කෘෂිකර්මාන්තයේ ඉහළින්ම නියැළෙන රටවල්

කෘෂිකර්මාන්තය එහෙමත් නැත්තම් සරළව කිව්වොත් ගොවිතැන, වැවීම කියන කාර්‍යය ගැන කතා කරද්දි අපිට මුලින්ම මතක් වෙන්නෙනම් රෙදි හැට්ට, අමුඩ ඇඳගෙන, මඩේ බැහැගෙන , කුඹුරු කොටන, ගොයම් කපන දර්ශන. හැබැයි අද කාලෙ කෘෂිකර්මාන්තය කියන්නෙ ටිකක් වෙනස් මාතෘකාවක්. හැමදේම යන්ත්‍ර සූත්‍ර වලටම භාරවුන එකේ මේ ගොවිතැනත් වැඩි හරියක්ම දැන් කෙරෙන්නෙ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරල. අතින් පයින් කෙරෙන කාර්‍යයන් නැතුවාම නෙමෙයි. හැබැයි පහසුව වගේම කාලය, ගුණත්වය කියන කාරණා සියල්ල සළකා බලල නිෂ්පාදනය කෙරුණ යන්ත්‍ර හුඟක් දැන් ගොවිතැනේදී භාවිතා වෙනවා.

ලංකාවේ තත්ත්වය එහෙම වෙද්දි පිටරටවල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඇත්තටම කෘෂිකර්මාන්තයේ නියැලෙන පිටරටවල් කිව්වම අපිට මතක් වෙන්නෙ තායිලන්තය, චීනය, ඉන්දියාව වගේ ආසියාතික රටවල්නේ. හැබැයි ඒක එහෙමම නැහැ. අපි කීයටවත් නොහිතන ඇමරිකාව, බ්‍රසීලය වගේ බටහිර රටවලුත් ප්‍රධානම ආදායම් මාර්ගය විදිහට කෘෂිකර්මාන්තයේ නියැළෙනවා. ඉතින් මේ කතා කරන්න යන්නෙ ඒ විදිහට මහා පරිමාණයෙන් කෘෂිකර්මාන්තයේ නියැළෙන රටවල් කීපයක් ගැනයි. 

 

 

1. චීනය

චීනය කියන්නෙ විශාල ජනගහණයක් ඉන්න රටක් වගේම භූමි ප්‍රමාණයෙනුත් තරමක් විශාල රටක්. මේ රටේ අතිවිශාල භූමියෙන් 7%ක ප්‍රමාණයක් ගොවිතැනට සුදුසු භූමීන් විදිහට හඳුනාගෙන තියෙනවා. ඒ සියළු භූමීන් සක්‍රීයව ගොවිතැනට යොදවලත් තියෙනව. සීඝ්‍රයෙන් ඉහළ ගිය ජනගහණයත් එක්ක විසිවෙනි සියවසේ මුල් කාලෙදි තමන්ගෙ ජනගහණයට අවශ්‍ය ආහාර අවශ්‍යතා නිෂ්පාදනය කිරීමත් ගැටළුවක් වෙලා තිබ්බ චීනය අද වෙද්දි නව ප්‍රතිපත්ති සහ දියුණු තාක්ෂණය භාවිතා කරලා ලොකයේ සමස්ථ ජනගහණයෙන් 22%කට අවශ්‍ය ආහාර වගා කරන්න සමත්වෙලා තියෙනවා. ලෝකයේ සහල් නිෂ්පාදනය අතින් ඉහළින්ම ඉන්නෙත් චීනය කියලයි සැලකෙන්නෙ. 

 

 

2. ඇමරිකාව

ඇමරිකාව කියන්නෙ කෘෂිකර්මාන්තය කියන වචනයත් එක්ක අපිට කීයටවත් මතක් නොවෙන රටක්. හැබැයි ඇත්තටම බැලුවොත් ලෝකයේ ඉහළින්ම කෘෂිකර්මාන්තයේ නියැලෙන රටක් තමයි ඇමරිකාව. ඇමරිකාවේ බඩ ඉරිඟු, තිරිඟු සහ සෝයා බෝංචි කියන භෝග මහා පරිමාණයෙන් වගා කෙරෙනවා. ඊට අමතරව උක්, අල, කෝපි වගේ වගාවනුත් ඇමරිකාවේ සිදුකෙරෙනවා. ඇමරිකාව කියන්නෙ කෘෂිකර්මාන්ත කටයුතු වලට තාක්ෂණය ඉහළින්ම භාවිතා කරන රටක්. ඒ නිසාම 1990 වසරේ ඉඳලා සෑම වසරකම 5%ක අගයකින් ඇමරිකාවේ කෘෂිකර්මාන්ත කටයුතු ඉහළ යනවා. ඒ වගේම හැම ගොවියෙකුගේම නිෂ්පාදනය වසරකට 0.84% ක අගයකින් ඉහළ යන බවත් කියනවා.

