක වුණා.
4. මන්දිරා ආනන්දි
‘චණ්ඩි ශ්‍යාමා‘ කිව්වම ලංකාවේ කවුද ශ්‍යාමා ආනන්දව නොදන්නේ? ඇය ඒ තරමටම ඇගේ සැබෑ නමින්ම අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණ පෙළක රඟපාමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තා. සිය පිය උරුමයෙන් තමයි ඇයත් සිනමා ගමන ආරම්භ කළේ. ඒ ශ්‍යාමාගේ පියා එම්. එස්. ආනන්ද මහතා සමඟයි. සිංහල සිනමාවට “ශ්‍යාමා” චිත්‍රපට පෙළ හඳුන්වා දුන්නේ එම්. එස්. ආනන්ද මහතායි. විශේෂයෙන්ම ශ්‍යාමා ආනන්දගේ රංගන ජීවිතයේ සුවිශේෂී සළකුණක් වූයේ සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ “ගැහැණු ළමයි” චිත්‍රපටියේ පද්මිණී ගේ චරිතයයි. පසු කාලීනව ඇය “මම බය නෑ ශ්‍යාමා” චිත්‍රපටයට තම දියණිය මන්දිරා ආනන්දිවත් සම්බන්ධ කර ගත්තා. තම දියණියව එසේ සිනමාවට ඇය හඳුන්වා දුන්නේ සැබෑ ජීවිතයේ දී වගේම කැමරාව ඉදිරිපිටත් මව සහ දියණිය විදිහට චරිත නිරූපණය කරමිනුයි.
5. දමිත් ෆොන්සේකා
මෙරට අග්‍රගණ්‍ය නළුවෙකු ද , විශිෂ්ට දේශපාලනඥයෙකු ද වූ ගාමිණී ෆොන්සේකා මහතාගේ අඩි පාරේ යමින් සිනමාවට පැමිණි දමිත් ෆොන්සේකා එතුමන්ගේ එකම පුතුයි. දමිත්ට අමතරව චමිලා, තනූජා හා ඉශාරා දූවරුන් තිදෙනා ද ගාමිණී ෆොන්සේකා මහතා හා ඔහුගේ ආදරණීය බිරිඳ වන ඩොරති මාග්‍රට් මහත්මිය මෙලොවට බිහි කළා. නමුත් දමිත් පමණයි සිනමාවට පිවිසියේ. සිංහල සිනමාවේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටත ම චරිතාංග නළුවෙකු වන ගාමිණී ෆොන්සේකා මහතා එතෙක් දකුණු ඉන්දියානු ආධිපත්‍යයට නතු වූ වේදිකා නාට්‍ය හා දකුණු ඉන්දීය සිනමා රංගනය පිටු දකිමින් සිංහල සිනමා මාධ්‍යයට උචිත යථාර්ථවාදී රංග සම්ප්රදායක් මෙරට තුළ ගොඩ නැංවීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් කළා වගේම, ගාමිණී සිංහල සිනමාවේ පෙරළියක් ඇති කළ රංගනවේදියෙක් හා මානව හිතවාදී දේශපාලකයෙක් වුණා. පියා තරම්ම සිනමාව තුළ සාර්ථක හා දීර්ඝ ගමනක් යන්න දමිත්ට නොහැකි වුණත් “දළුලන ගිනි (1995), චණ්ඩියගේ පුතා (1995) සහ නින්ජා ශ්‍රී ලංකා (1997)” ආදී චිත්‍රපට වලින් ඉතාම හොඳ රංගන කෞශල්‍යයක් ඔහු විසින් ප්‍රේක්ෂකයාට තිළිණ කළා.
6. ජනේශ් සිල්වා
ජනේශ්ව සිනමා කර්මාන්තයේ සහෘදයෝ නම් හොඳින් දැනන් හිටියට ඔහුව ඔබට ටිකක් නුපුරුදු ඇති. හැබැයි ෆ්‍රෙඩී සිල්වාගේ පුතා කිව්වම ආයි අටුවා ටීකා කියන්න අවශ්‍ය නෑ නේද? කීර්තිමත් රංගධරයෙක් වුණ ෆ්‍රෙඩී සිල්වා මහතා තරම්ම සාර්ථක හා දීර්ඝ ගමනක් සිනමාව තුළ යන්න බැරි වුණාට 2010 වසරේදී “ජය පිට ජය”, 2009 වසරේදී “ලීඩර්”, 2001 වසරේදී “පිස්සු පූසෝ” ආදී වාණිජ සිනමාවේ ජනප්‍රිය චිත්‍රපටි වල සිය රංගන හැකියාව ඔහු ඉදිරිපත් කළා. අවාසනාවන්ත ලෙස 2012 වසරේ ජුනි 10 වැනිදා ඔහු මෙලොවින් සමු අරගත්තා.
7. සජිත් ඇන්තනී/අඛිල ධනුද්ධර
ඇන්තනී පරම්පරාව ගැන නම් ඔබට අමුතුවෙන් හඳුන්වාදීමක් කරන්න අවශ්‍ය නෑනේ. ජැක්සන් ඇන්තනී නම් විශිෂ්ට රංගධරයාගේ යෝධ සෙවණැල්ලේ හැදී වැඩුණු ඔහුගේ පුත්‍රයන් දෙදෙනාම සිනමාවේ සුවිශේෂී සළකුණු ලකුණු කර තිබෙනවා. සජිත් සිය ප්‍රථම සිනමා ආගමනය සෝමරත්න දිසානායකයන්ගේ සූරිය අරණ හරහා සනිටුහන් කළා. ඉන්පසුව සිය පියාගේ අධ්‍යක්ෂණය යටතේ 2008 වසරේදී “අබා” චිත්‍රපටයටද ඔහු රංගනයෙන් එක්වුණා. අඛිල සිය ප්‍රථම සිනමා අත්දැකීම සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණය යටතේ 2013 වසරේදී “සිරි පැරකුම්” සමඟ ආරම්භ කළා. සිය පියා තරම්ම රංගනයෙන් විශිෂ්ට මට්ටමකට ඔවුන් තවමත් ළඟා වී නොමැති වුණත් අනාගත ලාංකික සිනමාවේ නොමැකෙන සළකුණු තැබීමට ඔවුන්ට හැකි වන බව නොඅනුමානයි.
තිනෙති නානායක්කාර
Leave a Reply