අපි ජීවිතේ ගොඩක් වෙලාවට ප්ලෑන් කරනවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා. ජීවිතේ අඩකට ආසන්න කාලයක් රැකියාව කරලා, එහෙමත් නැතිනම් අවුරුදු 55 න් පස්සෙ අපි ජීවිතේ සැදෑ සමය සඳහා සූදානම් වෙනවා. මේ කාලයේ සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව ජීවත් විය හැකි ලෝකයේ හොඳම රටවල් 7 ගැන කතා කරන්නයි මේ සූදානම.
7. ප්‍රංශය
ලෝකයේ ජීවිතේ සැදෑ සමය ගත කරන්න පුලුවන් රටවල් අතරින් 7 වන ස්ථානය හිමි වෙලා තියෙන්නෙ ප්‍රංශයට. ප්‍රංශය කිව්ව ගමන් මතක් වෙන්න ආදරය, චොක්ලට් හා වයින්, ඒ වගේම අපට හිතාගන්නවත් බැරි තරමට ආකර්ශනීය හා සුන්දර රටක්. බටහිර යුරෝපයේ විශාලතම රට. වර්ග කිලෝමීටර් හයලක්ෂ තිස් දෙදහස් හත්සිය තිස් හතරක් තරම් විශාල රටක්. ඒ වගේම වඩාත්ම සතුටින් ඉන්න මිනිස්සුන්ගෙ ලැයිස්තුවේ 24 වෙනි තැන ප්‍රංශයට හිමි වෙනවා. අපි කවුරුත් දන්න අයිෆල් කුළුණ, ලූවර් කෞතුකාගාරය, වර්සේල්ස් රජ මැදුර වගේ සුවිශේෂී ස්ථාන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ප්‍රංශයේ නිවාස වල මිල ඇමරිකාවට වඩා 34%කින් අඩුයි. කාමර දෙකක් එක්ක තියෙන නිවසක් ඩොලර් දෙළක්ෂ පනස් දාහකට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. මහල් නිවාසයයක් ඩොලර් එක්දහස් දෙසීයකට කුලියට ගන්න පුළුවන්. ප්‍රංශයේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අංක එක ලෙස ශ්‍රේණිගත කරල තියෙනවා. සෞඛ්‍ය පහසුකම්වලට ගෙවන්න වන මුදලත් ඉතාම අඩුයි. පදිංචි වී මාස තුනකට පසුව රජය විසින් ඔයාලට බෙහෙත් හේත් වලට යන වියදමෙන් සැලකිය යුතු කොටසක් දරනවා. ලංකාවේ තියෙන ප්‍රංශ කන්සිව්ලේට් එකෙන් හරි එම්බසියෙන් හරි දීර්ඝ කාලීනව පදිංචි වෙන්න වීසා ඉල්ලුම් කරන්න පුළුවන්. ස්ථිර පදිංචියට අවුරුදු පහක කෙටි කාලීන පදිංචියක් ඕනි වෙනවා වගේම වසර දහයකට සැරයක් වීසා රිනීව් කරන්නත් ඕනි.
6. ඉක්වදෝරය
හය වෙනි ස්ථානය හිමි වන්නේ ඉක්වදෝරයට. දකුණු ඇමරිකාව තුල තියෙන ප්රජාතන්ත්රවාදී ජනරජයක්. ඉක්වදෝර් කියන්නේ ලෝක උරුමයක් විදියට සලකන්න පුළුවන් විවිධ සත්තු හා එයටම ආවේණික ශාක වර්ග තිබෙන සුන්දර රටක්. ඒ වගේම ජනවාරි ඉදන් මැයි දක්වා උෂ්ණ කාලය පවතින අතර ඉතිරි කාලය ශීත කාලයයි. දේශීය සංස්කෘතියට මුල්තැන දෙන රටක්. ඉක්වදෝරයේ වෙරළේ නැවුම් ලෙස සාදන ලද ceviche කන්න, ඇමර්සන් වැසි වනාන්තර හරහා පාරු පදින්න, Quito හි 16 වන සියවසේ ගෘහ නිර්මාණ ශිල්පය භුක්ති විඳිමින් එහි ජීවත් වෙන්න ඔයාලට පුළුවන්. ඉක්වදෝරයේ වෙරළ ආසන්නයේ ගෙයක් ඩොලර් 150,000 කට මිලට ගන්න පුළුවන්. නගරාසන්නයේ ගෙයක් මාසෙකට ඩොලර් 500 කට කුලියට ගන්න පුළුවන්. මෙහි අවුරුදු 60 ට වැඩි අයට විශේෂ රක්ෂණයක් ලබා දෙනවා. මාසෙකට ඩොලර් 70ක් විතර වෙනවා. මේ හරහා සියළුම වෛද්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන්. ඉක්වදෝරයේ පදිංචිය සඳහා වීසා ඔන්ලයින් හරහා ලබාගන්න පුළුවන්. අනික් වැඩ ටික ලංකාවේ තියෙන කන්සිව්ලේට් එකෙන් හරි එම්බසිය හරහා හරි කරගන්න ඕනි.
5. කොලොම්බියාව
කොලොම්බියාව කියපු ගමන් මතකයට එන්නේ සුන්දර කාන්තාවන්. මෙය දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි සමූහාණ්ඩුවක්. කැරිබියානු දූපත් සොයාගත් ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ නමින් තමයි මේ නම් කරල තියෙන්නෙ. ඒ වගේම ලෝකයේ වැඩියෙන්ම වහින රට වගේම වැඩිම සමනලුන් ප්‍රමාණයක් සහ වැඩිම ඕකිඩ් වර්ග ප්‍රමාණයක් තියෙන රටත් කොලොම්බියාව. මෙහි අගනුවර වෙන්නේ බොගොටා. නිල භාෂාව වෙන්නෙ ස්පාඤ්ඤ. මෙහි කාමර තුනක මහල් නිවාසයක් සඳහා මසකට ඩොලර් 1,250 ක් විතර ගෙවන්න වෙනවා. නමුත් ගම්බදව ඩොලර් 500ක් තරම් අඩු කුලියට ගෙවල් හොයා ගන්නත් පුළුවන්. සෞඛ්‍ය සේවාත් ඉහළ මට්මක පවතිනවා. වෛද්‍ය වරයෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 4 ත් 10 ත් අතර ගෙවන්න සිද්ධ වෙනවා. වීසා සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කරන්න පුළුවන්.
4. පෘතුගාලය
පෘතුගාලය පිහිටලා තියෙන්නේ නිරිතදිග යුරෝපයේ. මෙය සංවර්ධිත රටක්. මෙහි අගනුවර ලිස්බන්.
ඔබට විවේකීව ජීවිතය ගෙවන්න හොඳම රටවලින් හතර වන තැන හිමි වෙන පෘතුගාලයේ දේශීය ආහාර, වයින් වලින් පොහොසත් රටක්. ඩූරෝ නිම්නයේ මිදි වතු, ඇල්ගාර්ව්හි පාෂාණ වෙරළ සහ කැස්කයිස් හි ඉංග්‍රීසි කතා කරන විශාල විදේශික ප්‍රජාවක් එක්ක ඔයාට ඔයාගෙ සැදෑ සමය ගත කරන්න කියාපු රටක් පෘතුගාලය. මාසෙකට ඩොලර් 2,200 කින් දෙන්නෙකුට ජීවත් වෙන්න පුලුවන්. සෞඛ්‍ය අතින් ඉතා ඉහළ පහසුකම් සපයනවා. විශ්‍රාමිකයින් සඳහා ඔවුන් වඩාත් ජනප්‍රිය වීසා එකක් හඳුන්වා දීල තියෙනවා. ගෝල්ඩන් වීසා ලෙසයි එය හඳුන්වන්නේ. පෘතුගාලයේ මාස හතරක් රැඳී සිට මේ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ සඳහා මාසික ආදායම ඩොලර් 1,070 තියෙන්න ඕනි. ඒ වගේම අවුරුදු පහකට පසුව ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන්න පුලුවන්.
3. මෙක්සිකෝව
මෙක්සිකෝව විශාල වශයෙන් විදේශීය ජාතීන් ජීවත් වන රටක්. විශ්‍රාමික ජීවිතය ගත කරන්න හොඳ රටවල් අතර 3 වන ස්ථානය හිමි වන්නේ මෙක්සිකෝවට. අධිවේගී අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා, හොඳ අධිවේගී මාර්ග වලින් සමන්විත සුන්දර රටක්. නිල වශයෙන් හඳුන්වන්නේ එක්සත් මෙක්සිකානු ජනපදය කියලා. මෙහි අගනුවර මෙක්සිකෝ නගරය. වර්ග කිලෝමීටර් 2 ආසන්න ප්‍රමාණයක භූමි භාගයක් තියෙන රටක්. ලෝකයේ පුදුම හතෙන් එකක් වෙන ඒ වගේම සංචාරකයින්ගේ වැඩිම අවධානය දිනාගත් මායා නගර වලින් එකක් ලෙස සලකන Chichen Itze පිහිටලා තියෙන්නෙත් මෙක්සිකෝවේ. විශාල කාන්තාර, කඩොලාන, නිවර්තන වැසි වනාන්තර වලින් පිරුණු ලස්සන රටක්. සාමාන්‍යයෙන් ගෙවල් කුලිය, ආහාර, සෞඛ්‍ය සේවා සහ ප්‍රවාහනය සඳහා මාසෙකට ඩොලර් 1,890ක් වගේ ගනක් අවශ්‍ය වෙනවා. ලංකාවේ තියෙන මෙක්සිකෝ කන්සිව්ලේට් එකෙන් හරි එම්බසිය හරහා හරි ඔයාට වීසා ඇප්ලයි කරන්න පුළුවන්.
2. කොස්ටාරිකාව
කොස්ටාරිකාව කියන්නෙ මධ්‍යම ඇමරිකාවේ නිකරගුවා හා පැනමා යන රටවලට මැදිව පිහිටි රටක්. විශාලත්වය වර්ග කිලෝමීටර් 51,100ක් වෙනවා. අගනුවර සැන් ජොසේ. වළාකුළු වැනි දර්ශනීය වනාන්තර වලින් පිරුණු රටක්. ඒ වගේම භූමි භාගය පුරාම කෝපි වගාවන් දකින්න ලැබෙනවා. විදේශිකයන් අතර ඉතාම ජනප්‍රිය රටක් විදියට කොස්ටාරිකාව හඳුන්වන්න පුළුවන්. විශ්‍රාමික ජෝඩුවකට මසකට ඩොලර් 2,500 සිට ඩොලර් 3,000 දක්වා වියදමකින් ඉතා හොඳින් ජීවත් වෙන්න පුළුවන්. නිවාස, කෑම බීම, බෙහෙත්, ප්‍රවාහනය කියන සියල්ලම මේ වියදමට අයිතියි. සාමාන්‍ය වෛද්‍යවරයෙකුට සඳහා ඩොලර් 50ක් වියදම් කරන්න වෙනවා. විශේෂඥයෙකු සඳහා ඩොලර් 80 ක් පමණ වැය වෙනවා. ලංකාවේ තියෙන කොස්ටාරිකා කන්සිව්ලේට් එකෙන් හරි එම්බසිය හරහා හරි තමයි වීසා අයදුම් කරන්න පුළුවන්.
1. පැනමාව
පැනමාව කියන්නේ විශ්‍රාමිකයන්ට ජීවත් වෙන්න ලෝකයේ තියෙන හොඳම රට. උතුරු හා දකුණු ඇමරිකා මහාද්වීපය අතර පිහිටි අන්තර් මහද්වීපී රටක් පැනමාව. රටේ අග නගරය වගේම විශාලම නගරය වන්නේ පැනමා නගරයයි. ගුවන් ටිකට් පතේ සිට සියළුම වියදම් සඳහා විශාල වට්ටමක් ලබාදෙනවා. විශාල වශවෙන් විදේශිකයන් ජීවත් වෙන රටක් වගේම හොඳ මානව සම්බන්ධතා පවතින රටක්. විශ්‍රාමික යුවළකට පැනමා නගරයේ මසකට ඩොලර් 3,000කට වඩා අඩු මුදලකට (කුලිය ඇතුළුව) ඉතා හොඳින් ජීවත් වෙන්න පුළුවන්. තනි පුද්ගලයෙකුට පැනමාවේ ඕනෑම තැනක මසකට ඩොලර් 1,700කට වියදමකින් ජීවත් වෙන්න පුළුවන්.
රට පුරාම පහසුකම් සහිත රෝහල් සහ සායන තියෙනවා. අවුරුදු 55 පිරුණු කාන්තාවන්ටත්, 60 පිරුණු පිරිමින්ටත් බෙහෙත් සඳහා සියයට 20 වට්ටමක් රජය විසින් ලබා දෙනවා. පැනමා තානාපති කාර්යාලයේ වෙබ් අඩවියෙන් වීසා ලබාගැනීම ගැන සම්පූර්ණ විස්තර සොයා ගන්න පුළුවන්.
ඉතින් ඔයාලටත් පුලුවන් මේ රටවල් අතරින් තමන් කැමති රටක විශ්‍රාම දිවිය ගත කරන්න දැන්ම ඉදන් ප්ලෑන් කරන්න.
Leave a Reply