 

 

3. බ්‍රසීලය

බ්‍රසීලයේ වගා ඉතිහාසය අවුරුදු 12,000ක් විතර ඈත ඉතිහාසයට දිවෙන බව කියනවා. බ්‍රසීලය කියන්නෙ රටේ සමස්ථ භූමි භාගයෙන් 41%ක්ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කරපු රටක්. බ්‍රසීලයේ ප්‍රධානවම වගා කරන්නේ උක්. උක් වගාවේ ලෝක නායකයා විදිහට බ්‍රසීලය හැඳින්වුවත් වරදක් නැහැ. ප්‍රධානවම උක් වගාවට අමතරව සෝයා බෝංචි, කෝපි වගේ වගාවනුත් බ්‍රසීලයේ සිදුකෙරෙනවා. රටේ භූමි භාගයෙන් 7%ක ප්‍රමාණයක් බීජ නිෂ්පාදනයට වෙන් කරන්නත් ඔවුන් කටයුතු කරලා තියෙනවා. 

 

 

4. ඉන්දියාව

ඉන්දියාව කියන්නෙ අපේ අසල්වැසියා නිසාම ඉන්දියාවෙ කෘෂිකර්මාන්ත කටයුතු අපේ රටට ගොඩක් සමානයි. ඉන්දියාවේ ජනගහණයෙන් භාගයක තරම් ජනතාවගේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නෙ කෘෂිකර්මාන්තය. කෙසෙල්, පේර, අඹ, ගස්ලබු වගේ පළතුරු නිෂ්පාදනයට තමා ඉන්දියාව වැඩිපුරම ප්‍රසිද්ධ. හැබැයි ඊට අමතරව කඩල වගේ ධාන්‍ය වර්ගත්, කුළු බඩු වර්ගත් ඉන්දියාවේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙනවා. 

 

 

5. රුසියාව

රුසියාව කියන්නෙත් විශාල වශයෙන් කෘෂිකර්මාන්තය මත යැපෙන රටක්. රුසියාවේ භූමි ප්‍රමාණයෙන් 13%ක් විතර ඒ කියන්නෙ හෙක්ටයාර මිලියන 23 ක් පමණ ප්‍රමාණයක් ඉරිඟු, සීනි නිෂ්පාදනය සඳහා යොදාගන්නා බීට් රූට් සහ අල නිෂ්පාදනය සඳහා වෙන්කරල තියෙනවා. රුසියාවේ සමස්ථ දළ දේශීය නිෂ්පාදනයෙන් 6% පමණ ප්‍රමාණයක් සම්පූර්ණ වෙන්නෙ මේ කෘෂිකර්මාන්තයෙන්. ඒ වගේම රටේ සමස්ථ ජනගහණයෙන් 16%ක් ම යැපෙන්නෙත් කෘෂිකර්මාන්තයෙන්.

 

 

6. ප්‍රංශය

ප්‍රංශය කියන්නෙත් අපි නොහිතුවට කෘෂිකර්මාන්ත කටයුතු වල නියැළෙන රටක්. රටේ සමස්ථ ජනගහණයෙන් 7%ක ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තය. ප්‍රංශය වැඩිපුරම ප්‍රසිද්ධ තෙල් නිෂ්පාදනය සඳහා භාවිතා කරන ඇට වර්ග, සීනි නිෂ්පාදනය සඳහා භාවිතා කරන බීට් රූට් සහ ධාන්‍ය වර්ග නිෂ්පාදනයට. ධාන්‍ය සහ පළතුරු භාවිතා කරමින් නිෂ්පාදනය කෙරෙන වයින් සහ වෙනත් ඇල්කොහොල් අඩංගු පාන වර්හ වලටත් ප්‍රංශය ප්‍රසිද්ධයි. ලෝකයේ විශාලම ඇල්කොහොල් පාන වර්ග නිෂ්පාදනය කරන රට විදිහට සැළකෙන්නෙත් ප්‍රංශය. 

 

 

7. ජර්මනිය

ලෝකයේ තුන්වෙනි තැනට කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයනය කරන රට තමයි ජර්මනිය. මේ රටේ භූමි භාගයෙන් අඩකට ආසන්න කොටසක් වෙන් වෙනවා වගා කටයුතු වලට. අල, ධාන්‍ය, බීට් රූට්, ගෝවා, ඉරිඟු වගේම කිරි සහ ඌරු මස් වගේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වලටත් ජර්මනිය ප්‍රසිද්ධයි. ඒ වගේම ධාන්‍ය ආශ්‍රිතව කෙරෙන බියර් නිෂ්පාදනය කරන රටවල් අතරින් හතරවෙනි ස්ථානයේ ඉන්නෙත් ජර්මානුවන්. 

ලෝකයේ කතන්දරය එහෙම වෙද්දී රුහුණේ එක හීයට කුඹුරු වගා කරලා ලෝකයටම බත සැපයුවා කියන අපි, අහසින් වැටෙන ජල බින්දුවක්වත් ඉවත නොදමා රැස් කරගෙන යල මහ දෙක වගා කරපු අපි, ඉවත දමන දඬුව වුවද දළුලා යලි පැළවෙන සරුසාර පොළවක උරුමක්කාරයෝ වුණ අපි අද කෘෂිකර්මාන්තය අතින් ඉන්නේ කොතනද කියලත් හිතල බැලුවොතින් හොඳයි. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *