“අම්මලගේ විභාගේ” එහෙමත් නැත්තන් පාසල් දරුවන්ගේ පාසල් ජීවිතේ මුල්ම තරඟකාරී කඩඉම විදියට හඳුන්වන ශිෂ්‍යත්ව විභාගේ අගෝස්තු මාසේ මුල් සතියේ පැවැත්වෙනවා. ප්‍රධාන වශයෙන්ම ජනප්‍රිය පාසලකට දරුවා ඇතුළත් කරගැනීමේ අරමුණින් තමයි අම්මලා තමන්ගේ දරුවව විභාගය වෙනුවෙන් වෙහෙසවන්නේ. ශ්‍රී ලාංකික අධ්‍යාපන පද්ධතියේ තියෙන විශාල තරඟකාරී රටාව නිසා අම්මලා තමන්ගේ දරුවගේ යහපත වෙනුවෙන් වෙහෙසෙන එක පිළිබඳව දොස් කියන්නත් බෑ. මොකද අම්මලගේ ඔළුවල තියෙනවා අපිට නොලැබුණු දේ දරුවන්ට ලබාදෙන්න ඕනි කියන හැඟීම. එහෙමත් නැත්තන් ඉගෙනගත්තෙ නැත්තන් ගොඩ ඒමක් නෑ කියන හැඟීම.
මේකෙ තියෙන ඛේදවාචකය තමයි ඇතැම් වෙලාවල විභාගය අසමත් වෙන දරුවා නිවසින් එල්ලවන පීඩනය දරාගැනීමට නොහැකිව දරුණු තීරණ ගන්න පෙළඹෙන එක. මව්පියන් තුළත්, දරුවා තුළත් ඇතිවෙන බලාපොරොත්තු කඩවීම අවුරුදු 10ක් වෙන දරුවා නිවසින් පැන යෑමට හෝ දිවි නසාගැනීමට පවා පොළඹවනවා. එහෙමත් නැත්තන් මුළු ජීවිත කාලයටම බලපාන විදියේ කම්පනයකට මුහුණ දෙනවා. සෑම වර්ෂයකම ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු අවම වශයෙන් මෙවැනි එක් සිද්ධියක් හෝ වාර්තා වෙනවා. එනිසාමයි ශිෂ්‍යත්වය සමත්වීමේ කඩඉම් ලකුණ ලබාගැනීමට අසමත් වන දරුවන් පීඩාවට පත් නොකර, ඔවුන් සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව යම් වැටහීමක් ඇති කරවීම ගැන අපි ලියන්නෙත්.
1. බැණ වැදීම හෝ හිංසා පීඩා කිරීමෙන් වළකින්න
![after scholarship](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/after-scholarship-1.jpg?resize=800%2C500&ssl=1)
Source – huffingtonpost.com
අසමත් වූ දරුවා දුටු විගසම බැණ වැදීම හෝ පහර දීම, එසේත් නැත්නම් කාමරයට දමා දොර වැසීම හෝ කොන් කිරීම වැනි දෑ කිසිසේත්ම කරන්නෙපා. කුඩා දරුවාට ද විභාගයෙන් අසමත් වීමේ කිසිම උවමනාවක් නැති බව මව්පියන් වටහා ගන්න උවමනායි. හිතවතුන්, වැඩිමල් සහෝදර සහෝදරියන් හෝ අසල්වාසීන්ට ද දරුවා අපහසුතාවයට හෝ උසුළු විසිළුවට ලක් කිරීමට ඉඩ ලබා දීම නොකළ යුතුයි. ඒ වගේම මව්පියන් වශයෙන් දරුවා වෙනුවෙන් පෙනී සිටීම හා දිරි ගැන්වීමක් සිදු කිරීම දරුවාගේ අනාගත සාර්ථකත්වයට මනා පිටුවහළක් වේවි.
