ලෝකයටම ගැටළුවක් වෙන අනාගත ජල හිඟය

ජලය කියන්නෙ සම්පතක්. අපිට නැතුවම බැරි ස්වභාවික සම්පතක්. මනුස්සයෙකුට ආහාර නැතුව මාස 2ක් දක්වා වුණත් නොමැරී ජීවත් වෙන්න පුළුවන් වුණාට වතුර නැතුව නොමැරී ජීවත් වෙන්න පුළුවන් දවස් 3 – 5 අතරේ කාලයක් විතරයි. ඒ තරම්ම මනුෂ්‍ය ශරීරයට ජලය කියන සාධකය අත්‍යාවශ්‍යයි. බොන්න විතරක් නෙමෙයි, ශරීරය පිරිසිඳු කරගන්න, ආහාරපාන සකස් කරගන්න වගේ හැමදේටම වතුර නැතුවම බැහැ. හැබැයි මේ දිනවල නිරන්තරයෙන් සිදුවෙන පරිසර දූෂණය, වන විනාශය එක්ක පරිසරවේදීන් නිතරම කතාබහ කරන කාරණයක් තමයි අනාගතයේ ඇතිවෙන්න පුළුවන් උග්‍ර ජල හිඟය එහෙමත් නැත්තම් Water Scarcity. ඉතින් ලයිෆි අපිත් හිතුවා මේ මාතෘකාව ගැන කතා කරලා, ඔයාලව දැනුවත් කරලා, මේ තත්ත්වය මඟහරවාගන්න අපෙන් ඉටුවිය යුතු කොටස මොකක්ද කියන එක ගැනත් කියල දෙන්න. 

 

1. මොකක්ද මේ ජල හිඟය?

ජල හිඟය කියන්නෙ සරලවම අපිට වචනාර්ථයෙන් තේරෙන විදිහටම ජලය නොමැතිකම. හැබැයි අද කාලේ අපිට එහෙම ජලය මදිකමකට මුහුණ දෙන්න සිදුවෙලා නැහැනේ. ඒ නිසා අපිට ජලය හිඟයි කිව්වට ඒ කාරණයේ බරපතලකම ලොකුවට තේරෙන්නෙ නැහැ. හැබැයි මේක ලෝකව්‍යාප්ත ගැටළුවක්. අදටත් වඩා අනාගතයේදී මුලු ලෝකයටම තර්ජනයක් වෙන්න පුළුවන් කාරණාවක්. ඉතින් මේ ජල හිඟය හරියටම නිර්වචනය කරන්නෙ මෙහෙමයි.

ජල හිඟය කියල කියන්නෙ යම් නිෂ්චිත ප්‍රදේශයක පාරිසරික හා මානව අවශ්‍යතා පරිපූර්ණ කරන්න අවශ්‍ය පිරිසිඳු ජල සම්පත් වල හිඟය. මේ ජල හිඟය කියල කියන්නෙ මානව හිමිකම් වලට සෘජුවම සම්බන්ධ වෙන කාරණාවක්. හැබැයි සීඝ්‍ර ජනගහණ වර්ධනය, වගක් විභාගයක් නැති භාවිතය, පරිසර දූෂණය, වන විනාශය වගේම ගෝලීය උණුසුම නිසා දේශගුණ තත්ත්වයන්ගේ ඇතිවෙන වෙනස්කම් කියන ඔක්කොම කාරණා නිසා ලෝකයේ දියුණු නොදියුණු හැම රටකටම වගේ අද වෙද්දි මේ ජල හිඟය කියන තත්ත්වයට යන්තමින් හෝ මුහුණ දෙන්න වෙලා තියෙනවා.

 

2. ලෝකයේ ජලය බෙදීයන හැටි

ලෝකය පුරා තියෙන ජලය බෙදිලා ගිහිල්ල තියෙන්නෙ මෙන්න මෙහෙමයි. පෘථිවියෙන් 70%ක ප්‍රමාණයක් ආවරණය වෙලා තියෙන්නෙ ජලයෙන්. ඉතින් මදියි කියන්නෙ ඇයි කියල හිතෙනව නේද? මෙන්න මේකයි කතන්දරේ. අපිට භාවිතා කරන්න පුළුවන් ඒ කියන්නෙ ලවණ වගේ දේවල් කලවම් වෙලා නැති මුහුදු ජලය හෝ කිවුල් නොවන ස්වභාවික ජලය අර කලින් කියපු මුලු පෘථිවියේම තියෙන ජලයෙන් 3%ක් විතරයි. ඒකෙනුත් 2/3ක ප්‍රමාණයක් ග්ලැසියර වල හෝ මොනම විදිහකට හරි අපිට භාවිතයට ගන්න බැරි විදිහට හිරවෙලයි තියෙන්නෙ. ඉතින් දැන් හිතන්නකො අපිට භාවිතයට තියෙන ජල ප්‍රමාණය කොච්චරක්ද කියල. 

 

3. භෞතික ජල හිඟය සහ ආර්ථිකමය ජල හිඟය

මේ ජල හිඟය ප්‍රධානවම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ භෞතික ජල හිඟය සහ ආර්ථිකමය ජල හිඟය විදිහට. 

භෞතික ජල හිඟය කියල කියන්නෙ යම් ප්‍රදේශයක මිනිසුන්ගේ ජල ඉල්ලුම ඒ ප්‍රදේශයේ පවතින භාවිතයට ගතහැකි ජල ප්‍රමාණය ඉක්මවා යාම. ලෝකයේ ජනගහණයෙන් බිලියන 1.2ක පමණ ප්‍රමාණයක් මේ භෞතික ජල හිඟයට මුහුණ දෙනවා. ජනගහණය වැඩිවීම හා කාලගුණික රටාවන්ගේ වෙනස්කම් නිසා ප්‍රධානවම මේ භෞතික ජල හිඟය ඇතිවෙන්න පුළුවන්. 

