සඳ මිදුලට එනවා කියල මර්වින් පෙරේරා මහත්මය ඒ කාලෙ කිව්වට හැබෑ ලෝකයේ සිදුවුණේ මිනිසා හඳ සොයාගෙන ගියපු එක. මානව ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් එහෙමත් නැත්තම් ලොකූ ජයග්‍රහණයක් විදිහට තමයි අදටත් මේ සඳ තරණය සැලකෙන්නේ. මේ සුවිශේෂී සිදුවීම ගැන විවිධ මතභේදාත්මක කතන්දර තිබුණත් මිනිස්සු විදිහට අපි හැමෝම පුංචියට හරි ආඩම්බර වෙන කාරණයක් තමයි මිනිසා සඳට ගොඩබැස්සා කියන කාරණය. ඉතින් මේ වැදගත් සිදුවීමේ අග මුල දන්න නොදන්න කාටත් කියවන්න ලියල තිබුනොත් හොඳයි කියලා අපිට හිතුණා. මේ කියන්න යන්නෙ හඳට ගොඩබහින්න අපි දරපු උත්සාහය, මුහුණදීපු බාධක වගේම ජයග්‍රහණයේ සම්පුර්ණ කතන්දරය.
1. සඳ ගමනේ අදහස
සඳ ගමනේ මූලිකම අදහස ඇතිවෙන්නේ සීතල යුද්ධයක ප්‍රතිඵලයක් විදිහට. ඒ ඇමරිකානු රජයයි සෝවියට් සංගමයයි අතරේ පැවතුණ සීතල යුද්ධය. සෝවියට් සංගමය 1957 ස්පුට්නික් 1 කියන පළමු කෘත්‍රීම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කිරීමත් එක්ක ඇමරිකානුවන් ටිකක් තැති ගන්නවා සෝවියට් සංගමයේ හැකියාවන් පිළිබඳව. ඒ උණුසුමත් එක්කම තමයි එවකට ඇමරිකානු ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර් මහතා National Aeronautics and Space Administration හෙවත් NASA ආයතනය පිහිටුවල මේ අභ්‍යවකාශ කතන්දරය ආරම්භ කරන්නෙ. හැබැයි ඇමරිකාව ඉස්සර වෙන්න උත්සාහ කළාට මුලින්ම අභ්‍යවකාශයට මිනිසෙක් යවන්න සමත් වෙන්නෙත් සෝවියට් සංගමය. ඒ 1961 අප්‍රේල් මාසයේ යූරි ගගාරින් නමැති ගගනගාමියගේ අභ්‍යවකාශ ගමනත් එක්ක. මේ සිදුවීමෙන් මාසයකට පස්සේ තමයි මුල්ම ඇමරිකානුවා අභ්‍යාවකාශයට යන්නේ.
ඉතින් මේ සිදුවීම් ඔක්කොම නිසා ඩ්වයිට් මහතාට පස්සේ ඇමරිකානු ජනාධිපති බවට පත්වුණු ජෝන් එෆ්. කෙනඩි නාසා ආයතනය එක්ක සාකච්ඡා කරලා මේ සඳ ගමන වෙනුවෙන් වැඩ කරන්න තීරණය කරනවා. මේ ව්‍යාපෘතිය ඇපලෝ නමින් නම් කෙරෙනවා.
2. කණ්ඩායම තෝරා ගැනීම
සඳ මත සාර්ථකව ගොඩබස්සපු ඇපලෝ 11 යානයේ කණ්ඩායම වෙන්නෙ යානයේ ප්‍රධාන නියමුවා විදිහට නීල් ආම්ස්ට්‍රෝන් මහතාත්, විධාන මොඩියුල නියමුවා විදිහට මයිකල් කොලින්ස් මහතාත්, චන්ද්‍ර මොඩියුල නියමුවා විදිහට එඩ්වින් ඔල්ඩ්රින් මහතාත්. හැබැයි හඳ මතට ගොඩ බසින්නේ චන්ද්‍ර මොඩියුලයේ හිටපු නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ එඩ්වින් ඔල්ඩ්රින් පමණයි.
3. මූලික සූදානම
මෙහෙයුමේ නිල ලාංඡනය තෝරාගැනීම පවා ඉතාම පරිස්සමට, බොහෝ කාරණා සැලකිල්ලට අරගෙන සිදුකෙරුණු දෙයක්. ඒ වගේම මෙහෙයුමේ ප්‍රධාන මොඩියුලය සහ චන්ද්‍ර මොඩියුලය කියන දෙක හඳුනාගැනීමේ පහසුවට පිළිවෙළින් කොලොම්බියා සහ ඊගල් යනුවෙන් නම්කෙරිල තියෙනවා. ඒ වගේම මෙහෙයුමට සහභාගීවෙන ගගනගාමීන්ට ඔවුන් කැමැති පෞද්ගලික අයිතමයන් කිහිපයක් ගමනට රැගෙන යන්න අවසර තිබුණා. හැබැයි මේ රැගෙන ගිය සියළු අයිතමයන්ගේ බර වුණේ කිලෝ ග්රෑම් 0.23ක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක්.
වසර දෙකක් තිස්සේ සිදුකළ මෙහෙයුම්වලින් ලබාගත් ඡායාරූප පදනම් කරගෙන බොහෝ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ආවට අඩු, පැතලි ස්ථානයක් ගොඩබෑම සඳහා තෝරා ගැනුණා. මතභේදාත්මක අදහස් කිහිපයකට පස්සේ සඳ මත මුලින්ම ගොඩබහින්නේ ප්‍රධාන නියමුවා වන නීල් ආම්ස්ට්‍රෝන්ග් බවට 1969 අප්‍රේල් 14 වෙනිදා නිල වශයෙන් නිවේදනය කෙරුණා.
4. ජනතාවගේ ප්‍රතිචාර
ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, කැබිනට් සාමාජිකයින්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ඇතුළුව ආසන්න වශයෙන් මිලියනයක ජනකායක් මේ සිදුවීම සජීවීව නරඹන්න යානය දියත් කරන ස්ථානයට ආසන්න මාර්ග, වෙරළතීරයන් අසල රැස්වී සිටියා. ඒ වගේම දෙස් විදෙස් මාධ්‍ය නියෝජිතයන් ඉතා විශාල සංඛ්‍යාවක් සිදුවීමේ මාධ්‍ය ආවරණයන් කරන්න පොරකමින් බලා සිටියා. මෙම ඉතිහාසගත සිදුවීම රටවල් 33ක සජීවීව විකාශනය වුණා.
5. මෙහෙයුම
යානයට සම්බන්ධ කෙරුණු සියළු අතිරේක කොටස් වෙන්කිරීමෙන් පස්සේ යානය සාර්ථක ලෙස ගමන්කරල චන්ද්‍ර කක්ෂයට ඇතුළත්ව වෙනවා. ඒ ජූලි 19 වෙනිදා පස්වරු 5:21ට. ජූලි 20 වෙනිදා ඒ කියන්නෙ පසුදා දවල් 12:52ට සඳ මතට ගොඩබහින්න නියමිත ආම්ස්ට්‍රෝන්ග් සහ ඔල්ඩ්රින් ප්‍රධාන මොඩියුලයෙන් චන්ද්‍ර මොඩියුලයට ඇතුළත්වීම සිදුවෙනවා. සවස 5:44 ට ඊගල් හෙවත් චන්ද්‍ර මොඩියුලය කොලොම්බියා එහෙමත් නැත්තම් ප්‍රධාන මොඩියුලයෙන් වෙන්වීම සිදුවෙනවා. ගොඩබැසීමේ ක්‍රියාවලිය අතරතුරේදී යානයේ වේගය වැඩිවී ඇතිබවත් ඒ හේතුවෙන් ඔවුන් ඉලක්ක කළ ස්ථානයට වඩා සැතපුම් කිහිපයක එහා ස්ථානයකින් ගොඩබෑමේ හැකියාව ඇතිබවත් නියමුවන් නිරීක්ෂණය කළ බව කියවෙනවා. ඒ වගේම සඳේ පෘෂ්ටයට අඩි 6000ක් ඉහළදී යම් දෝෂ කිහිපයක් නිසා පරිගණක පද්ධතිය මඟින් අනතුරු හැඟවීමේ එලාමයක් නාදවූ බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් අවසාන භාගයේදී ආම්ස්ට්‍රෝන්ග් විසින් යානයේ පාලනය අර්ධ ස්වයංක්‍රීය පාලනයට මාරුකර ගොඩ බැස්සවීම ඔහු විසින් සිදුකරන්න තීරණය කරනවා.
සඳ මත සාම්පල එකතු කරමින් ඇවිදින අතරේ පෙර සූදානම් කරගත්ත ඇමරිකානු කොඩි සිටුවීමද ගගනගාමීන් දෙදෙනා විසින් සිදුකරනවා. ඇමරිකානු ධජය සිටුවීම සජීවීව විකාශය වන අතරේ ඇමරිකානු ජනාධිපති රිචර්ඩ් නික්සන් දුරකථන-ගුවන් විදුලි සම්ප්‍රේෂණයක් ඔස්සේ ගගනගාමීන් ඇමතීම සිදුකරනවා. ධවල මන්දිරයේ සිට ලබාගත්ත වඩාත්ම ඉතිහාසගත ඇමතුම මෙය බව ඔහු එහිදී විශේෂයෙන්ම සඳහන් කරනවා. සඳ මත ගතකළ පැය දෙකකට අධික කාලයකට පස්සේ ඔවුන් සඳ මතින් පිටත් වෙනවා. ජූලි 21 වන දින 21:44 හෙවත් රාත්‍රී 9:44ට චන්ද්‍ර කක්ෂය වටා ගමන් කරමින් තිබෙන ප්‍රධාන මොඩියුලයට නැවත සම්බන්ධවන ඊගල් චන්ද්‍ර මොඩියුලය 1969 ජූලි 24 වෙනිදා නැවත සාර්ථකව පෘථිවියේ සාගර ජලය මතට ගොඩබාලා නාවික සෙබළුන් විසින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරනවා.
6. සඳ මත ගතකළ කාලය
සඳ මතට මුලින්ම ගොඩබැස්ස මිනිසා විදිහට ඉතිහාස ගතවෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග්. ඇපලෝ 11 යානය සඳ මත ගොඩබහින්නේ 1969 ජූලි 20 වෙනිදා සම්මත වේලාවෙන් 20:17 ඒ කියන්නෙ රාත්‍රී 8 පසුවී මිනිත්තු 17දී. ඊට හරියටම පැය 6කුත් විනාඩි 39කට පස්සේ ජූලි 21 වෙනිදා පාන්දර 2:56 ට තමයි නීල් ආම්ස්ට්‍රෝන්ග් සැලසුමට අනුව සඳ මතට ගොඩබහින්නේ. ඊට හරියටම මිනිත්තු 19කට පස්සේ ඔහුගේ ගමන් සගයා එඩ්වින් ඔල්ඩ්රින් සඳ මත පා තබන දෙවැන්නා විදිහට ඉතිහාස පොතට එකතු වෙනවා. මේ දෙදෙනා පැය දෙකකුත් මිනිත්තු 15ක් පමණ සඳමත කාලය ගත කරපු බව තමයි සඳහන් වෙන්නේ. ඒ කාලය ඇතුළතදී ඔවුන් පෘථිවියට අරගෙන එන්න අවශ්‍ය සාම්පල කිලෝ 21.5ක් පමණ සඳ මතින් එකතු කරගෙන තියෙනවා.
7. ඇපලෝ වැඩසටහන
ඇපලෝ 11 කියන්නෙ මේ සඳ ගමනේ මුල්ම යානය නම් නෙමෙයි. කලිනුත් කියපු විදිහට මේ මුළු ව්‍යාපෘතියම නම් කෙරෙන්නේ ඇපලෝ නමින්. ඉතින් මේ 11 යානයට කලින් යානා කිහිපයක්ම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවලා පරීක්ෂා කිරීම් සිදුකෙරිලා තියෙනවා. ඇපලෝ 7 සහ 9 කියන යානාවන් දියත් කරල තියෙන්නෙ මොඩියුලයන්ගේ සාර්ථකභාවය පරීක්ෂා කරන්න. ඇපලෝ 8 සහ 10 යානයන් සඳේ කක්ෂයට ඇතුළුවෙලා සඳ මතුපිට ඡායාරූප ලබාගැනීම සිදුකරනවා. ඇපලෝ 11, 12, 14, 15, 16 සහ 17 කියන සියළුම යානාවන් සාර්ථකව සඳ මත ගොඩබසින්න සමත් වෙනවා. ඇපලෝ 13 යානයට දෝෂයක් හේතුවෙන් සඳ මත ගොඩබස්සන්න නොහැකි වුණත් ඒ මඟිනුත් අවශ්‍ය ඡායාරුප ලබාගැනීම සාර්ථකව සිදුකෙරෙනවා.
Leave a Reply