2. සන්සන්දනය කිරීමෙන් වළකින්න
![after scholarship](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/after-scholarship-2.jpg?resize=800%2C500&ssl=1)
Source – offenderssolution.net
තමන්ගේ හිතමිතුරන්ගේ, නෑදෑයින්ගේ දරුවන්, එහෙමත් නැත්තන් දරුවගේ මිතුරු මිතුරියන් හෝ සහෝදර සහෝදරියන් සමගින් දරුවා සන්සන්දනය කිරීම නොකළ යුතුමයි. අහවලාගේ දරුවට ලකුණු මෙච්චරයි, අහවල් දරුවාට නම් හොඳ ඉස්කෝලයක් ලැබෙයි, ඇයි එයාට පුළුවන් නම් ඔයාට බැරි උනේ? වැනි සන්සන්දනයන් කිරීමෙන් මව්පියන්ගේත් දරුවාගේත් බලාපොරොත්තු කඩ වීම වැඩි වෙන්න ඉඩ තියෙනවා. එක් එක් පුද්ගලයාගේ හැකියාවන් සහ දක්ෂතාවයන් අසමාන බව මව්පියන් වටහාගත යුතුයි වගේම ඒ කරුණ දරුවාටද සුබවාදී ස්වරූපයකින් වටහා දිය යුතු වෙනවා.
3. දරුවා ලේබල් කිරීමෙන් වළකින්න.
![after scholarship](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/after-scholarship-3.jpg?resize=800%2C500&ssl=1)
Source – pinterest.com
දරුවා ශිෂ්‍යත්වයෙන් අසමත්වීමෙන් පසු ඔහු “මෝඩයෙක්, මැට්ටෙක්” වශයෙන් ලේබල් කිරීම නොකළ යුතු ම වරදකි. විශේෂයෙන්ම දරුවා ඉදිරියේ අන් අය හා මෙවැනි දෑ පැවසීම දරුවා විශාල වශයෙන් බලාපොරොත්තු කඩ වීමකට හා ලැජ්ජාවට පත් වීමට හේතු විය හැකියි. ශිෂ්‍යත්වය අසමත්වීමෙන් දරුවා ඉගෙනීමට අසමර්ථයෙක්ද යන කරුණ තීරණය කිරීම කිසිසේත්ම කළ නොහැකි අතර, ශිෂ්‍යත්වය සමත්වීමෙන් පමණක් දරුවෙකු ඉතා දක්ෂයෙකු බව නිගමනය කළ නොහැකියි.
4. දරුවා සමග විවෘතව කතා කිරීම
![after scholarship](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/after-scholarship-4.jpg?resize=800%2C500&ssl=1)
Source – todaysparent.com
යම් විදියකින් දරුවා අසමත් වුවහොත් ඒ ගැන දරුවා සමගින් ඉවසිලිවත්ව කතා බහ කිරීමේ හැකියාව මව්පියන්ට තිබිය යුතුමයි. “මගේ දරුවට වැරදුනේ කොහොමද? ඒ වැරදි ටික හදාගත්තොත් ඔයාට ඊළඟට තියෙන විභාග වලට හොඳට මූණදෙන්න පුළුවන් වෙයි. වැරදුන එක පාඩමක් කරගන්න, ඔයාට තව ඉස්සරහට මූණදෙන්න විභාග ගොඩක් තියෙනවා, අසමත් උනේ එකකින් විතරනේ” යනාදී දේ කියමින් සරලව නමුත් හිතට කාවදින විදියට කතා බහ කරන්න පුළුවන් වෙන්න ඕන. එක් විභාගයකින් අසමත් වීම අනෙක් විභාගවලින්ද අසමත් වීමට හේතුවක් නොවන බව පැහැදිලි කර දිය යුතුයි.
5. දරුවාගේ සැබෑ දක්ෂතා හඳුනාගෙන ඒවා දියුණු කරගැනීමට මග පෙන්වීම
![after scholarship](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/after-scholarship-5.jpg?resize=800%2C500&ssl=1)
Source – huffingtonpost.com
අධ්‍යාපනයට අසමත් දරුවා වෙනත් අංශයකින් දක්ෂයෙකු වීමට හොඳටම ඉඩ තියෙනව. ක්‍රීඩාවට, කලාවට, විවිධ භාෂා ඉගෙනීමට, කාර්මික වැඩ කටයුතුවලට, ලිවීමට හෝ මව්පියන් නොසිතන අන්දමේ යම් දෙයකට ඔහු සමත්කම් දක්වන්නට පුළුවන්. දරුවා සමගින් කතා කරන්න. ඔහු කැමති දේ විමසන්න. ඒ අංශයෙන් ඉදිරියට යා හැක්කේ කෙලෙසින්ද කියා සොයා බලා අධ්‍යාපන කටයුතු අතරතුරදීම එම හැකියාව දියුණු කරගැනීමට ඉඩ දෙන්න.
6. අසමත්වීම ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමට කියා දෙන්න
![after scholarship](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/after-scholarship-6.jpg?resize=800%2C500&ssl=1)
Source – saffluence.com
ලෝකය ජයගත් චරිත සියල්ලක්ම ශිෂ්‍යත්වය සමත් වූවන් නොවන බව උදාහරණ දෙමින් කියා දෙන්න. ලාංකික චරිත පමණක් නොව විදේශීය චරිතද උදාහරණයට ගන්න. අසමත්වීම, කුසගින්න, දුප්පත්කම, ලෙඩ රෝග, උපකාර රහිත බව යන වැට කඩොළු බිඳ දමා ලෝක පූජිත වූවන් පිළිබඳව කියා දෙන්න. ශිෂ්‍යත්වය සමත් වනවා තබා අහලකටවත් යෑමට නොහැකි වූ පුද්ගලයින් ඒ අසමත්වීමම උත්තේජනයක් කරගෙන පසු කාලීනව ඉතා සාර්ථකත්වයට පත් වී ඇති ආකාරය දරුවාට කියා දෙන්න.
7. දරුවා අසමත්වීමට මව්පියන්ගේ දායකත්වය කෙතරම්ද යන්න වටහාගන්න
![after scholarship](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/after-scholarship-7.jpg?resize=800%2C500&ssl=1)
Source – understood.org
ඇතැම් මව්පියන් තම දරුවා තමන්ට අවැසි අවැසි දෑ ලබා දෙන කප් රුකක් වශයෙන් වටහාගෙන සිටීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. දරුවා යනු තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා මෙලොවට ගෙන ආ වස්තුවක් නොවන බව පළමුව වටහාගත යුතුය. දරුවෙක් බුද්ධිමතෙක්, උගතෙක් හා දක්ෂයෙක් වීමට බලපාන හේතු ගණනාවකි. ජානමය උරුමය, කුඩා කල සිට එන නිවැරදි පුරුදු, නිසි පෝෂණය ලැබීම, මව්පිය අවධානය හා ආදරය යටතේ සන්සුන් මනසකින් ඉගෙනීමේ කටයුතු කරගැනීමට ඇති ඉඩ කඩ, මව් කුසේදී සිට හෝ ළදරු අවදියේ සිටම බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් වල නිරත කරවීම, අනවශ්‍ය අයුරින් දරුවා වෙහෙස නොකිරීම වැනි බොහෝ කරුණු ඊට බලපායි. දරුවා විභාගයෙන් අසමත් වූවේ නම් දෙමවුපියන් ලෙස තමන් ඊට කොතරම් වගකිව යුතුද යන කරුණු වටහාගෙන එම තත්ත්වයන් නිවැරදි කරගැනීම දෙමව්පිය පාර්ශවයෙන් සිදු විය යුතු අනිවාර්ය ක්‍රියාවකි.
Cover Image Source – .upward.org
Leave a Reply