ආර්ථිකමය ජල හිඟය කියල කියන්නෙ පාරිසරික හා මානව අවශ්‍යතා සම්පූර්ණ කරන්න ප්‍රමාණවත් තරම් ජලය පවතින නමුත් ඒ සඳහා ඇති ප්‍රවේශය සීමාසහිත වීමයි. ඒ කියන්නෙ කළමනාකරණ ගැටළු හෝ වෙන මොනයම්ම හේතුවක් මත ජල යටිතල පහසුකම්වල පවතින හිඟය.

 

4. ජල හිඟයේ බරපතලකම

ජල හිඟය කියන මාතෘකාව ගැන ඉඳහිට කතා කළත් මේ කාරණයේ බරපතලකමනම් අපි හුඟදෙනෙක්ට තවම වැටහිලා නැහැ. අපි කලිනුත් කිව්ව වගේ කෑම නැතුව නොමැරී ජීවත්වෙන්න මිනිස් ශරීරයකට හැකියාව තිබුණත් ජලය නැතුව උපරිම දින 5කට වඩානම් ඉන්න බැහැ. ඒකත් එක එක ශරීර තත්ත්වයන් මත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේමයි සත්තුත්. ඉතින් ජලය හිඟ වෙනවා කියන්නෙ සමස්ථ ජීවීන් හැමදෙනාටම බරපතළ ගැටළුවක්. දැනටත් ඉන්දියාව සහ චීනය වගේ අධික ජනගහණයක් පවතින රටවල් ඇතුළුව රටවල් කිහිපයකම බිලියන හතරකට වඩා ජනතාව අවම වශයෙන් අවුරුද්දේ එක මාසයක් හරි දැඩි ජල හිඟයක් හෝ නියං තත්ත්වයන් පවතින කලාපවල ජීවත් වෙනවා. 

ජල හිඟය නිසා ඇතිවෙන්න පුළුවන් බරපතළම තත්ත්වය තමා ඒ පසුපස එන ආහාර හිඟය. කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය හිඟවෙනවා කියන්නෙ ඕනම රටක ආහාර සැපයුම අඩාල වෙනවා කියන එකයි. ඒ වගේම තමා බලශක්ති හිඟය. ලෝකයේ බලශක්ති මූලාශ්‍ර හුඟක් ක්‍රියාත්මක වෙන්නෙ ජලය මූලික කරගෙන. ඒ වගේම කර්මාන්ත හා කෘෂිකර්මාන්තය හරිහැටි පවත්වාගෙන යන්න ප්‍රමාණවත් ජලය නොමැතිවීම නිසා ලෝක ආර්ථිකයත් ගැටළුවකට මුහුණ දෙනවා. හරියට බැලුවොත් ජලය හිඟවීම හැමදේකටම ප්‍රශ්නයක්. 

 

5. ජල හිඟයට වැඩිපුරම මුහුණ දෙන රටවල්

අනාගතයේ මුලු ලෝකයටම මුහුණ දෙන්න වෙන මේ ජල හිඟයට දැනටත් මුහුණ දෙන රටවල් කිහිපයක් තියෙනවා. විවිධ දේශපාලනික, දේශසීමා, ජනවාර්ගික, ත්‍රස්තවාදී ගැටළු නිසා ඔවුන්ට ජලයට තියෙන ප්‍රවේශය බොහොම සීමිතයි. මේ රටවල් අතරිනුත් ඉහළින්ම ඉන්නේ ලිබියාව, බටහිර සහරාව, යේමනය, ජබූටි, ජෝර්දානය කියන රටවල්. ඒ වගේම ආසියානු මහද්වීපයේ අපේ අසල්වැසි ඉන්දියාවත් බොහෝම නුදුරේදී මේ ජල හිඟයට මුහුණදෙන බවට අනාවැකිවල කියවෙන රටක්. 

 

6. ලංකාවේ ජල හිඟය

භෞතික සහ ආර්ථිකමය ජල හිඟය එක්ක කලින් කියපු සියළුම ගැටළු වලට බොහෝම නුදුරේදී ලංකාවේ අපිටත් මුහුණ දෙන්න සිදුවෙනවා. අපේ ජල මූලාශ්‍ර වලින් 85%ක් වගේ ප්‍රමාණයක් වාරිමාර්ග සඳහා යොදාගෙන තිබුණත් ජල ඵලදායීතාවය අතින් අපිට තව සෑහෙන්න ඉස්සරහට යන්න වෙනවා මේ ගැටළුව විසඳගන්න. 

 

7. ජල හිඟයට විසඳුම්

මේ අනාගතයේ ඇතිවිය හැකි උග්‍ර ජල හිඟය දැන්ම ඉඳලම පාලනය කරන්න අපිට මෙන්න මේ වගේ පියවර ගන්න පුළුවන්

  • ජලය භාවිතය සහ ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම සඳහා දැනුවත් කිරීම.
  • නව ජල සංරක්ෂණ ක්‍රම හඳුන්වාදීම.
  • භාවිතා කළ ජලය ප්‍රතිචක්‍රීකරණය.
  • වාරිමාර්ග සහ කෘෂිකාර්මික ක්‍රමවේදයන් දියුණු කිරීම.
  • විකල්ප බලශක්ති මූලාශ්‍ර හඳුන්වාදීම
  • පරිසර දූෂණය සහ වන සංහාරය පාලනය කිරීම.
  • ජනගහණ පාලනය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *